බත්තරමුල්ල, පරිපාලන නගරයේ රජයේ කාර්යාලවල නම්‍යශීලී කාර්යාල වේලාවන් කි‍්‍රයාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතිය මේ මස 18 වැනි දින සිට ලබන දෙසැම්බර් 17 වැනි දින දක්වා පුරා මාස 03ක කාලයක් කි‍්‍රයාත්මක කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පෙරේදා (12* එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. ආයතන ප‍්‍රධානීන්ගේ එකඟතාව ඇතිව මෙම නම්‍යශීලී කාර්යාල වේලාවන් හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා 2017-05-16 හා 2017-08-01 දිනවල පැවැති අමාත්‍ය මණ්ඩල රැුස්වීමේදී තීරණය කර ඇත.

එ් අනුව බත්තරමුල්ල ප‍්‍රදේශයේ සියලූම රාජ්‍ය කාර්යාලවල සේවකයන් පැමිණීමේ වේලාව පෙ.ව. 7.30 සිට පෙ.ව. 9.15 අතර සිදුවිය යුතු අතර පිටවීමේ වේලාව ප.ව. 3.15 සිට ප.ව. 5.00 අතර විය යුතුය. රාජ්‍ය නිලධාරීන් තමන් තෝරාගන්නා කාල පරාසය තුළදී පැය 07යි විනාඩි 45ක සේවා කාලයක් ආවරණය කළ යුතු අතර කණිෂ්ඨ සේවකයන් පැය 08යි විනාඩි 45ක් සහ සියලූම මෝටර් රථ රියැදුරන් සඳහා පැය 09ක් ආවරණය වන පරිදි සේවය කළ යුතුය.

මෙහිදී තමන් කාර්යාලයට පැමිණෙන හා පිටවීමේ වේලාව පිළිබඳව ආයතන ප‍්‍රධානියා හා සම්මුතියක් ඇති කරගැනීම වැදගත් වේ. මෙම ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් මහජනතාවට සේවය සැපයීම වෙනුවෙන් පෙ.ව. 9.15 සිට ප.ව. 3.15 දක්වා අතර කාලය තුළ අනිවාර්යයෙන්ම රාජකාරියේ යෙදී සිටිය යුතුය.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය විසින් දැනටමත් සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප‍්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් වෙත ලිඛිතව දන්වා තිබේ.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ බස්නාහිර මහ නගර සංවර්ධන සැලැස්මට සමගාමීව බස්නාහිර කලාපීය ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය වැඩිදියුණු කිරීමේ එක් පියවරක් වශයෙන් මාර්ග තදබදය අවම කර ජනතාවට ගුණාත්මක ප‍්‍රවාහන සේවයක් ලබා දීම සඳහා මෙම පර්යේෂණ නියමු ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වන අතර එය මෙහෙයවීම හා අධීක්ෂණය කිරීම එම අමාත්‍යාංශයේ ප‍්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය මගින් සිදුකරනු ලබයි.

සමන්ති ඇලපාත