පරාජය අවජාතකයි එහෙත් ජයග්‍රහණයට පියවරු දහසයි යනුවෙන් ඊයේ ශ්‍රී ලංකා පි‍ලේ විශිෂ්ට ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයෙන් පසුව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ‘රිවිර’ට පැවසුවේ ශ්‍රී ලංකා පිල පරදින විට කවුරුත් නොසිටියත් දිනන විට සියලු දෙනා සිටින බව පැහැදිලි කරමිනි.

ශ්‍රී ලංකා පිලට සුබ පැතුම් එක්කරමින්  ක්‍රීඩා අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ තමා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නැගිටින බව එදා සිටම පැවසූ බවයි. ප්‍රබල ඉන්දියානු පිල හමුවේ ශ්‍රී ලංකා පිල පැරදුනත් නැවතත් කණ්ඩායම වැටී නැති බව ඔප්පු කිරීමට මෙම පාකිස්තාන ටෙස්ට් තරගාවලියේදී සමත්වූ බව ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඇත්තටම පරාජයන් සමග ක්‍රීඩකයන්ට වගේම කණ්ඩායමට චෝදනා ගොඩක් එල්ල වුණා. මේ වෙලාවේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් තේරුම්ගත යුතුයි ශ්‍රී ලංකා පිලට හැමදාම දිනන්නත්, පරදින්නත් බැරි බව. ජය පරාජය වගේම විටක හිතාගන්නත් බැරි අවස්ථාවල පරාජයන් ලැබිය හැකියි. මේවා අවබෝධ කරගෙන කණ්ඩායම් ශක්තිමත් කිරීමයි අවශ්‍ය වන්නේ. අපේ තවත් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ආබාධවලට පත්වී සිටින්නේ. මොවුන් ද එක්වූ විට කණ්ඩායම මීටත් වඩා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙනයාමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවන ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

මේ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට තමා මුළු හදින්ම සුබ පතන බවත්, එළඹෙන එක් දින තරගාවලිය ද ජයගැනීමට හැකියාව ලැබේවායි යනුවෙන් ආශිර්වාද කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා අමතක නොකළේය.

ධම්මික රත්නවීර