ලංකාවේ දරිද්‍රතාව සීමාවට යටින් සිටින ජනගහනයෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් නූගත්ය. වෙනත් වචනවලින් කියන්නේ නම් මේ රටේ අන්ත දුප්පත් ජානතාවගේ කැපී පෙනෙන ලක්ෂණය හොඳ අධ්‍යාපනයක් නැතිකමය. මෙය ආසියානු අප්‍රිකානු හා ලතින් ඇමෙරිකානු සියලු කලාපවල කැපී පෙනෙන ලක්ෂණයකි. මෙය සනාථ කිරීමේ විශ්ව ව්‍යාප්ත ආප්තය වන්නේ “සෑම නූගත් සමාජයක්ම දුප්පත්ය” යන්නයි. මෙය යහමින් හරි හම්බ කරගත් නිසි පාසල් අධ්‍යාපනයක් නැති අය උරණ විය යුතු කරුණක් නොවේ. අධ්‍යාපනය යනු හුදෙක් ‍පොතපත ඇසුරෙන්ම ලබන්නක්ද නොවේ. එහෙත් අධ්‍යයනික අධ්‍යාපනයකට මිල මුදල් හැරුණු විට දැනෙන, ලැබෙන බොහෝ දේවල් ද තිබේ. දියුණු හදවතකට පාර කියන්නද, යුද්ධයේ සිට සාමය දක්වා ගමන් කරන්නටද, නරක මිනිසුන් හොඳ කරන්නටද, අධ්‍යාපනයට හැකිය. සෞඛ්‍යය හා අධ්‍යාපනය අතර ඇත්තේද අවියෝජනීය සම්බන්ධතාවකි. මන්ද‍පෝෂණයේ සිට යහ ‍පෝෂණය දක්වා ගමන් කරන්නට අධ්‍යාපනය අවැසිය. මේ අධ්‍යාපනය හා දුප්පත්කම අතර සබඳතාව විග්‍රහ කර පෙන්වීම සඳහා අවශ්‍ය තරම් දත්ත මහා බැංකු වාර්තාවෙන් හෝ ජන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුවෙන් ගෙනහැර දැක්විය හැකිය. එහෙත් අප උත්සාහ දරන්නේ කාටත් තේරෙන සිද්ධි වාචක ඇසුරෙන් මීට පිළිතුරක් ලබා ගැනීමේ උත්තේජනයක් සොයා යන්නටය. ඊට හේතුව මේ ඉගෙනුම මනින මූලිකම නිර්ණායකය වන අ.‍පො.ස. සාමාන්‍ය පෙළ විභාගය තව දෙමසකින් ආරම්භ වීමය.

අ.‍පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දී ගණිතය විෂය අසමත්වන ප්‍රමාණය සියයට හතළිහක් පමණ වීම මේ රටේ සාමාන්‍යයකි. මෙවර සාමාන්‍ය පෙළට සූදානම් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් උසස් පෙළ විභාගයට ලියන්නේ 2020 දීය. එම වසරේ දී බොහෝ විප්ලව කෙරෙන බවට ආර්ථික හා දේශපාලන ක්‍ෂේත්‍රවල කයිවාරු ඇසෙන්නේ එහි සංඛ්‍යා විද්‍යාත්මක ආකර්ෂණය නිසා විය යුතුය. මෙම වසර වන විට දළ වශයෙන් උසස් පෙළට ළමුන් හාරලක්ෂයක් පමණ ලිවිය යුතු අතර ඉන් තුන්ලක්ෂ හැත්තෑ දහසක්වත් විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් අසමත් කළ යුතුය. මන්ද විශාල වශයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් වන බවක් තවම දක්නට නැත. සාමාන්‍යයෙන් හරිඅඩක්ම සාමාන්‍ය පෙළවත් සමත් නොවන රටක වෙනත් අංශවල ශීඝ්‍රගාමී හා විප්ලවීය වෙනසක් අපේක්ෂා කිරීම උගහටය.  තැනින් තැන කෙරෙන අති විප්ලවකාරී වෙනස්කම් හා ඉතා සුළු කොටසකට පමණක් සීමාවන විශාල ජයග්‍රහණයන් කවදත් මේ රටේ බහුලය.

නිදසුනක් වශයෙන් මෙවරත් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී ප්‍රතිඵල ලැබුණු විට ඉතා උසස් ප්‍රතිඵල ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා පාසල් ජනගත කෙරෙනු ඇත. ඔවුන් වෙනුවෙන් පාසල් ඉදිරිපිට බෝඩ්, බැනර් හා ධජ පතාක එසවෙනු ඇත. එහෙත් එම පාසල්වලම සම්පූර්ණ විභාග අසමත්වන අය සැඟවෙනු නියතය. සමස්තයක් ලෙස අසමත් වූවන්ගේ ගණන් හා ලැයිස්තු මාධ්‍ය වාර්තා අතර දිදුලන්නේ නැත. අප කියන්නේ ඒවා උඩ දමන්නට කියා නොවේ. කල්වේලා ඇතිව අවම කරගන්නට සූදානම් වෙමු කියා ය.

දුප්පත්කමේ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමේදී නිතර මතු කරන කරුණ වන්නේ බඩු මිලය. එහෙත් එබඳු ගණන් ඉලක්කම් බින්දු හෝ දශම ගණන්වලින් විග්‍රහ කිරීමේ දී සාමාන්‍ය ජනයාට සංවේදනය නොවේ. එනමුත් කුස්සියට, බඩට දැනෙන හා නෙතට කඳුළු උණනා සිදුවීම්වලින් ඔවුන්ගේ ජීවිත පිරී තිබේ. පසුගිය සතියේ වැඩිම මිල අඩු කළ හාල්මැස්සන් කරවල පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා කළේ අපූරු ආකාරයකටය. රුපියල් දාහතරක් අඩුවී තිබුණේ හාල්මැස්සන් කරවල කිලෝ එකකටය. මාළු හෝ මස් කිලෝ එකක් ගණිතත් කරවල කිලෝ එකක් ගෙදරක උයන්නේ දානයකට විය යුතුය.

සාමාන්‍ය දුප්පත් ජනයා කඩෙන් මිලදී ගන්නේ හාල්මැස්සන් කරවල ග්‍රෑම් සියයකි. ඒ අනුව ඔවුන්ට මිල අඩු වී ඇත්තේ රුපියල් එකයි ශත හතළිහකිනි. එකයි හත හතළිහකට හසුවන කරවල ප්‍රමාණය රූපවාහිනී ප්‍රවෘත්තියක කිරා මැන පෙන්වීය. එයට හාල්මැස්සන් දෙදෙනකු හෝ තිදෙනකු සිටිය හැකිය. මා කීමට උත්සාහ කරන්නේ අපේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රචාරකවාදී වැඩසටහන්ද හාල්මැස්සන් මිල අඩු කිරීමේ ක්‍රමයට සමාන බවය. මේ ලියන මොහොතකට පෙර මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට ලියන ගාල්ල ප්‍රධාන බාලිකා විද්‍යාලයක සිසුවියන් අමතා කතා කළෙමි. අධ්‍යාපන උපදේශනය හා උසස්පෙළ විෂය ධාරා තෝරා ගැනීම පිළිබඳ අපේ මූලික අවධානය යොමු විය. දේශනය ආරම්භ වන්නේ විදුහල්පතිතුමිය අප සමග ස්ථිරවම කියා සිටියේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ලියන කිසිදු සිසුවියක් ස්ථිරවම අසමත් නොවන බවය.

එය සැබෑවකි. එමෙන්ම ආඩම්බරයකි. ඒ මේ රටේ ජනප්‍රිය ප්‍රධාන පාසල්වල තත්ත්වයයි. එහෙත් අපි ගාල්ලට එන්නට මත්තෙන් ‍පොළොන්නරුවේත්. කුරුණෑගල දිස්ත්‍රික්කයේත්, දුෂ්කර පාසල් ගණනාවක සංචාරය කළෙමු. බකමූණ ප්‍රදේශයේ දුෂ්කරම පාසලක ක්‍රියාකාරකම් පාදක කරගත් අධ්‍යාපන වැඩසටහනක් කළෙමු. මේ අති බහුතරය අහිංසක ගොවි දරුවන්ය. හද්දා පිටිසර දුප්පත් ඉස්කෝලවල ගිනියම් අව්වේ පිච්චී ගියත් නොවරදින එකම දෙය කරේ බඳින ටයිපටියයි. මෙහිදී රජරට උණුසුමට ගිනියම් වන අව් කූටකේ ටයි පටි පලඳින දරුවෝද, දැරියෝද පැමිණියහ. දෙපයට සපත්තු නොමැති මුත් කරට ටයි පටියක් තිබෙන දරුවන් කී දෙනකු මේ රටේ සිටිනවාදැයි නොදන්නා බලධාරින් සිටිය හැක. කරපටිය පාසල ගැන හැඟීමක් හෝ අභිමානයක් ගෙනෙන්නේ නම් එය ඔවුනටද හිමි විය යුතු බව සැබෑය. එහෙත් වායු සමනය කළ වාහනවල එන යන මිනිසුන්ගේ කරපටියත්, “ඩිරෙක්ට් මාකටිං” කටයුතුවල නිරත පාරේ බඩු විකුණන මිනිසුන්ගේ කරපටියත් අතර වෙනසක් තිබේ.

එය දකින, අසන හා තේරුම් ගන්නා මිනිසුන්ට දැනෙන වෙනස අධ්‍යාපනයට අදාළ එකකි. මේ පෙදෙස්වල විදුහල්පතිවරුන් අපෙන් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ ඒ නවයේ සිහිනයට දරුවන් ළඟා කර දෙන ලෙස නොවේ. විභාගයෙන් එතෙර කිරීමේ අසීරු පරිශ්‍රමයක ඔවුන් නිරතව සිටී. විශේෂයෙන්ම මේ පාසල් දරුවන්ට හිඟව ඇත්තේ සිහිනය. ඉලක්කය. එය ඒ පරිසරයෙන් පහසුවෙන් නූපදී. පරිගණක හෝ ටැබ් කෙසේ වෙතත් ඉස්කෝලවලට පුස්තකාලයක් ඇත්තේ නැත. මේ වැඩසටහනේ දී ඉතා මැනවින් ගායනා කළ සාමාන්‍ය පෙළ පුතෙකුගේ ආසාව වී තිබුණේ දිනෙක තමන්ගේ ගිටාරයක් හැඬවීමය. අපගේ සත් මිත්‍ර කුමාර පතිරණ මහතා ඒ සිහිනය සැබෑ කරන්නට ‍පොරොන්දු වනු මම දුටුවෙමි. ඒ ශිෂ්‍යයාගේ දිදුලන ඇස්වල තිබුණ සතුට අපමණ එකකි. එහෙත් ඒ වැඩසටහන අතරදී අසුබ පණිවුඩයක් පැමිණියේ මා දේශනය කරමින් සිටියදීය. ඒ එතැන සිටි පුතෙකුගේ පියා මියගිය ආරංචියය. එය එකවර ඔහුට ප්‍රකාශ කිරීමේ අපහසුව නිසා ගුරුවරු අසරණ වූහ. ආරංචිය කනින් කොනින් ගලා යද්දී ඔහුගේ යහළු යෙහෙළියන්ගේ නෙත් අගින් කඳුළු කඩා වැටිණි. මරණයේ වේදනාකාරී පුවත මේ පුතා වෙත ගමන් කළේ අවසානයේ දීය. වැඩසටහන අවසානයේ අපි අපූරු සිදුවීමක් නිරීක්ෂණය කළෙමු. අත්ට්‍රැක්ටර් දෙක තුනක් පණ ගැන්වූ සාමාන්‍ය පෙළ සිසුන් කිහිප දෙනෙක් තම සියලු යහළු යෙහෙළියන් ඒවාට නංවාගත්හ. ඔවුන්ගේ සාමාන්‍ය පෙළ සාමාන්‍ය ගමන එසේ ය. ඇතැමකු රෑට පැල් රකින්නට හේන යනවා නොඅනුමානය. අපි ගොවි මහතකු සමග කුඹුරුවල ඇවිදින්නට ගියෙමු. ජීවිතයේ කෙදිනකවත් දැක නැති තරම් වඩු කුරුලු නිවාස සංකීර්ණයක් මා දුටුවේ එහිදීය. දිය කඩිතිවලින් පැන යා යුතු කෙනකුට ළඟාවීමට අපහසු තරම් දුෂ්කර තැනක ඉපිල් ඉපිල් ගස් මත මේ කූඩු එල්ලා තිබිණි. වඩු කුරුල්ලා සෑම කූඩුවක්ම තනන්නේ අතු අග්ගිස්සේය. කුරුලු රෑන් පිටින් සිටියත් එක තැන කූඩු හැට හැත්තෑවක් තිබූ බැවින් එපමණ කුමටදැයි මා ඇසූ විට ගොවි මහතා කියා සිටියේ මේ කූඩු ගණනාවක් අතරින් එකක පමණක් උන් බිත්තර දමන බවය. ඒ දරුවාගේ ආරක්ෂාවටය. ගමේ මිනිසුන් අලියාගෙන් ‍පොඩි එවුන් පරිස්සම් කරන අයුරු මට සිහිපත් විය. ඇතැම් වඩු කුරුලු කූඩුවක් කොළ පැහැතිය. ඒ අලුතෙන් ඉදිවන ඒවාය. තවත් එකක් කහ පාටය. තවමත් යුහුසුළුව වැඩෙහි යෙදෙන වඩු කුරුල්ලන් මේ ගොවීන් බඳුය. අපගේ ගොවි මිත්‍රයා කියා සිටියේ වඩු කුරුල්ලන් කූඩුව සාදන අයුරින් ඉදිරි වර්ෂාව ගැන කිව හැකි බවයි.

උන් ‍පොළොවට තරමක් උඩින් කූඩුව සාදන්නේ නම් වැඩි වැස්සක් ලැබෙන බවත්, පහතින් සාදන්නේ නම් වර්ෂාව හිඟ බවත් ඔහු කීය. වර්ෂාව නිවැරදිව පූර්වේක්ෂණය කරන වඩු කුරුල්ලා කාලගුණ විද්‍යා පාඩම ඉගෙන ගෙන ඇත්තේ විධිමත් හෝ නොවිධිමත් අධ්‍යාපනයෙන් යැයි නොදන්නා නමුත් ගොවි ජනතාවගේ අධ්‍යයනය නම් මේ දෙකෙන් එකකට අයත් බව ස්ථිරය. අප වහ වහා විධිමත් කළ යුතුව ඇත්තේ ඉතිරි කොටසයි.

අප උතුරු මැදින් වයඹට සේන්දු වෙද්දී හරියටම දෙකකටත් වඩා ටිකක් නැමී කුදු වුණු ආච්චි අම්මා කෙනෙක් අමාරුවෙන් ඉදිරියට ඇදුණාය. දැන් මේ සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. මා සමග ඒ මොහොතේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ මිත්‍ර විදුහල්පතිවරයෙක්ද සිටියේ ය. අප දෙදෙනා අර අම්මා ළඟ නතර විය. මේ ??? මහල්ලෙකු මෙන් ඉදිරියට ඇදෙන අම්මා යන්නේ කොහේ දැයි විමසා සිටියෙමු.

“අර ඉස්සරහ බස් එක හිටවන හරියට ගියොත් ඇති පුතේ” කියා ඇය කියුවාය. කොළඹදී කළොත් ‍පොලිසියේ තපින්නට සිදු වෙතත් කුරුණෑගල බස් හිටෝන බව දන්නෝ දනිති. අමාරුවෙන් වාහනයට නංවාගත් අම්මාගෙන් විස්තර ඇසීමේදී ඇය පැවසූවේ තරමක් ඈතින් සිටි අඳුනන කෙනකුගේ ගෙදරට සම්බෝලයක් සාදා ගැනීම සඳහා ‍පොල් ගෙඩියක් පිනට ඉල්ලා ගැනීමට ගිය බවය. මේ කුරුණෑගලය. ‍පොල් මිල ගැන කතා කරනවාට වඩා මේ කුරුණෑගල යැයි කීමෙන් අපේ අධ්‍යාපනයත්, දරිද්‍රතාවත් අතර සම්බන්ධතාව ඔබට වැටහේ යැයි සිතමි.

අජිත් ජයවර්ධන වෘත්තීය, අධ්‍යාපන හා මනෝවිද්‍යා උපදේශක
අජිත් ජයවර්ධන වෘත්තීය, අධ්‍යාපන හා මනෝවිද්‍යා උපදේශක

මේ ගමත්, නගරයත් අතර තිබෙන අධ්‍යාපන වෙනස හෝ ජනප්‍රිය පාසල් හා අව වරප්‍රසාදිත පාසල් අතර තිබෙන වෙනස අද ඊයෙක ඇති වූවක් නොවේ. එහෙත් අප හෙට එය අහවර කළ යුතුය. ඒ සඳහා වගකිව යුත්තන් පමණය. අවම වශයෙන් මේ පාසල්වලට ද මූලික පහසුකම් ගලා යා යුතුය. ගුරු හිඟය සම්පූර්ණයෙන්ම පියවිය යුතුය. දුෂ්කර පාසල්වල කටයුතු කරන අධ්‍යාපන බලධාරින්ට හා ගුරු භවතුන්ට නිසි සැලකිල්ල ලැබිය යුතුය. අධ්‍යාපනය පිළිබඳ සිහින හා උනන්දුව වැඩි වැඩියෙන් විකිණිය යුත්තේ ඔවුන්ටය. ඒවා මිලදී ගැනීමට තරම් ශක්තිමත් පරිසරයක් එහි ගොඩ නැගිය යුතුය. පළාත් සභාවලට මුදල් නොතිබිම හෝ ඒවායේ අවුල් වියවුල් තිබිම ශිෂ්‍යයාගේ ප්‍රශ්නයක් නොවේ. ජාතික පාසල් එක් පසෙකත්, පළාත් සභා පාසල් වෙනත් අන්තයකත් කඹ ඇදීම හරහා සත්‍ය වශයෙන්ම පවතින්නේ ව්‍යවස්ථා අර්බුදයකි. ව්‍යවස්ථා ප්‍රතිසංවිධානයකදී සාකච්ඡා කළ යුතු මූලික අධ්‍යාපන හා සෞඛ්‍ය ප්‍රශ්න මේවාය. ජනප්‍රිය සීනිබෝල දේශපාලන ගහමරා ගැනීම්වලින් ඔබ්බට ගොස් ‍පොහොසත් ජනතාවක් හා නිරෝගී ජාතියක් වෙනුවෙන් මේ අසමතුලිතභාවයන්ද ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සැලකිල්ලට ලක්විය යුතුය.