ශ්‍රී ලංක ක්‍රිකට් පිල පාකිස්තානයට එරෙහිව සටන්කාමිත්වය මැනවින් ප්‍රදර්ශනය කරමින් දෙවන ටෙස්ට් තරගය ලකුණු 68 කින් ජය ගෙන ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය ද ඩුබායි අන්තර් ජාතික ක්‍රීඩාංගණයේදී වාර්තා කරමින් ඊයේ (10) ශ්‍රී ලංකා ක්‍රිකට්හි නව පරිච්ජේදයක් ආරම්භ කිරීමට සමත් විය. ප්‍රථම වරට දිවා රාත්‍රී ටෙස්ට් තරගයකට සහභාගි වූ ශ්‍රී ලංකාපිල එම තරගය ජයග්‍රහණය කිරීමත් ඩුබායි සහ අබුඩාබි හිදී ජයග්‍රහණ ලබමින් මැද පෙරදිග දී ප්‍රථම වරට පකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමටත්, දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල ඊයේ සමත් වීම සුවිශේෂී සිදුවීමක් විය. මෙම ටෙස්ට් තරගාවලි ජයත් සමග ශ්‍රී ලංකා පිල අයිසීසී ටෙස්ට් වර්ගීකරණයේ 7 වැනි ස්ථානයේ සිට හයවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීම ද කැපී පෙනුණි.

ලකුණු 317ක ජයග්‍රාහී ඉලක්කයක් ලැබූ පාකිස්තාන පිල සිව්වැනි දිනයේදී   ලකුණු 52ට කඩුලු 5ක් බිඳවැටී දැඩි අසීරුතාවකට පත් වුවද නායක සර්ෆාස් අහමඩ් සහ අෂාඩ් ෂෆීක් 5වන කඩුල්ල වෙනුවෙන් සටන්කාමී ලෙස ලකුණු 173ක සම්බන්ධතාවක් රැස්කිරීම ශ්‍රී ලංකා පි‍ලේ ජයග්‍රහණය ප්‍රමාද කිරීමට හේතුවිය. සිවුවන දිනය නිමාවේදී ෂෆීක් නොදැවී ලකුණු 86ක් ද සර්ෆාස් නොදැවී ලකුණු 57ක් ද ලැබ සිටි අතර ඊයේ දිනය ආරම්භ වී පස්වැනි ඕවරයේදී ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කඩුලු අතර සිටි දිල්රුවන් පෙරේරා නායක අහමඩ් දවා ගත්තේ ස්වීප් පහරකට යාමේදී දක්ෂ උඩපන්දුවක් නුවන් ප්‍රදීප් රැකගත් හෙයිනි. අහමඩ් පන්දු 130ක් තුළ ලකුණු 68ක් ලබා එයට 4 පහර 5ක් එල්ලකොට තිබිණි. අහමඩ් දැවී යාමෙන් ස්වල්ප වේලාවකට පසුව නව පන්දුව ලබා ගැනීමත් සමග පාකිස්තානු පිතිකරුවන්ට  දැඩි අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.  දිල්රුවන් පෙරේරා නව පන්දුවෙන් පන්දු යවමින් මොහොමඩ් ආමීර් තමාගේ දෙවැනි ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස ලබාගත් අතර යෂීර් ෂා දක්ෂ ලෙස නිරෝෂන් දික්වැල්ල ස්ටම්ප් කිරීමකට හසුකරගත්තේ රංගන හේරත් මෙම ඉනිමේ ප්‍රථම වරට ක්‍රියාත්මක වීම නිසාය. සිය 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරනු ලැබූ අෂාඩ් ෂෆීක් ලකුණු 112 ක් පන්දු 176 ක් තුළ 4 පහර දහයක් සමග ලබා සුරංග ලක්මාල් හමුවේ දැවී යාම පාකිස්තානු පි‍ලේ බලා‍පොරොත්තු සුන් වීමට හේතු විය. ස්ලිප් ස්ථානයේ සිට කුසල් මෙන්ඩිස් රැකගත් අනගි උඩපන්දුවෙන් ෂෆීක්ට ක්‍රීඩාගාරයට යාමට සිදුවූයේ 9 වැනි කඩුල්ල ලෙසය.

පාකිස්තානු ඉනිම ලකුණු 248දී වහාබ් රියාස් නායක චන්දිමාල් වෙත උඩපන්දුවක් ලබාදී රංගන හේරත් තරගයේ අවසන් කඩුල්ල ලැබිම සමග දිනයේ  තවත් ඕවර 73ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා පිල විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කරනු ලැබිය. මුල් ඉනිමේ දිමුත් කරුණාරත්න ලැබූ ලකුණු 196 හේතුවෙන් තරගයේ වීරයා සම්මානයත්, තරගාවලියේ වීරයා සම්මානයත් ලැබිම විශේෂත්වයකි. දිල්රුවන් පෙරේරා දෙවැනි ඉනිමේ සුවිශේෂී පන්දු යැවීමක නිරතවෙමින් ලකුණු 98 ට කඩුලු 5ක් ලැබූ අතර රංගන හේරත් ලකුණු 57 ට කඩුලු 2ක් ලැබිය.

ලකුණු සාරාංශය
ශ්‍රී ලංකා පිල මුල් ඉනිම සියලු දෙනා දැවී ලකුණු 482, දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 96,
පාකිස්තානු පිල මුල් ඉනිම සියලු දෙනා දැවී ලකුණු 262, දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 248.