ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස පත්කරනු ලැබූ ක්‍රිකට් උපදේශන කමිටුව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමග ප්‍රථම වරට එක් වී සාර්ථක සාකච්ඡාවක නිරත වීම සතුටට කරුණකි. ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබැසීම සඳහා පසුගියදා ක්‍රිකට් විද්වතුන්, පැරණි හා වර්තමාන ක්‍රීඩකයන්, ක්‍රිකට් පුහුණුකරුවන් හා ක්‍රීඩා මාධ්‍යවේදීන් සියල්ල එක් කරමින් කරනු ලැබූ වැඩමුළුවක අවසන් වාර්තාව සැලකිල්ලට ගනිමින් එය පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කිරීම සඳහා ක්‍රිකට් උපදේශන කමිටුවක් පත් කරනු ලැබිය.

හිටපු ක්‍රිකට් අතුරු පාලක කමිටු සභාපති හේමක අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබූ ක්‍රිකට් උපදේශන කමිටුවට හිටපු සුපිරි ක්‍රීඩකයන් ලෙස අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන සහ අනුර තෙන්නකෝන් ද ඇතුළත් වන අතර මෙම කමිටුවේ ‍ලේකම් ලෙස රුවන් කෑරගල මහතාද ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරමින් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය                ලක්ෂ්මන් එදිරිසිංහ මහතාද පත් වීම් ලැබ ඇත. මොවුන් සියලු දෙනා ක්‍රීඩා අමාත්‍යවරයා එක්ව මුල්ම සාකච්ඡාවේදී පැය දෙකකට වඩා අදහස් හුවමාරු වී ඇත.

ක්‍රිකට් යහ මගට ගැනීමේ වැඩමුළුවේ දී හඳුනාගත් කරුණු කාරණා පිළිබඳ වැඩිදුරටත් සොයා බලා ඒවා මාස තුනක් ඇතුළත ක්‍රියාත්මක කිරීම මෙම ක්‍රිකට් උපදේශන කමිටුවේ මුල්ම කාර්යය වී ඇත. ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක සහ හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මිල්ටන් අමරසිංහ විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලබාදුන් වාර්තාවේ කරුණු 53 ක් ඇතුළත්ව ඇති අතර මේවා විශ්‍ලේෂණය කරමින් ගත හැකි කෙටි
කාලීන හා දිගුකාලීන විසඳුම් ගැන ක්‍රිකට් උපදේශන කමිටුවෙන් බලා‍පොරොත්තු වේ.

මෑත කාලීනව ක්‍රිකට් පිටියේ සුපිරි ක්‍රීඩකයන් වූ අරවින්ද, මහේල හා සංගා තිදෙනාගේම අදහස වී ඇත්තේ මූලිකව ක්‍රිකට් දියුණු කිරීමේ කෙටි කාලීන සැලැස්මක් සකස් කර කමිටුවේ සියලු දෙනාගේ අදහස් අනුව යෝජනා සකස් කරන බවය.

ක්‍රීඩා අමාත්‍යවරයා අපේ කමිටුව පත් කළේ වසර දෙකක කාලයකටයි. එක් සාකඡාවකින් කලබලයට ක්‍රිකට් දියුණු කිරීමට බැහැ. අපි කමිටුවක් විදිහට සාකච්ඡා කර හොඳම යෝජනා ක්‍රීඩා ඇමැතිතුමාට භාර දෙනවා. ඒවා යහපත් නම් ක්‍රියාත්මක කළ හැකියි. ඒ වගේම පැලැස්තර විසඳුම්වලින් ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිසේත් දියුණුවක් ඇති කිරීමට බැහැ” යනුවෙන් මහේල හා සංගා දෙදෙනාම පැවසූහ.

මේ අතර හිටපු නායක මහේල ජයවර්ධන මීට කලින්ද ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා යෝජනා හා සැලසුම් ඉදිරිපත් කළ ද ඒවා ක්‍රියාත්මක නොවූ බවත්, මෙවර ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආරාධනාව මත මෙම කමිටුවට එක් වන්නේ වැඩි බලා‍පොරොත්තුවක් ඇති බවත්, මෙයද මෙවර ක්‍රියාත්මක නොවන්නේ නම් තමා නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් අභිවෘද්ධිය සඳහා ඉදිරිපත් නොවන බවත් අවධාරණය කළේ ය.

කුමාර් සංගක්කාර පවසන්නේ ක්‍රිකට් උපදේශන කමිටුව ස්වාධීන කමිටුවක් බවයි. මෙහි වඩාත් වැදගත් වන්නේ ඉදිරියට වෙන්නේ මොකක්ද කියන එකයි. ඒ සඳහා සාකච්ඡා කළ යුතුයි. කොහොම වුණත් හරි සැලසුමක් ඉදිරිපත් කළ යුතුයි. මේක එක සාකච්ඡාවකින් කිරීමට හැකි දෙයක් නොවේ. පළමු හමුවේදී අපි එකිනෙකා හඳුනා ගත්තා. සියලු දෙනාගේ අදහස් ඉදිරිපත් කළා. ඉදිරියේ දී අපි මීටත් වඩා වැඩිපුර සාකච්ඡා කරමින් වඩාත් හොඳ සැලසුම් කිරීමටයි බලා‍පොරොත්තුව යනුවෙන් සංගා පැවසීය.

අපි ක්‍රීඩා ඇමැතිවරයාගේ සැලසුම මොකද්ද කියන එක මුල් සාකච්ඡාවෙන් තේරුම් ගත්තා යැයි මහේල ජයවර්ධන පවසයි. මුලින්ම කෙටි කාලීන සැලසුමක් අවශයයි. ඊට පසුවයි දිගුකාලීන සැලසුමකට යා යුත්තේ. ඒ සඳහා කෙටිකාලීන සැලසුම් සාර්ථක කරගත යුතුයි” යනුවෙන් මහේල පෙන්වා දෙයි. අපි ක්‍රිකට් ආයතනයේ කමිටුවක් ‍නෙවෙයි. අපේ සැලසුම් ක්‍රියාත්මක කළ යුත්තේ ක්‍රිකට් ආයතනයයි. අපි හිතනවා ඒක ඉදිරියට වෙයි කියා. එසේ නැති වුණොත් අපි වැයකරන කාලයෙනුත් මේ හමුවී කරන සාකච්ඡාවලනි ප්‍රතිඵලයක් නැති වේවි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා පවසන්නේ තමා අද මෙවැනි තත්ත්වයකට පත්ව සිටින්නේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා බවයි. මට ලැබි තියෙන්නේ මගේ දැනුම රටටත්, ක්‍රඩකයන්ටත් ලබා දීමයි. අපි තරුණ පරපුර ගැන හිතලයි එන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන යම් යම් ගැටලු තියෙනවා. ඒවා ගැන කෙටිකාලීන වශයෙන් ගත හැකි දේ මුලින් හිතනවා. නිදසුනක් ලෙස ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආබාධ අද ගොඩක් තියෙනවා.

නිතර ක්‍රීඩා කරන විට මෙවැනි ආබාධ ඇති වෙනවා. මේ ගැන අපි විශ්‍ලේෂණය කර බැලිය යුතුයි. මෙවැනි තත්ත්වයට පත්වෙන්නේ ඇයි කියා. දැනට අපි මේ විශ්‍ලේෂණ කරන්නේ එකපාරට තීරණ අරන්. ඒත් මේක ටිකක් සොයා බලා කළ යුතු තීරණයක්.

විශේෂයෙන් අද තරුණ ක්‍රීඩකයන් අවු. 27-28 ඉන්නේ. ඔවුන්ගේ මානසික තත්ත්වය වැඩි කරන්න අපි වැඩකටයුතු සිදුකළ යුතුයි. අපේ පාසල් ක්‍රීඩකයන්ගේ දක්ෂතා හොඳින් දැක තියෙනවා. මේ නිසා හොඳින් තේරීම් ක්‍රමවේදය කළොත් ඉදිරියට හොඳින් ක්‍රිකට් දියුණු කරගන්න පුළුවන්.

මම කාටවත් වරදක් කියන්න කැමැති නැහැ. හැම කෙනකුගෙම හොඳ සහ නරක තියෙනවා. මේ නිසා සියලු දෙනා එක් කරමින් හරි දේ කිරීමටයි කටයුතු කළ යුත්තේ. මේ නිසා හරි දේ තෝරා එය හිතට එකඟව සිදු කිරීමයි අවශ්‍යය බව අරවින්ද ද සිල්වා පවසයි.

ක්‍රිකට් උපදේශන කමිටුවේ මෑතකාලීන ක්‍රිකට් නායක දෙපළක් ලෙස සංගා, මහේල, එමෙන්ම වඩාත් පරිණත නායකයන් දෙ‍පොළක් ලෙස අනුර තෙන්නකේන් හා අරවින්ද සිල්වා එක්කොට තිබිම තුළ එදා සහ අද ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති ගැටලු ගැන සොයා බලා ඒවා පිළිබඳ සාමූහික අදහස් සලකා සැලසුම් එක් කිරීමේ හැකියාව ලැබි ඇත.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යුහුසුළු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා වඩාත්ම හොඳ සැලසුම් ලබා ඒවා ක්‍රියාත්මක කිරීමය. මෙය වඩාත් හොඳින් හිතාමතා නියම ලෙස ක්‍රියාත්මක වේ නම් ක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දවස සුබදායී වනු ඇත.

ධම්මික රත්නවීර

Untitled-10 Untitled-9