ශ්‍රී ලංකා පිල කණ්ඩායමක් වශයෙන් දැක්වූ දක්ෂතාවය තුළ විශිෂ්ට ජයක් ලැබිමට හැකි වූ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ඩුබායි සිට පැවසුවේ මෙම ජයග්‍රහණයේදී සියලුම දෙනාමට ගෞරවය හිමිවිය යුතු බව මතක් කරමිනි. විශේෂයෙන් කණ්ඩායමට වගේම පුහුණුකාර මණ්ඩලයටත්, අපව දිරිමත් කරනු ලැබූ නව තේරීම් කමිටුවට සහ ක්‍රිකට් ආයතන නිලධාරීන්ට ද විශේෂ ස්තුතියක් පුද කළයුතුයි. අපි ඉන්දියාව හමුවේ අමිහිරි පරාජයක් ලැබ එය මකා ගැනීම සඳහා දැඩි කැපවීමෙන් කරනු ලැබූ ප්‍රයත්නයේ ප්‍රතිඵල ලැබිමට හැකිවූ බව ද චන්දිමාල් පැවසීය.

ඇත්තටම ඉන්දියානු තරගාවලිය තුළ කරනු ලැබූ දුර්වලතා නිවැරදි කරගෙන හොඳ  සැලැස්මක් ඇතිවයි මෙම පාකිස්තානු තරගාවලියට පැමිණියේ. ක්‍රීඩකයන් තරගාවලියට පෙර හොඳ මානසිකත්වයක් ගොඩනගාගෙන හිටියා.

ඔවුන්ගේ උනන්දුව, උද්යෝගය හා සටන්කාමිත්වය උපරිමව ප්‍රදර්ශනය කළා. ඇත්තටම සිවුවැනි දිනය අවසානයේ රාත්‍රී කාලයේ තිබූ පින්න නිසා අවසන් භාගයේ බලා‍පොරොත්තු ප්‍රතිඵල නොලැබුණත් ඊයේ තරගයේ මුල් භාගයේම  පින්නෙන් කිසි බලපෑමක් සිදු නොවූ නිසා හොඳින් පන්දු යවමින් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට හැකි වූ බව චන්දිමාල් පැවසීය. රංගන, දිල්රුවන් පන්දු යැවීමේදී දැක්වූ දක්ෂතා මෙන්ම දිමුත් කරුණාරත්නගේ සුවිශේෂී පිතිහරඹය ගැන ඇගයීමෙන් කතා කිරීමට ද චන්දිමාල් අමතක නොකළේය.

ධම්මික රත්නවීර