හැටන් නගරයේ ප‍්‍රසිද්ධ හින්දු කෝවිලක් තුළදි මුදල් පසුමිබියක් සොරකම් කරන ලද කාන්තාවක් හැටන් පොලීිසිය මඟින් අත්අඩංගුවට ගෙන හැටන් වැඩ බලන මහේස්ත‍්‍රාත් එස්.රාම්මුර්ති මහතා වෙත ඉදිරිපත් කර තිබේ.

එහිදී එම කාන්තාව වරද පිළිගත් නිසා රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදාහැර එම නඩුව නැවත මේ මස (26) වන දින කැඳවීමට වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත.

මෙසේ ඇප මත මුදාහැර ඇත්තේ හැටන්, කුඩාගම ප‍්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි දෙදරු මවකි.

මෙම කාන්තාව පසුගිය 20 වැනිදා කෝවිලට ගිය අවස්ථාවකදී එහි බැම්මක් මත තිබුණු මුදල් පසුම්බියක් රැගෙන විත් එහි තිබුණු ඒටීඑම් කාඩ්වලින් රුපියල් තිස්දහසක පමණ රෙදිපිළි සහ රුපියල් පන්දහසක් පමණ වියදම් කර නිවසට අවශ්‍ය වෙනත් දෑ මිලට ගෙන ඇත.

මුදල් පසුම්බිය අයිතිකරුවන්ගෙන් ලද පැමිණිල්ලක් මත කි‍්‍රයාත්මක වුණු හැටන් පොලීසිය ඒටීඑම් කාඩ්පත අයත් බැංකුවෙන් තොරතුරු ලබාගෙන එම කාඩ්පත භාවිතා කළ වෙළෙඳදසැල්වල තිබුණු සීසීටීවී කැමරාවලින් අදාල කාන්තාව හඳුනාගෙන පසුගිය 22 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් පසුම්බිය අලුත විවාහ වුණු යුවළකට අයත් වන අතර එහි රුපියල් අසූපන්දහසක් පමණ මුදල් සහ ඒටීඑම් කාඩ්පත් තිබී ඇත.

රංජිත් රාජපක්ෂ- හැටන්