බුඩාබි ක්‍රීඩාංගණයේ දී රංගන හේරත් විසින් දක්වනු ලැබූ සුවිශේෂී පන්දු යැවීම හමුවේ පාකිස්තාන පිතිකරුවන් අන්දමන්ද වූ අයුරු ප්‍රථම ටෙස්ට් තරගයේ දී දැක ගත හැකි විය. තරගයේ ඉනිම දෙකේදී ලකුණු 136 ට කඩුලු 11 ක් දවා ගත් රංගනගේ වික්‍රමය කලකට ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන්නේ පාකිස්තානුවන්ට දෝලනය වී තිබුණු තරගයේ ජය උදුරා ගැනීමට මේ පරිනත පා දඟ පන්දු යවන්නාගේ උත්සාහය හේතුවෙනි.

පාකිස්තානුවන්ට ලැබුණේ ලකුණු 136 ක ජයග්‍රාහී ඉලක්කයකි. එහෙත් නොසිතූ විරූ ලෙස රංගන අබුඩාබි තණතිල්‍ලේ පන්දුව දඟ කවමින් කරනු ලැබූ දක්ෂතාවයේ ප්‍රතිඵලය වූයේ ලකුණු 21 ක් තිබියදී එනම් ලකුණු 114 කට සියලු දෙනා දැවී යමින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් ලැබිමය. පාකිස්තානයට එරෙහිව රංගන අවසන් කඩුල්ල ලෙස මොහොමඩ් අබ්බාස්ගේ කඩුල්ල දෙවැනි ඉනිමේ ලැබිමත් සමග තම ටෙස්ට් දිවියේ 400 වැනි කඩුල්ල ලැබිම සුවිශේෂී සිදුවීමකි. ඒ අනුව 400 වැනි කඩුල්ලත් සමග ශ්‍රී ලංකා පි‍ලේ ජය සනිටුහන්වීම, රංගනට වඩාත් සතුටට හේතුවක් වූ බව අබුඩාබි සිට “රිවිර”ට පැවසුවේ තමා වාර්තා පසුපස හඹා නොගියද මෙම සුවිශේෂී කඩඉම ජයග්‍රහණයකින් නිමා වීම වඩාත් වැදගත් සිදුවීමක් බව මතක් කරමිනි.

පාකිස්තානයට එරෙහිව ඉනිම දෙකේදී ප්‍රථම ටෙස්ට් තරගයේ කඩුලු 11 ක් දඩයම් කරනු ලැබූ රංගන ජගත් ක්‍රිකට් පිටියේ වාර්තාවකට හිමිකම් කීවේ කඩුලු 400 ක් ලැබූ ටෙස්ට් පිටියේ ප්‍රථම පා දඟ පන්දු යවන්නා ලෙසය. පාකිස්තානයට එරෙහිව තරග 20 ක් ක්‍රීඩා කරනු ලැබූ රංගන කඩුලු 100 ක් මේ වන විට ලබා තිබිමද කැපී පෙනුණි. ලොව ටෙස්ට් පන්දු යවන්නන් අතර කඩුලු 400 ක් ලැබූ 14 වැනි පන්දු යවන්නා ලෙසත්, දඟ පන්දු යවන්නන් අතර පස්වැනි පන්දු යවන්නා ලෙසටත් නම රඳවාගත් රංගනට ඉදිරියෙන් කඩුලු 400 සීමාව පසුකරනු ලැබූ දඟ පන්දු යවන්නන් වන්නේ මුත්තයියා මුරලිදරන්, ෂේන් වෝන්, අනිල් කුම්බ්‍ලේ  හා හර්බජාන් සිංය.

අබුඩාබි තණතිල්‍ලේ පාකිස්තානයට මතෛක් වාසිදායක වූ බවට කදිම සාක්ෂියක් වූයේ ක්‍රීඩා කරනු ලැබූ ටෙස්ට් තරග 9 න් 5 ක්ම ජයගෙන තිබිමය. ඔවුන් ලැබූ පරාජය මෙවර ශ්‍රී ලංකාවට එරෙහිව වීම ද කැපී පෙනුණි.  මම දන්නැහැ පාකිස්තානයට එරෙහිව මෙතරම් සාර්ථක ඇයි කියා. ටෙස්ට් තරග 20 න් ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කිරීම වෙන්න පුළුවන්. කොහොමටත් දැන් මට වයසයි. මේ අවස්ථාවේදී කඩුලු 400 සීමාවට ළඟාවීම සුවිශේෂී දක්ෂතාවක් ලෙසයි දකින්නේ. මේ ආ ගමනේ මගේ පිටුපස සිටි දෙමව්පියන්, බිරිඳ, පුහුණුකරුවන්, සියලු දෙනටම මෙහි ගෞරවය හිමිවිය යුතු බවද රංගන කෘතවේදීත්වයෙන් යුතුව පැවසීය. මම හිතන්නෙ තණතිල්ලත් යම් වාසියක් වෙන්න ඇති. ඒක දඟ පන්දු යවන්නන්ට ලැබෙන අවස්ථාවක් බවද මතක් කළ යුතුයි.

දැනට 39 වැනි වියේ සිටින රංගන හේරත් තම 84 වැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 400 සීමාවට ළඟා වී ඇත. ඉනිමක කඩුලු 5 ගණනේ අවස්ථාවන් 33 ක් ලබාගෙන ඇති රංගන තරගයක කඩුලු 10 ගණනේ 9 වරක් ලබා ඇති අතර හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 127 ට කඩුලු 9 ක් ලැබිම ලෙස වාර්තාකොට ඇත. රංගන ටෙස්ට් දිවිය අරඹන්නේ 1999 සැප්. 22 ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේ දී තරග කරමිනි. හිටපු ඔස්ට්‍රේලියානු නායක ස්ටිව් වෝ මංගල ටෙස්ට් කඩුල්ල ලෙස දවාගත් රංගන මේ වන විට තම ටෙස්ට් පිටියේ වඩාත් අත්දැකීම් ඇති පා දඟපන්දු යවන්නා බවට කිසිම සැකයක් නැත.

ක්‍රිකට් පිටියේ නියම වීරයෙක් ලෙසට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් රංගනව හඳුන්වා දෙමින් ඔහු කණ්ඩායමේ සිටීම ලොකු ශක්තියක් බව ප්‍රකාශ කරයි. එමෙන්ම මොහුගෙන් යොවුන් ක්‍රීඩකයන්ට නිතරම ලැබෙන උපදෙස් වඩාත් වටිනා බවත්, ඒ තුළ කණ්ඩායමේ සාර්ථකත්වය ලබා ගැනීමට ලැබෙන සහාය වඩාත් වැඩි බවත් පවසන චන්දිමාල් ප්‍රතිවාදීන්ට තර්ජනයක් ගෙන දීමට සමත් මෙවැනි පන්දු යවන්නකු තවදුරටත් කණ්ඩායමේ රැඳී සිටිම දක්නට කැමැති බවද පවසයි.  රංගනගෙන් තම ක්‍රිකට් දිවියේ අනාගතය අප ඇසූ විට පවසන්නේ ශාරීරික යෝග්‍යතාව එය තීරණය කරනු ඇති බවයි.

මම දන්නවා මගේ ශාරීරික යෝග්‍යතාව තිබේ නම් පන්දු යවන්න හැකි බව. ඒ නිසා ශාරීරික යෝග්‍යතාව ගැන නම් තමා හැමවිටම සැලකිලිමත් වන බව රංගන පවසයි. කෙසේ වුවත් මුරලිගෙන් පසුව ශ්‍රී ලංකා පි‍ලේ ජයග්‍රහණයේ නියමුවා වී ඇති රංගනගේ සේවය තවත් වැඩිකල් නොලැබුණත් එම කාලය තුළ ප්‍රතිවාදීන්ට නම් රංගන හිසරදයක් වනු ඇත.

ධම්මික රත්නවීර