හතළිස් තුන්වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ආරම්භ වීමට දින 9ක් තිබිය දී එම ක්‍රීඩා උළෙලට සත්කාරය ලබාදෙන දකුණු පළාත් සභාවේ ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ ඇමැති ධුරයෙන් ඉවත්කර ඇති අතර එම අමාත්‍යාංශය ද මහ ඇමැතිවරයා යටතට පත්කර ඇත. සැප්තැම්බර් 22 සිට 24 දක්වා මාතර කොටගලදී ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව තිබුණි. ජාතික මට්ටම දක්වා දස්කම් දක්වා ඇති කබඩි ක්‍රීඩකයකු ද වන ඒ මහතා මෙම ජාතික මහා ක්‍රීඩා උළෙල අතිශය සාර්ථක අන්දමින් පැවැත්වීම සඳහා තනතුරින් ඉවත් කරන තුරුම වෙහෙස නොබලා සංවිධාන කටයුතු මෙහෙයවන ලද බව පැවසේ.

කිසිදු හේතුවක් නොදන්වා හදිසියේම ක්‍රියාත්මක වූ මේ නියෝගය පිළිබඳව දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම සමස්ත ලංකා ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමයේ ද බලවත් විරෝධය එල්ල වී ඇතැයි දැනගන්නට ඇත. ක්‍රීඩා අමාත්‍යාංශයට වසර 50 සම්පූර්ණ වන්නේ ද මේ වසරේ බැවින් මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලට විශේෂාංග රැසක් එක්කර ඇති බවත් විශේෂයෙන්ම රටපුරා ගිනි සිළුව රැගෙන යාම ඉන් එකක් බවත් සඳහන් වේ.

ඒ අනුව පසුගිය සෙනසුරාදා එම ගිනිසිළුව හම්බන්තොට සිට බදුල්ල දක්වා රැගෙන ගොස් තිබූ අතර ඉරිදා බදුල්ල සිට රත්නපුර දක්වා ගමන් කර තිබිණි. ඊයේ රත්නපුර සිට නුවරඑළියට එම ගිනිසිළුව රැගෙන ගොස් තිබුණ ද නුවරඑළයේ සිසිලසින් අඩපණ  නොවූ එම ගිනිසිළුව ඊයේ මේ පුවතත් සමග රටම ගිනියම් කරනු ලැබිය.

වලිවීර