ත‍්‍රස්තවාදය මිලිටරි බලයෙන් කිසිදා පරාජය කළ නොහැකි බවට ගොඩ නගා තිබූ බටහිර මතයට අභියෝග කරමින් ද බටහිර අණ නොතකමින් ද දශක තිහක් තිස්සේ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූ කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීම නිසා බටහිර බලවතුන් ශ‍්‍රී ලංකාවට එරෙහිව දමා ගැසූ ආයුධය යුධ අපරාධ චෝදනාවය. මේ චෝදනාවල ආරම්භය සනිටුහන් වන්නේ බටහිර බලවතුන්ගේ අදහස් පිළිනොගනිමින් කොටි සංවිධානයට එරෙහිව මිලිටරි බලය යෙදවීමට රටේ සේනාධිනායකයා තීරණය කළ දවසේය. නැතහොත් ඊටත් කලිනි.

දශක තුනක් තිස්සේ කොටි සංවිධානය ඉවක් බවක් නොමැතිව මෙරට සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව මරා දමන විට මේ යුද අපරාධ චෝදනා පිටුපස සිටින රටවල් කිසිවක් කළේ නැත. ඔවුන්ගේ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන කළ කෙංගෙඩියක් ද නැත. කොටි සංවිධානය උතුරු නැගෙනහිර මායිම් ගම්මානවලට පැන සිංහල ජනතාව ගම් පිටින් කඩු ගාන විට කිසිවකු හඬක් නැගුවේ නැත. බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන් දළදා මාලිගාවට, සිරිමහ බෝධීන් වහන්සේට පමණක් නොව රටේ ආර්ථික මර්මස්ථාන වන මහ බැංකුවට, තෙල් ටැංකි සංකීර්ණයට කොටි පහර දෙන විට කිසිවකු ඊට එරෙහි වූයේ නැත. අරන්තලාවේ භික්ෂු සංහාරය ඔවුන් දුටුවේ ද නැත. ඒවා යුද අපරාධ යැයි කිසිවකු කීවේ නැත.

ප‍්‍රභාකරන් මේ රට පුරා බෝම්බ පුපුරුවා හරිමින් අහිංසක සාමාන්‍ය ජනතාව පාරවල් ගානේ බල්ලන් බළලූන් මෙන් මරා දමන විට ඒ ජනතාවට කිසිම මානව හිමිකමක් තිබුණේ නැත. එම විනාශය රටට තව දුරටත් ඉවසා දරා ගත නොහැකි තැන පෙරළා ත‍්‍රස්තවාදයට පහර දෙන විට ඒ ත‍්‍රස්තවාදය නියමින් හා අනියමින් ආරක්ෂා කිරීමට මානව හිමිකම් යුද අපරාධ චෝදනා වහා පැන නැගිණි. ලොව දරුණුතම ත‍්‍රස්ත සංවිධානය යැයි කොටි සංවිධානය ඉහළින් ශ්‍රේණිගත කළ පිරිස අවසාන මොහොත දක්වා කොටි සංවිධානයේ නායකත්වය බේරා ගැනීමට නියෝජිතයන් එවමින් වින්ද දුක අපට තවම මතකය. එහෙත් 2009 මැයි මස 19 වන දින නන්දිකඩාල් කලපුවේ දී කොටි සංවිධානය පරාජයට පත් කෙරිණි.

එලෙස කොටි සංවිධානය පරාජය කිරීමේ වාඩුව ගැනීම සඳහා ඉදිරිපත් කරන ඊනියා යුද අපරාධ චෝදනාවට පරාජිත කොටි සංවිධානයේ ආධාරකරුවන් සාක්ෂිකරුවන් බවට පත් වන්නේ දී කිරට බළල්ලූත් සාක්කියි යන ගැමි වහර සිහිපත් කරමිනි.

කෙසේ වුව ද අපේ හමුදාවට යුද අපරාධ කළේ යැයි චෝදනා නගන අය අප වෙත ඇඟිල්ලක් දිගු කරන විට තවත් ඇඟිලි හතරක් තමන් වෙත යොමු වී ඇති බව සිහිපත් කරගත යුතුය. ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ, ලිබියාවේ බටහිර බලවතුන් කළේ යැයි චෝදනා කරන කිසිදු යුද අපරාධක් පිළිබඳ මෙතෙක් පරීක්ෂණයක් කිරීමට ඔවුන් කටයුතු කර නැත. උත්ප‍්‍රාසජනක කරුණ නම් බ‍්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ සිය හමුදාවට එරෙහිව කිසිවකුට යුද අපරාධ චෝදනා නැගීමට ඉඩ නොදෙන බවත් අවශ්‍ය නම් මානව හිමිකම් නීති වෙනස් කිරීමට වුව තමන් සුදානම් බවත් පැවසීමය.

ශ‍්‍රී ලංකා හමුදාව අත්අඩංගුවට පත් කොටි සාමාජිකයන්ට විෂ එන්නත් ලබා දුන් බවට දෙමළ සන්ධානය නැගූ චෝදනාව ඔවුන්ගේම පරීක්ෂණ යටතේ අසත්‍ය බව තහවුරු වූ ආකාරය අපි පසුගිය දා මේ තීරුවෙන් පෙන්වා දුනිමු. කොටි සංවිධානය පරාජයට පත්වීම නිසාම එහි පළිය ගැනීම සඳහා ම ඉදිරිපත් කරන සෙසු චෝදනා ද එවැනි ම බොරුය. ශ‍්‍රී ලංකා හමුදාව කොටි ප‍්‍රාණ ඇපයට තබා ගත් ලක්ෂ ගණනක් දෙමළ ජනතාව බේරා ගැනීම සඳහා කළ කැප කිරීම මගින් සිය විනය  ඕනෑවටත් වඩා ප‍්‍රදර්ශනය කර තිබේ.

එහෙත් ශ‍්‍රී ලංකාව දෙකඩ කළ යුතුය ඊළමක් නිර්මාණය කළ යුතුය යන මතයෙහි සිට කටයුතු කරන අයට අවශ්‍ය බොරු යුද අපරාධ චෝදනා ඉදිරියට දමා සිය අරමුණ කරා යාමට බැවින් මෙවැනි චෝදනාවල කෙළවරක් නැත. ශිවාජිලිංගම් ඇතුළු දෙමළ සන්ධානයේ නියෝජිත පිරිසක් මේ දිනවල ජිනීවා පැත්තේ කරක් ගසන්නේ යුද අපරාධ බොරුව මතුරා ජාත්‍යන්තර ප‍්‍රජාවේ අනුකම්පාව හිඟාකෑම සඳහාය. අපේ ඇතැම් හමුදා ප‍්‍රධානීන් සිය පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීම සඳහා මේ යුද අපරාධ ගින්නට පිදුරු දැමීමේ වරදට නම් ජනතාව ඔවුන්ට කිසිම අවස්ථාවක සමාව නොදෙනු ඇත.

දශක තුනක් තිස්සේ ඇදී ගිය ඇමරිකානු ඩොලර් බිලියන 200ක් පමණ විනාශ කළ බවට ඇස්තමේන්තු ගතකොට ඇති ත‍්‍රස්තවාදය නිසා මේ රටට අහිමි වූ මානව හා භෞතික සම්පත් සහ ලබා ගත හැකිව තිබූ මානව සංවර්ධනයේ වටිනාකම මුදලින් මැනිය හැකි නොවේ. එසේම කොටි සංවිධානය අවසන් කිරීම නිසා 2009 මැයි මස සිට මේ රටේ විනාශ නොවී ඉතිරි වූ එහෙත් කිනම් අවස්ථාවක හෝ කොටි ප‍්‍රහාරයකින් විනාශ වීමට නියමිතව පැවති මානව සහ භෞතික සම්පත්වල වටිනාකම ද මුදලින් ගණනය කළ නොහැකිය. එහෙයින් මේ රටේ වෙසෙන සිංහල දෙමළ මුස්ලිම් සියලූ දෙනා මියගිය යුද්ධය වෙනුවෙන් නොව දිනාගත් සාමය රැුක ගැනීම සඳහා පෙරමුණ ගත යුතුය. නැතහොත් සිදු වනු ඇත්තේ අපේ අනාගත පරම්පරාවට ද දෙකට බෙදී නිරර්ථක යුද්ධයක පැටලී බටහිර බලවතුන්ගේ භූ දේශපාලන සහ ආර්ථික අවශ්‍යතා ඉටු කිරීම සඳහා ගහමරා ගැනීමටය.