මංචි අනුග්‍රහය පිරිනැමීම සංකේතවත් කළ අවස්ථාව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උප සභාපති කංචන ජයරත්න, ‍ලේකම් ඒ.එස්. නාලක සහ සිලෝන් බිස්කට් ආයතනයේ ප්‍රධාන විධායක නලින් කරුණාරත්න, කළමනාකාර සුරනි සහබන්දු, කළමනාකාර අයි.එම්. කාජ හා මහජන සම්බන්ධතා කළමනාකාර ජානක බොතේජු ඇතුළු පිරිස ඡායාරූපයේ වෙති.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සිලෝන් බිස්කට් සමාගම සමග එක්ව 10 වැනි වරටත් සංවිධානය කරන මංචි කුසලාන ජාතික වොලිබෝල් තරගාවලිය සැප්තැම්බර් 30 වැනිදා ගලිගමුව මහ විදුහල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
එදින පෙරවරු 9.00ට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදුලිබල හා බලශක්ති පුනර්ජනනීය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමාරම්භක උළෙලින් පසු තරගාවලියට අයත් ආධුනික අංශයේ කෑගල්ල දිස්ත්‍රික් තරග පැවැත්වීමට සැලසුම් කර ඇත.

සුපුරුදු පරිදි මෙවරද මෙම තරගාවලිය සුපර්ලීග් හා ආධුනික කාන්තා, පිරිමි වශයෙන් සංවිධානය කර ඇති අතර තරගාවලියේ අවසන් තරග නොවැම්බර් 18 වැනිදා මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට නියමිතය.

පරිපාලන දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි පැවැත්වෙන ආධුනික තරගාවලියේ පළමු වටයේදී දිස්ත්‍රික් මට්ටමින් ශූරතා අනුශූරතා දිනාගන්නා කණ්ඩායම් 100කට ජාතික මට්ටමේ දෙවැනි වටයට සුදුසුකම් හිමිවේ. මේ අතර සුපර්ලීග් තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රබලම පිරිමි හා කාන්තා වොලිබෝල් කණ්ඩායම් 14ක් අතරේය. එහි පිරිමි අංශයෙන් කණ්ඩායම් 8ක්ද, කාන්තා අංශයෙන් කණ්ඩායම් 6ක්ද ඉදිරිපත්ව සිටිති.

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ගමේ ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට අවස්ථාව සලසා දීම වෙනුවෙන් සුපර් ලීග් තරගාවලියේදී සෑම කණ්ඩායමකටම ප්‍රතිවාදී කණ්ඩායම් සමග තරග දෙකකට බැගින් සහභාගි වීමට ඉඩ සලසා ඇති අතර ඉන් එක් තරගයක් එළිමහන් ක්‍රීඩාංගණයකදී පැවැත්වීමට සැලසුම් කර තිබිම මෙවර තරගාවලියේ විශේෂත්වයකි.

පසුගිය වසරේ පිරිමි සුපර් ලීග් ශූරතාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය දිනාගත් අතර කාන්තා ශූරතාව දිනාගන්නා ලද්දේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසිනි.

අරුණ වීරමන්