ඇමෙරිකානු ජාතික සංචාරකයන් පිරිසක් රැගෙන කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වූ සංචාරක බස් රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී තවත් තිදෙනෙක් තුවාල ලබා ලිඳුල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ඉන් දෙදෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මූලික රෝහල වෙත මාරුකර යැවූ බව ලිඳුල ‍පොලිසිය කියයි.

පෙරේදා (12) පස්වරු 6.15ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිඳුල බෙයාර්විල් ප්‍රදේශයේදීය. ලිඳුල නාගසේන සිට තලවාකැ‍ලේ නගරය දක්වා අධික වේගයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වී ඇති ත්‍රිරෝද රථය ඉදිරියට ධාවනය වෙමින් තිබූ සංචාරක බස් රථයේ බඳ කොටසේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන ලිඳුල ‍පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගිය ආගරපතන, වාලමෙලෙයි වතුයායේ පදිංචි චන්දසේකරන් සතිෂ් (15) සහ එම වතුයායේම පදිංචි චන්දන් ප්‍රභූ (23) යන දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මූලික රෝහ‍ලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ. අනතුරෙන් පසුව සංචාරක බස් රථයේ රියැදුරා ලිඳුල ‍පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුරෙන් පසු බස් රථයේ සිටි සංචාරකයන් එම සංචාරකයන් ප්‍රවාහනය කළ සංචාරක සමාගමේ වෙනත් බස් රථයකින් නුවරඑළියේ ඔවුන් නවාතැන් ගන්නා සංචාරක හෝටලය වෙත ඊයේ (12) රාත්‍රී රැගෙන ගොස් ඇත.

අධික වේගයෙන් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වී ඇති ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව ඉදිරියට ධාවනය වෙමින් තිබූ බස් රථයේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන ලිඳුල ‍පොලිසිය පැවසීය.

රංජිත් රාජපක්ෂ – හැටන්/ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක – මස්කෙළිය/චන්ද්‍රසේන මුණවීර – තලවකැ‍ලේ

Untitled-14 Untitled-13