ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සමග එක්ව මාතර කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේදී බස්නාහිර පළාත තරගයක් නැතිවම මෙවරද සමස්ත ශූරතාව දිනා ගත්තේය.

මෙම ක්‍රීඩා උළෙල මෙවර පවත්වනු ලැබුවේ අලුතින්ම ඉදිකළ ක්‍රීඩාංගණයක වීම නව වාර්තා බිහි නොවීමට කිසියම් බලපෑමක් එල්ල කළ බවක් දක්නට ලැබුණි. උළෙ‍ලේ පළමු දිනයේ පවත්වනු ලැබූ තෙැවනි තරගයේදී උතුරු පළාතේ ක්‍රීඩිකාවක වූ අනීතා ජෙගදිස්වරන් කාන්තා රිටි පැනීමේ ඉසව්වේදී මීටර් 3.48ක උසස් තරණය කරමින් හා අවසන් දිනය වූ ඊයේ (24) පවත්වන ලද සිව්වැනි තරගයේදී දකුණු පළාතේ ක්‍රීඩිකා ශානිකා මනෝජි අමරසිංහ කාන්තා මිටිය විසි කිරීමේ ඉසව්වේදීම මීටර් 48.76ක් ලෙසින්ද පිහිටුවන ලද නව වාර්තා දෙකකට සීමා වීමෙන් එය තහවුරු විණි. මෙම වාර්තා දෙකම මිටිය ඉසව් වීමත් කාන්තා ඉසව් වීමත් කැපී පෙනුණි.

අනීතා ජෙගදිස්වරන් අලුත් කරනු ලැබූවේ පසුගිය ජුනි මාසයේ දියගමදී ඇය විසින්ම පිහිටුවනු ලද මීටර් 3.36ක වාර්තාව වූ අතර ශානිකා මනෝජි අමරසිංහ විසින් බිඳ දමන ලද්දේ පසුගිය ජුනි මාසයේ බැංකොක්හිදී මීටර් 48.08ක් ලෙස පිහිටුවන ලද ආර්.කේ.ඒ. මධුවන්ති සතුව තිබූ ජාතික වාර්තාවයි.

ක්‍රීඩා උළෙ‍ලේ සමාරම්භක උත්සවයේදී පවත්වන ලද ආචාර පෙළපාළියට දකුණු පළාත නියෝජනය කරන නිලධාරීන් හැරුණු විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි නොවීම කැපී පෙනුණි. ක්‍රීඩා උළෙල ආරම්භවීමට සතියක පමණ කාලයක් තිබියදී දකුණු පළාත් ක්‍රීඩා ඇමැති වීරසුමන වීරසිංහ ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පෑම එහි අරමුණ වූ බව වාර්තා විය. කෙසේ වුවත් ක්‍රීඩා උළෙල අතිශය සාර්ථකව පැවැත්වීම සඳහා දිවා රෑ වෙහෙස නොබලා කටයුතු කළ වීරසුමන වීරසිංහ මහතාගේ ක්‍රියාකලාපය සමාරම්භක උළෙ‍ලේදී ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරගේ මෙන්ම දකුණු පළාත් මහ ඇමැතිවරයාගේද පැසසුමට ලක්වීමද විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය.

මෙම ක්‍රීඩා උළෙ‍ලේ මලල ක්‍රීඩා තරගවලට අමතරව වොලිබෝල් පිරිමි හා කාන්තා තරගද මාතර කොටවිල ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පවත්වන ලද අතර වයඹ පළාත හා බස්නාහිර පළාත අතර පැවැති කාන්තා අවසන් තරගයෙන් ජයගත් වයඹ පළාත වට 3-0ක් ලෙස ජය ගත්තේය. වොලිබෝල් කාන්තා තෙවනි ස්ථානය සබරගමුව පළාත දිනා ගත්තේ දකුණු පළාත වට 3-1ක් ලෙස පරාජය කරමිනි.

වොලිබෝල් පිරිමි රන් පදක්කමද වයඹ පළාතට භාර දෙන්න සබරගමුව පළාතට සිදුව තිබූ අතර එහි තෙවැනි ස්ථානය දිනා ගැනීමට බස්නාහිර පළාත සමත් වී තිබුණේ උතුරුමැද පළාත පරාජය කරමිනි.

මාතරදී පවත්වන ලද බොක්සිං තරගාවලියේදී පිරිමි ශූරතාව ඌව පළාතටද අනුශූරතාව මධ්‍යම පළාතටද හිමිව තිබූ අතර තෙවැනි ස්ථානය දිනාගෙන තිබුණේ සබරගමුව පළාත විසිනි.

බොක්සිං කාන්තා ශූරතාව බස්නාහිර පළාතට හිමිවූ අතර එහි අනුශූරතාව හා තෙවැනි ස්ථානය පිළිවෙළින් මධ්‍යම පළාත හා වයඹ පළාත දිනා ගත්තේය.

බස්නාහිර පළාත හා සබරගමුව පළාත අතර පැවැති පාපන්දු අවසන් තරගයේදී විනිසුරුවරයා විසින් බස්නාහිර පළාතට දඬුවම් පහරක් ලබා දීමත් සමග ඇතිවූ කලහකාරී තත්ත්වය නිසා තරගය සම්පූර්ණයෙන් පවත්වා අවසන් කිරීමට අවස්ථාව නොලැබුණු අතර ඒ මොහොත වන විට බස්නාහිර පළාත ගෝල 3-0ක් ලෙස වාසිය අත්කරගෙන සිටියේය. කෙසේ වුවත් එම තරගයේ ඉතිරි කාලය ඊයේ දිනයේ පවත්වා අවසන් තීරණය ලබා දීමට තීරණය කර තිබිණි.

දෙවැනි දිනයේ පැවැති මීටර් 4*100 පිරිමි අවසන් තරගය ජය ගන්නට බස්නාහිර පළාත සමත් වුවද ඔවුන් දෙවැනි හුවමාරු ස්ථානයේදී යෂ්ටිය ලබාදී තිබුණේ නියමිත සීමාවට පැමිණීමට පෙර බවට විනිසුරුවකු විසින් වාර්තා කිරීම නිසා ඔවුන්ගේ ජයග්‍රහණය අවලංගු කෙරුණි. ඒ හේතුවෙන් එම තරගයේ රන් පදක්කම නැගෙනහිර පළාතට හිමි විය.

එසේම එදින පැවැති කාන්තා උස පැනීමේ තරගයට අසනීප තත්ත්වයෙන් පසුවෙමින් සිටියදී පවා සහභාගි වූ දුලාංජලී රෝචනා මීටර් 1.70ක පිම්මකින් රන් පදක්කම දිනා ගත්තද ඇයට තවත් අවස්ථාවක් ඉතිරිව තිබියදී ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා ප්‍රථමාධාර ලබාදීම සඳහා ඇය පිටියෙන් ඉවත් කරගෙන යන්නට වෛද්‍ය ඒකකයට සිදුවිය.

ශ්‍රී ලංකාවේ මීටර් 800 ධාවන ඉසව්වේ කැපීපෙනෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපළක් වන ඉඳුනිල් හේරත් හා ගයන්තිකා අබේරත්න මෙන්ම උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාරද මෙවර ක්‍රීඩා උළෙලට සහභාගි වී තිබුණේ ටර්කිමෙනිස්තානයේ පැවති ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙලට සහභාගි වී ජයග්‍රහණ අත්කර ගනිමිනි.

විශේෂයෙන්ම ගයන්තිකාට තමන්ගේ ඉසව්වට සහභාගි වීමට අවස්ථාව ලබා දීම සඳහා සංවිධායකයින් විසින් ඇගේ ඉසව්ව ප්‍රමාද කර ආරම්භ කිරීමටද පියවරගෙන තිබේ.

එබැවින් මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දකුණු පළාතට දිනා දීමට ගයන්තිකා සමත් වූවායි එසේම ඉඳුනිල් හේරත් ඌව පළාතටද මංජුල කුමාර දකුණු පළාතටද තමන් සහභාගි වන ඉසව් හරහා රන් පදක්කම් ප්‍රදානය කර තිබුණේ ශ්‍රී ලංකාවට පැමිණ විවේක ගැනීමට අවස්ථාවක් පවා නොලැබි තිබියදීය.

මේ අතර මෙම ක්‍රීඩා උළෙ‍ලේදී කාන්තා මිටිය විසි කිරීමේ ඉසව්වේදී දකුණු පළාතේ ශානි හා මනෝජි අමරසිංහ මීටර් 48.76ක දුරක් සහිතව පිහිටුවන ලද නව වාර්තාවෙන් එහි පෙර වාර්තාව හිමිකාරිය වූ පී.කේ.ඒ. මධුවන්ති දෙවැනි තැනට පත් කර තිබිමටත් වඩා විශේෂත්වයක් වන්නේ මිටිය විසි කිරීම පිරිමි ඉසව්ව ජයගත් උතුරු මැද පළාතේ ජී.එස්.ආර්. කුමාරසිරිගේ මීටර් 48.03ක දක්ෂතාවද අබිබවා ගොස් තිබූ බැවිනි.

ක්‍රීඩා උළෙල නිමාවට පත්වෙද්දී දකුණු පළාත නියෝජනය කළ ගයන්තිකා අබේරත්න මීටර් 800, මීටර් 1500 හා මීටර් 4*400 යන ඉසව් ත්‍රිත්වයටම සහභාගි වී රන් පදක්කම් 3ක්ම දිනාගන්නට සමත් වූවාය. හතළිස් තුන්වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල නිමාවට පත්වෙද්දී බස්නාහිර පළාත 42 වැනි වරටත් ශූරතාව දිනා ගත්තේ 1975 වසරේදී පමණක් දකුණු පළාත ශූරතාව දිනූ වෙනත් එකම පළාත ලෙස තහවුරුවීමට ඉඩ හරිමිනි.