භාරතීය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ වීර කාව්‍යයක් වශයෙන් සැලකෙන ‘රාමායණය’ සාහිත්‍යමය ග‍්‍රන්ථයක් වශයෙන් පමණක් නොව ආගමික ග‍්‍රන්ථයක් වශයෙන් ද හින්දු සංකල්ප තුළ සම්භාවනාවට පාත‍්‍ර වේ. රාමායණය නමැති වීර කාව්‍යය තුළ සඳහන් වන ‘රාවණාගේ ලංකාපුරය’ යනු අප ජීවත් වන වත්මන් ‘ශ‍්‍රී ලංකාව’ බවට පවත්නා මතවාදය හේතුවෙන් ලංකා ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කිරීමේදීද රාමායණය සුවිශේෂී වන බව පවසන්නෝද සිටිති. ඒ නිසා රාමායණය ඓතිහාසික කරුණු අධ්‍යයනය කිරීමේ දී වැදගත් මූලාශ‍්‍රයක් වශයෙන් සැලකිය හැකිදැ’යි විමසා බැලීම යුක්ති යුක්තය.

රාමායණය නමැති වීර කාව්‍යයට සමාන වූ කතා පුවතක් බෞද්ධ ජාතක ග‍්‍රන්ථ තුළ ද දක්නට ලැබේ. ජාතක පාළියේ ඒකාදසක නිපාතයේ එන ගාථා 13කින් පමණ යුතු දසරථ ජාතකය ඒ සම්බන්ධයෙන් වැදගත්ය. කුරුණෑගල යුගයේ දී රචනා කරන ලද සිංහල පන්සිය පනස් ජාතක පොතෙහි තරමක් විස්තරාත්මකව මෙම ජාතක කතාව සංග‍්‍රහ කොට තිබේ. රාමායණයේ මෙන් ම දසරථ ජාතකයේත් දසරථ, රාම, ලක්ෂ්මණ, භරත වැනි ප‍්‍රධාන චරිත දක්නා ලැබේ. නමුත් ශත‍්‍රැඝ්න නමැති චරිතයක් දසරථ ජාතකයෙහි නැත. එසේ ම රාමායණයට අනුව රාම කුමරුගේ බිරිඳ වන සීතා දසරථ ජාතකයට අනුව රාම කුමරුගේ සහෝදරියයි. රාමායණයෙහි රාම කුමරුගේ අයෝධ්‍යාව දසරථ ජාතකයෙහි බරණැස් පුරයයි. මේ පිළිබඳ වැඩි දුරටත් විමසා බැලීමේ දී රාමායණයේත් දසරථ ජාතකයේත් කතා පුවත්හි සමාන තැන් බොහෝමයක් දැක ගැනීමට හැකියාව පවතී. නමුත් ලංකාපුරයක් හෝ රාවණා නමැති රජෙකු පිළිබඳ දසරථ ජාතකයෙහි කිසිවක් සඳහන් නොවේ. දසරථ ජාතකයෙහි රාම යනුවෙන් හැඳින්වෙන්නේ පෙර භවයක බෝධිසත්වයන් වහන්සේ බව ජාතක පොතෙහි වැඩි දුරටත් සඳහන් කර තිබේ.

”රාමායණයෙහි මෙන් ම දසරථ ජාතකයෙහිද රාම කුමරු ඇතුළු පිරිසට වනගතවීමට සිදු වන්නේ භරත කුමරුට රාජ්‍ය ලබා දීම පිණිස ඔහුගේ මව විසින් කළ උපක‍්‍රමයක් හේතුවෙනි. රාමායණයෙහි භරත කුමරු විසින් දසරථ රජුගේ මරණය දැන්වීමෙන් පසු රාම කුමරු ඇතුළු පිරිස කරනු ලබන ජලාඤ්ජලියෙහිත්, පියා මළ පුවත ඇස්වීම පිණිස රාම කුමරු විසින් සීතා හා ලක්ෂ්මණ ජලයට බැස් වූ බවට දසරථ ජාතකයෙහි එන පුවත් තුළත් කිසියම් ආකාරයක සාම්‍ය වූ සියුම් ඡුායාවක් දක්නට ලැබේ. රාම කුමරු රාජ්‍යය පිණිස පැමිණෙන තෙක් භරත කුමරු විසින් ඔහුගේ පාවහන් යුග්මය රජකරවීමේ කතා පුවතෙහි ද එක්තරා සාම්‍යතාවයක් රාමායණයේත්, දසරථ ජාතකයේත් දක්නට හැකි ය.”

රාමායණයෙහි හා දසරථ ජාතකයෙහි මෙතරම් සමානකම් ඇති වූයේ කෙසේද යන්න විමසා බැලිය යුතු කාරණාවකි. මෙනයින් කල්පනා කර බලන විට රාමායණයේ හා ජාතකයේ මූලය එකක්ම බව සිතීමට සාධක පවතී. ජාතක කතාවන්ගේ ස්වභාවය හා මූලයන් පිළිබඳ මහාචාර්ය රීස් ඬේවිඞ්ස් වැනි විද්වතුන් සවිස්තරාත්මකව අදහස් දක්වා ඇති අතර මේ පිළිබඳ විචාරය කරනු ලබන බොහෝමයක් විද්වතුන්ගේ අදහස වන්නේ පැරණි භාරතීය ජන සමාජයේ පැවති ජන කතාවන් මෙසේ පසු කාලයේ දී ජාතක කතා වශයෙන් බෞද්ධ සාහිත්‍යය තුළ රචනා වන්නට ඇති බවයි. ඇතැම් බෞද්ධ රටවල ලක්දිව දක්නට නොලැබෙන ජාතක කතාවන් දක්නට ලැබෙන්නේ ද මෙසේ පැරණි ජනකතාවන් බෞද්ධ ජාතක කතා බවට සකස්වීම නිසා විය හැකි ය. නිදසුනක් වශයෙන් සියමෙහි ‘පඤ්ඤාස ජාතක’ වශයෙන් එන ග‍්‍රන්ථයෙහි ද ජාතක කතා පනහක් පමණ දක්නට ඇතත් ඒ කිසිවක් අපේ ජාතක පොතේ නැති බව මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල මහතා ස්වකීය සිංහල සාහිත්‍ය වංශය නමැති ග‍්‍රන්ථයෙහි සඳහන් කර තිබේ.

ඒ අනුව වාල්මිකී ස්වකීය රාමායණය නමැති කාව්‍යයටත්, ජාතක කතාකරුවා දසරථ ජාතකයටත් වස්තු බීජය කරගන්නේ එවකට භාරතීය සමාජයේ පැවති ජන කතාවක් වන්නට ඇති බව සිතීම දුෂ්කර නොවේ.

ශ්ලෝක මාධ්‍යයෙන් රචනා කර ඇති රාමායණය කාව්‍යය රචනා කිරීම පිණිස මූලාරම්භ වූ අපූර්ව සිද්ධියක් රාමායණයෙහි සඳහන් වේ. (මේ සම්බන්ධ තරමක විස්තරයක් රාමායණයෙහි එන අතර ලිපියට යෝග්‍ය ලෙස සංක්ෂිප්ත කරන ලදි.*

එක් අවස්ථාවක වාල්මිකී මුනිතුමා ‘ජාහ්නවී’ නමැති නදියෙහි ‘තමසා’ නම් තොටුපළෙහි ජලස්නානය කරනු  කැමතිව තොටුපළට බස්නේ හාත්පස වන සිරි නරඹන්නට විය. එහි දී මිහිරි නාද පවත්වමින් කෙළිදෙළෙන් සිටින කොස්වාලිහිණින් යුවළක් ඔහුට දක්නට ලැබිණි. එකිනෙකාගෙන් වෙන් නොවී ක‍්‍රීඩා පරවශව සිටි මේ දෙදෙනාගෙන් පිරිමි පක්ෂියාට එතැනට පැමිණි එක්තරා වැද්දෙක් මුනිවරයා බලා සිටියදීම හීයකින් විද මරා දැමීය. ශෝකයෙන් පීඩිත වූ පක්ෂි ධේනුව දීන ස්වරයෙන් හඬන්නට විය. මේ දෙස බලා හුන් වාල්මිකී මුනිවරයාගේ මුවින් ‘වැද්ද! කාම ක‍්‍රීඩාවෙහි හුන් ලිහිණියා මරා දැමූ තොපට කිසි කලෙකත් පිහිටක් නොලැබේවා!’ යන ප‍්‍රකාශය කළේය. සකුවෙන් ව්‍යවහාරිත මෙය ලොව ප‍්‍රථම ශ්ලෝකය වශයෙන් සැලකෙයි. (ශෝකය මුල් කොට පහළ වූ හෙයිින් ශ්ලෝක නම් වීලූ*. පසුව අසපුවට  පැමිණි  වාල්මිකී සහ ශිෂ්‍ය පිරිස ධ්‍යානගත වූ අවස්ථාවේ දී එහි පැමිණි බ‍්‍රහ්ම විසින් පෙර කී ආකාරයේ ශ්ලෝකවලින් ‘රාම’ වීරයාගේ කතා පුවත රචනා කරන මෙන් ආරාධනා කරන ලදුව වාල්මිකී ඍෂිවරයා විසින් රාමායණය රචනා කරන ලද බව උක්ත ග‍්‍රන්ථයේම එන අතර මේ පිළිබඳ සඳහන් වන්නේ ‘…මෙවැනි ලක්ෂණ වලින් අනූනව මම රාමායණ කාව්‍ය රචනා කරමි. උදාර වූ මනහර වූ වෘත්ත හා පදයන්ගේ අලංකාර කරමින් රාම වෘත්තාන්තය නිපදවමි.’ ආදී වශයෙනි. ඉක්බිති ඒ මුනිවරයා සමාක්ෂර සහිත ශ්ලෝක සිය ගණනකින්, සමාස, සන්ධි ආදිය මැනවින් යොදා අර්ථපූර්ණ මිහිරි වාක්‍යවලින් සරසා රඝු චරිතය හා රාවණාගේ ඝාතනය පාදක කරගෙන මෙය රචනා කරන ලද බව රාමායණයෙහි බාල කාණ්ඩයෙහි වැඩි දුරටත් පෙන්වා දී තිබේ. රාමායණය රචනා කිරීමට පූර්වයෙහි වාල්මිකී විසින් සම්පූර්ණ වෘත්තාන්තය දැන ඊට අදාළ කුදු මහත් තොරතුරු සෙවූ බව වීර කාව්‍යයෙහිම සඳහන් ව ඇත.

මේ සම්බන්ධයෙන් හොඳින් අවධානය යොමු කර බලන විට පෙනී යන්නේ රාමායණය යනු හුදෙක් ඓතිහාසික මූලාශ‍්‍රයක් වශයෙන් නොව සාහිත්‍යමය වටිනාකමක් සහිත වීර කාව්‍යයක් වශයෙන් රචනා වී ඇති බව සැලකීම වඩා යහපත් බවයි. ග‍්‍රන්ථය රචනා කිරීමේ නිමිත්ත පිළිබඳ විමසීමේදීද එය වඩාත් තහවුරු වේ. මේ පිළිබඳ විමසීමේ දී ‘රාමායණයේ සඳහන් වන ලංකාව කල්පිත ප‍්‍රදේශයක් බවටත්, ලංකාව නමැති රටත් එයත් එකම ප‍්‍රදේශයක් ලෙස හඳුනා ගැනීම එම මහාකාව්‍යය භාවිතය ව්‍යාප්තවීම නිසා සිදු වූවක් බවටත් දැනට පවත්නා ප‍්‍රමුඛ මතය වැදගත්ය. ආචාර්ය එච්.ඒ.පී. අභයවර්ධන මහතා ස්වකීය කඩයිම්පොත් විමර්ශන ග‍්‍රන්ථයේ 5 වන පරිච්ෙඡ්දයෙහි මේ සම්බන්ධයෙන් පළ කර ඇත්තේ පහත ආකාරයේ අදහසකි.

”වාල්මිකීගේ රාමායණයෙහි සඳහන් පරිදි සීතා සිරකර තබන ලද්දේ ලංකා නමැති රටක ය. එහෙත් ඒ ලංකාවත් අපේ රටත් එකක් ම යයි සැලකීමට ඓතිහාසික සාධක නැත. රාමායණ කථාව ස්වභාව ධර්මයේ විවිධ සිද්ධීන්ට ජීවිතාරෝපණය කිරීමෙන් රචිත කාව්‍යයකැයි යන මතයක් ඉදිරිපත් කර  තිබේ. ඒ මතය නිවැරදි නම් මෙහි ලා ඓතිහාසික සාධක සෙවීම අවශ්‍ය නොවන්නේය. කවර හෙයින් ද යත් රාමායණයේ එන ලංකාව හුදෙක් ම කල්පිත දේශයක් විය යුතු හෙයිනි. අනික් අතට රාමායණයේ සඳහන් වන්නේ සත්‍ය ප‍්‍රවෘත්තියක් වුවත්, එහි දැක්වෙන ලංකාවත් අපේ ලංකාවත් එකකැ යි සැලකීමට සාධක නැත්තේය.”

මේ අනුව සලකා බලන විට පැහැදිලිවම දසරථ ජාතකය මෙන් ම රාමායණයත් එවකට භාරතයේ පැවති ජන කතාවක් ඇසුරු කරගනිමින් නිපදවා ඇති බව පැහැදිලිය. ස්වකීය සාහිත්‍ය නිර්මාණය අලංකාර කරගැනීම පිණිස වාල්මිකී විවිධ සාහිත්‍ය උපක‍්‍රම යොදාගෙන ඇති බව ද පෙනී යන කරුණකි. නමුත් මෙහි දී ගැටලූවක් නැත්තේද නොවේ. දසරථ ජාතකයත් රාමායණයත් රචනා වන මූලය එකක් නම් රාමායණයෙහි එන රාවණා නමැති චරිතය දසරථ ජාතකයෙහි දක්නට නොලැබෙන්නේ කුමක් හෙයින්දැ’යි කිසිවෙකු ප‍්‍රශ්න කළ හැකිය. ඊට දිය හැකි කෙටිම පිළිතුර නම් රාවණාත්, ඒ ආශ‍්‍රිත පුද්ගලයිනුත් වාල්මිකී විසින් ස්වකීය සාහිත්‍ය නිර්මාණය අලංකාර කර ගැන්ම පිණිස ඇතැම් විට වෙනත් කතාන්දරයකින් ගත් චරිත කීපයක් විය හැකි බවයි. රාම කුමරුගේ වෘත්තාන්තය හා බැඳි රාවණා චරිතයක් පිළිබඳ එවකට භාරතීය ජන කතාවන් තුළ සඳහන් වූයේ නම් ජාතක කතාකරුවා ද දසරථ ජාතකයට රාවණා නමැති චරිතය ඇතුළු කොට ස්වකීය කතා පුවත වඩ වඩා ආදර්ශමත් හා රසවත් කිරීමට දෙවරක් නොසිතනු ඇත. නමුත් එහි එවැනි චරිතයක් නොඑන්නේ උක්ත කතා පුවත හා බැඳි රාවණා නමැති පුද්ගලයකු පිළිබඳ රාම කුමරු හා බැඳි කතා පුවතෙහි සඳහන් නොවූ නිසාවෙන් බව සිතීම දුෂ්කර නොවේ. සීතා හරණය වැනි කොටස් වාල්මිකී රචනා නොකළ බවත් ඒවා රාමායණයට එක් වී ඇත්තේ පසු කාලයක බවත් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කළ විද්වතුන්ගේ මතයයි.

මෙයින් අපට ප‍්‍රධාන වශයෙන් වාල්මිකීගේ ප‍්‍රබන්ධය අනුව පෙනී යන කරුණු කීපයක් පවතී. ස්වකීය සාහිත්‍ය ග‍්‍රන්ථය රසවත් කිරීමට හා එය විශිෂ්ට වීර කාව්‍යයක් බවට පත් කිරීමට රාම කුමරුගේ ප‍්‍රබන්ධයට බලවත්  සතුරෙකු අවශ්‍ය විය. රාම කුමරු, ලක්ෂ්මණ හා සීතා ආදී  පිරිසට මාලිගයෙන් නික්මී වනගත වන්නට සිදු වන්නේ භරත කුමරුගේ රාජ්‍යත්වය වෙනුවෙන් ඔහුගේ මෑණියන් කළ උපක‍්‍රමය හේතුවෙන් වුවත් භරත කුමරු රාජ්‍යත්වයට පත් නොවූ හෙයිනුත්, ජන කතාවට අනුව භරත  කුමරුවන් රාම කුමරු විෂයෙහි යහපත් ආකල්පයකින් පැවති හෙයිනුත් වාල්මිකී මුනිවරයාට රාමායණයෙහි දුෂ්ටයා වශයෙන් භරත කුමරුවන් ප‍්‍රතිනිර්මාණය කිරීමට නොහැකි විය.

මන්ද ඒ වන විටත් ඉන්දීය ජන සමාජයට හුරු පුරුදු කතාන්දරය වූයේ භරත යනු රාම කුමරුට හිතවත් පක්ෂාත සහෝදරයෙකු වශයෙනි. එහෙයින් ඔහු රාමායණයට ගෙනා ප‍්‍රබල දුෂ්ටයා රාවණායි. හේ වනාහී රාක්ෂස නායකයෙකි. ඇතැම් විට වාල්මිකී, සමකාලීන රාක්ෂසයන් සම්බන්ධ ජන කතාවකින් හෝ කතා කිහිපයක් එක් කොට රාවණා හා ඒ ආශ‍්‍රිත ප‍්‍රවාදය රාමායණයට ඇතුළත් කරන්නට ඇත. මෙවැනි බලවත් අසුර, රාක්ෂසාදීන් පිළිබඳව පැරණි ඉන්දීය වීර කාව්‍යවල බෙහෙවින් දක්නට ලැබේ.

නමුත් ඔවුන්ගේ වාසභූමිය වශයෙන් ලංකා හෝ ලංකාපුර නාමය සඳහන් වී නොමැති හෙයින් ඔවුන් ලක්දිව විසුවේ යැයි රාවණා චරිතය අදහන කිසිවෙකු විශ්වාස  කරන්නේ නැත. ඇතැම් විට වාල්මිකී රාමායණය රචනා කළ කාලයට පෙර මහා ඇලෙක්සැන්ඩර් හෝ මහාපරාක‍්‍රමබාහු වැනි අතීත ඉන්දීය දේශපාලනයට බලපෑම් කළ රජවරුන් ජීවත්ව සිටියේ නම් රාමායණයේ දුෂ්ටයා රාවණා නොව මහා ඇලෙක්සැන්ඩර් හෝ මහා පරාක‍්‍රමබාහු වන්නට ඉඩ තිබිණි. ඒ අනුව රාමායණය අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වන්නේ වාල්මිකී විසින් අවස්ථානෝචිතව කතා පුවත තුළට චරිත ඇතුළු කර ඇති බවත්, එකී චරිත සාහිත්‍ය රස ජනනය වන ආකාරයට හසුරුවා ඇති බවත් ය.

එසේම රාමායණයෙහි ඇතැම් කොටස් විවිධ කාලවලදී එක් වී ඇති බව ඒ සම්බන්ධ අදහස් දක්වන විචාරකයින්ගේ මතයයි. නිදසුනක් වශයෙන් රාමායණයෙහි බාල කාණ්ඩය හා උත්තර කාණ්ඩය කෘතියට පසු කාලයේ දී එකතු කරන ලද බව පැවසේ.

එසේ ම අයෝධ්‍යා කාණ්ඩය හා යුද්ධ කාණ්ඩය අතර යම් යම් විෂමතා පවතින බවද සඳහන් වන අතර භාෂා ශෛලියෙහි ද වෙනස්කම් ඇති බව පැවසේ. මීට අමතර ව නවමු කාණ්ඩ ද්විත්වයෙහි රාම නිරූපණය වන්නේ විෂ්ණුගේ අවතාරයක් වශයෙන් වන අතර අනෙක් කොටස්වල රාම යනු හුදු සාමාන්‍ය මනුෂ්‍යයකු වශයෙන් නිරූපණය කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. එහෙයින් අද පවත්නා රාමායණය මුල් කෘතිය වශයෙන් සැලකීම යෝග්‍ය නොවන බව පෙනී යන අතරම පසු කාලයේ දී යම් යම් කොටස් එක් කරමින් මෙය සංවර්ධනය කර තිබෙන බව පැහැදිලි වේ.

මේ අනුව රාමායණය යනු එවකට පැවති ජන කතාවක් ඇසුරින් සැකසූ  සාහිත්‍යය කෘතියක් වශයෙන් විනා එය වැදගත් ඓතිහාසික මූලාශ‍්‍රයක් වශයෙන් සුවිශේෂී නොවන බව අප සිහි තබා ගත යුතුය.

ශකිල රාජකරුණා