ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසල (බි.එම්.එස්. කණ්ඩායම) රෙඩ්බුල් විශ්ව විද්‍යාල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා අතරට පැමිණෙමින් අඛණ්ඩව තෙවැනි ජයත් වාර්තා කිරීම කැපී පෙනේ. ඒ අනුව මෙවර ප්‍රථම වරට තරගාවලියට සහභාගි වන සිම්බාබ්වේ විද්‍යා හා තාක්ෂණවේද ජාතික විශ්වවිද්‍යාලයට (එන්.යූ.එස්.ටී. පිල) එරෙහිව කඩුලු 7ක ජයක් ලබා අවසන් පූර්ව වටයට  සුදුසුකම් ලැබිමට බි.එම්.එස්. පිල සමත් විය.

කෝෂාන් ජයවික්‍රම හා ගේෂාන් විමලධර්ම පන්දු යැවීමෙන් දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාවේ බි.එම්.එස්. කණ්ඩායමට ජය ලබාදීමට උර දුන්නේ ප්‍රතිවාදීන් ලකුණු 108කට සීමා කරමිනි. එම ඉලක්කය හඹාගිය බි.එම්.එස්. පි‍ලේ තිලක්ෂ සුමනසිරි පන්දු 11න් ලකුණු 30ක් හයේ පහර 2ක් හා 4 පහර 4ක් සමග රැස්කර ගැනීම කැපී පෙනුණි. දිනුක් වික්‍රමනායක 6 පහරක් සහ 4 පහර 4ක් සමග ලකුණු 31ක් ද ලබමින් කණ්ඩායමට ජය තහවුරු කිරීමට සමත් විය.

මේ අනුව මූලික වටය අවසානයේ බි.එම්.එස්. පිල ඉදිරියෙන්ම සිටින අතර අවසන් පූර්ව වටයේ දී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.