සිල් රෙදි නඩුවට අදාළව වසර 03ක් සිරදඬුවම් ලබා සිටි හිටපු ජනාධිපති ‍ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් දැඩි කොන්දේසි සහිතව ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු  ගිහාන් කුලතුංග මහතා ඊයේ (20) නියෝග කළේය.

අදාළ දඬුවම්වලට එරෙහිව විත්තිකරුවන් දෙදෙනා විසින් අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් ඔවුන් ඇපමත මුදාහරින්නැයි ඔවුන්ගේ නීතිඥවරුන් කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ ඇප අයැදුම්පත කැඳවූ අවස්ථාවේ මෙම ඇප නියම විය.

මෙහි දී මහාධිකරණ විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ට දන්වා සිටියේ ඇප ලබාදීමට සුවිශේෂ කරුණු තිබේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙසය.

ඒ අනුව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා එම කරුණ අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා කියා සිටියේ විත්තිය විසින් ඉදිරිපත් කළ කරුණු සුවිශේෂී කරුණු ලෙස පිළිගත හැකි බවයි.

ඉන් අනතුරුව එක් එක් විත්තිකරුවන්ට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

අනතුරුව ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා දෙදෙනාගේම විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙස නියෝග කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල්රෙදි බෙදාහැරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් බිලියන 600ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට ලලිත් වීරතුංග මහතා සහ අනූෂ පැල්පිට මහතා වරදකරුවන් බවට කොළඹ මහාධිකරණය පසුගිය දා තීරණය කළේය.

ඒ අනුව ඔවුන්ට තුන් වසරක සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ දඩ මුදලක් නියම කළ අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට රුපියල් මිලියන පනහ බැගින් වන්දි මුදලක් ගෙවීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබුණි.

එම මුදල් ලබන 20 වැනිදාට පෙර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ගෙවිය යුතු බව ද අදාළ නියෝගයේ සඳහන් විය.

ඉන් අනතුරුව එම දඬුවමට එරෙහිව ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට මහත්වරුන්ගේ නීතිඥවරුන් විසින් පසුගිය දා කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම අභියාචනය විභාග කර අවසන් තීන්දුව ලබාදෙන තෙක් ඔවුන් දෙදෙනා ඇප මත මුදාහරින ලෙස නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එම කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණය ඔවුන් දෙදෙනාම දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට නියෝග කළේය.

 අකිලා නදීශානි බණ්ඩාර