ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පාකිස්තානය සමග තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ලබන ඉරිදා (24) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා යෑමට නියමිතය. ප්‍රථම ටෙස්ට් තරගය 28 වැනි දා අබුඩාබිහි දී පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය මෙවර ඩුබායිහි දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා ටෙස්ට් පි‍ලේ නායක දිනේෂ් චන්දිමාල් ඊයේ (21) පැවසුවේ කණ්ඩායම වඩාත් හොඳ සූදානමකින් මෙවර තරගාවලිය සඳහා ඉදිරිපත් වන බවයි.

“ඇත්තටම දිවා රාත්‍රී ටෙස්ට් තරගය අපිට ලොකු අභියෝගයක්. රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කරන මෙම තරගය සඳහා අපේ ක්‍රීඩකයන් සූදානම් වීමේ දී අපට මීට පෙර දේශීය තරගාවලියේදී ද යම් අත්දැකීමක් රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කර ලබා තිබිම වැදගත්. ඒ වගේම අපේ කණ්ඩායමේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කීප දෙනෙක් සමග දක්ෂ යොවුන් ක්‍රීඩකයන් ද එක්ව ඇති නිසා අපි ලොකු විශ්වාසයකින් තරග වදින්නේ. කෙසේ වුණත් පළපුරුදු ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් අවසන් මොහොතේ දී ආබාධයක් නිසා කණ්ඩායමෙන් ඉවත්වීම ලොකු අවාසනාවක් බව චන්දිමාල් පවසයි.

විශේෂයෙන් ටෙස්ට් තරගවල කඩුලු රැකීමේ කාර්යය සිදු කරන්නේ නිරෝෂන් දික්වැල්ල. ඒත් කණ්ඩායමේ සංයුතිය අනුව අවශ්‍යතාවක් ඇති වුවහොත් කඩුලු රැකීම සඳහා ද තමා සූදානම් බව චන්දිමාල් පැවසීය. මේ අතර ශ්‍රී ලංකා පි‍ලේ කළමනාකරු මෙන්ම තේරීම් කමිටු සාමාජිකයකු වන අසංක ගුරුසිංහ පැවසුවේ මැතිව්ස්ගේ ආබාධය අවසන් මොහොතේ දැනගත් හෙයින් ඒ සඳහා ඔහු වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයකු ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන බවයි. අපි අබුඩාබි ගිහිල්ලා පුහුණුවීම්වලින් පසුව තමයි තීරණය කරන්නේ මැතිව්ස් වෙනුවට ආදේශ ක්‍රීඩකයා කවුද කියලා.

ඇත්තටම මැතිව්ස් පිතිකරුවකු වශයෙන් ගොඩක් පළපුරුදු ක්‍රීඩකයෙක්. මගේ පෞද්ගලික මතය නම් ඔහු පිතිකරුවකු වශයෙන් පමණක් ක්‍රීඩා කළ යුතුයි. එහෙත් මැතිව්ස් සමග සාකච්ඡා කළ විට ඔහු එක්දින සහ විස්ස-20 තරගවල පන්දු යැවීම සඳහා ද කැමැත්තෙන් සිටින ගුරුසිංහ පැවසීය. ලහිරු තිරිමාන්න ඉදිරිය ගැන සලකා උප නායක ලෙස නම්කර ඇති බවත් ඔහු දැන් පරිණත ක්‍රීඩකයකු නිසා මෙම වගකීම කළ හැකි බව ද ඒ පිළිබඳව නායක චන්දිමාල් සහ තේරීම් කමිටුව සාකච්ඡා කිරීමෙන් පසුව අවසන් තීරණයට පැමිණි බව ද ගුරුසිංහ පැවසීය.

මේ අතර ටෙස්ට් තරග දෙකෙන් පසුව පකිස්තානය සමග එක්දින තරග පහක් සහ විස්ස-20 තරග තුනක් පැවැත්වෙන අතර අවසන් විස්ස-20 තරගය ඔක්තෝබර් 29 වැනි දා ලාහෝර්හි දී පැවැත්වීමට දැනට සැලසුම් කර ඇත. කෙසේ වුවත් දිනේෂ් චන්දිමාල් සහ ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසන්නේ ආරක්ෂක තත්ත්වය ගැන හොඳින් විමසා බලා එම තරගය ලාහෝරයේ දී ක්‍රීඩා කරනවාද යන්න තීරණය කරන බවයි. චන්දිමාල් වැඩිදුරටත් පැවසුවේ මෙම තීරණය ක්‍රීඩකයන් සියල්ලම එක්ව ආරක්ෂාව ගැන හොඳින් වමසා බලා ගත යුතු තීරණයක් බවයි.

ධම්මික රත්නවීර