මහවැලි ව්‍යාපාරය හරහා නිවාස ලක්ෂ ගණනක් ඉදිකිරීමට හා මහ‍පොළ හරහා ගම්වල දරුවන්ට ශිෂ්‍යත්ව දී විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමට හැකිවූ එක් පුරුකක් වන්නේ මහවැලි මහසෑය බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැවසීය.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක අමාත්‍යවරයා එසේ පැවසුවේ පසුගිය (09) දා කොත්ම‍ලේ මහවැලි මහාසෑය අභියසදී එතුමාගේ ජන්ම දිනයට සමගාමීව පැවැති උත්සව අවස්ථාවේදීය.

වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා තවදුරටත් මෙසේ පැවසීය.
‘එදා හිටිය නවින් දිසානායක ‍නෙවෙයි අද ඉන්නේ. එදා හිටිය නායකයන්ගෙන් මට ලොකු උදව්වක් ලැබුණේ නැහැ. නමුත් මම මේ භූමියෙන් අයින් වුණේ නැහැ. මම හැම මොහොතකම සටන් කළා. රනිල් වික්‍රමසිංහ මහතා මට කතා කරලා උපන් දිනයට සුබ පැතුවා. ඉතින් මම ස්තුතිවන්ත වුණා. මොකද මට එදා යම් කිසි තරහක් තිබුණා. මම හිතුවා ඒ මහතා මට තැනක් දුන්නේ නැහැ කියලා. නමුත් අද මම ඒ මහතාට ස්තුතිවන්ත වුණා ක්‍රම ක්‍රමයෙන් මාව රැගෙන ආපු ගමන සම්බන්ධයෙන්.

මගේ ගමන හා ගාමිණී දිසානායක මහතාගේ ගමන වෙනස්. නමුත් මම අද එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි පෙළේ ප්‍රබල නායකයකු වශයෙන් ස්ථාපිත වෙලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂයේ තියෙන දෙවැනි පෙළ පරද්දන්න කාටවත් බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එහෙම දෙවැනි පෙළක් නැහැ.

විශේෂයෙන්ම අද දවසේ මම තරුණ නායකයෙක් ලෙස හැඳින්වුවත් මම නම් දැන් තරුණ ‍නෙවෙයි. මම කියන්න ඕනෑ මම දැන් මධ්‍යම වයසේ. ගාමිණී දිසානායක මහතා අවුරුදු 48දී ප්‍රේමදාස මහතා සමග හැප්පිලා පක්ෂයෙන් එළියට ඇවිල්ලා තනිවෙලා හිටිය අවස්ථාවක්. ඒ මහතා ඉතාමත් කටුක විදිහට අවුරුදු හතරක් ජීවිතය ගත කළා. ඒ 1990 සිට 1994 දක්වා.  1994 නැවතත් පක්ෂයට ආවා. රුපියල් 5 සාමාජිකත්වය අරගෙන තමයි එක්සත් ජාතික පක්ෂයට ආවේ.

පක්ෂයට ඇවිත් ඉතාමත් ක්ෂණිකව නියෝජ්‍ය නායකයා වෙලා විපක්ෂ නායක වෙලා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වුණා. ඒ කා‍ලේ අපිට, අපේ පවුලට ඒක සිහිනයක්. මොහොතක් අපි එළියේ හිටියේ තවත් මොහොතක සම්පූර්ණ රාජ්‍ය හස්තය විරුද්ධව ක්‍රියා කළා. නමුත් එතුමාගේ ගමන කාටවත් නවත්වන්න බැහැ. ජනතාව එතුමාට ආදරෙයි. නමුත් ඒ මහතා ජනාධිපති වෙන්න ඔන්න මෙන්න තිබියදී තමයි අපි අතරින් සමුගත්තේ. ඒ අවුරුදු හතර අපේ පවුලට පුදුමාකාර අවුරුදු ටිකක්. විශේෂයෙන්ම ගාමිණී හොඳයි කියපු අය නරකයි කියන්න පටන් ගත්තා.

1997 සිට මම ඉතාමත් අමාරු ගමනක් ආවේ. මගේ පියාට අවුරුදු 35දී ඉතාමත් ප්‍රබල ඇමැතිකමක් ලැබුණා. අමාත්‍යාංශ තුනක් එකවර හම්බ වුණා. ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට 77 ඉඳන් 89 වෙනකම් ඒ යුගය හොඳට මතක ඇති. එක්සත් ජාතික පක්ෂයේ රන්වන් යුගය. අපිට පුළුවන් වුණා මහවැලි ව්‍යාපාරය හරහා මහවැලි ගඟ පස් ‍පොළකින් හරස් කරන්නට. අපිට පුළුවන් වුණා ලක්ෂ ගාණක නිවාස හදන්න. මහ‍පොළ හරහා ගම්වල දරුවන්ට ශිෂ්‍යත්වයක් දීලා විශ්වවිද්‍යාලවලට යවන්නට. ඒ යුගයේ එක පුරුකක් තමයි මේ මහවැලි මහසෑය. 1983දී තමයි මේක පටන්ගත්තේ. මං මේ භූමියට ආවේ පුංචි දරුවා කාලයේදි. මට අවුරුදු 30ක් ඉන්න සිද්ධ වුණා මේ පුණ්‍ය කර්මය අවසන් කරන්නට. අපි ගිය අවුරුද්දේ තමයි මේක අවසන් කළේ. මේ වැඩ අපට කරගන්න මෛත්‍රීපාල මහතා විශාල ශක්තියක් වුණා.

මම ‍පොරොන්දු වෙනවා අපගේ මේ මහවැලි මහසෑය කොත්ම‍ලේ ජනතාව වෙනුවෙන් කැප කරන්නට. ඒ සම්බන්ධයෙන් අපට කිසිම වාදභේදයක් නැහැ. ඒ ගැන අපේ විජිතසිරි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි අපට යම්කිසි මතභේද තිබුණත් අපි එක තැනකයි ඉන්නේ. අපි තවදුරටත් සාකච්ඡා කරනවා මේකේ පරිපාලනය හදන්නේ කොහොමද කියලා.

නමුත් දැන් තමුන්නාන්සේලාගේ පිහිටෙන් මම යම්කිසි තැනක ඉන්නවා ස්ථාවරව. මම ඔය තාන්න මාන්න පස්සේ යන්නේ නැහැ. ජනතාව තමයි අපේ ජවය කියලා තමයි මම හැමදාම හිතන්නේ. මම මැතිවරණ හතරකට මුහුණ දීලා ඉහළම මනාප සංඛ්‍යාවක් ලබාගෙන තියෙනවා. එහෙම ඉහළ මනාප සංඛ්‍යාවක් ලබාගෙන තියෙන එකම සිංහල අපේක්ෂකයා මම. ඉතින් ඒක ‍ලේසි පහසු වැඩක් ‍නෙවෙයි. ඒකට හොඳ කණ්ඩායමක් අවශ්‍යයි. ඒ වගේම තමයි හැමදාමත් මාත් එක්ක ඉන්න මිනිස්සු මම බලාගන්නවා. අපි එක්ක වැඩ කරපු සියලු දෙනාටම මම හොඳ තනතුරු ලබාදීලා තියෙනවා. මම බලා‍පොරොත්තු වෙනවා ඊළඟ මැතිවරණයට පෙර අපි එක්ක වැඩ කළ සියලු දෙනාටම රැකියා ලබාදෙන්නට. මම කොත්ම‍ලේට පමණක් ‍නෙවෙයි සියලුම ආසනවලට යම්කිසි වැඩක් කරලා තියෙනවා. ඒක නිසා තමයි මට ඡන්ද වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ.

මේ ඉන්නේ 2000 ඉඳන් මා එක්ක අත්වැල් බැඳගෙන හිටිය ජනතාව. මේ හැමෝගේම මුහුණ මට හොඳට හුරු පුරුදුයි. ගාමිණී දිසානායකගේ පුතා හැටියට මට විශාල අභියෝගයක් වුණා දේශපාලනයට එන එක. මට එහෙම හදිසියක් තිබුණේ නැහැ දේශපාලනයට එන්න. නමුත් මගේ පියාගේ වියෝවෙන් පසු නුවර ජනතාව, පාතදුම්බර ජනතාව ගොඩක් කනගාටු වුණා. පාතදුම්බර ජනතාව මගෙන් ඉල්ලා සිටියා සංවිධායකකම භාරගන්න කියලා. ඉතින් ඒ කා‍ලේ මම නිකම්ම සංවිධායකයෙක් විතරයි. මට සෙවණ දුන්නේ මගේ මව විතරයි.

විශේෂයෙන්ම අපේ මහවැලි මහසෑයේ කටයුතුවලට පවා සංඝරත්නය, විශේෂයෙන් මල්වතු පාර්ශ්වයේ අවවාද ලබාගෙන තමයි මේ කටයුතු ඉදිරියට ගෙනියන්න උත්සාහ කරන්නේ. මහවැලි මහසෑය අපේ පවුලටවත් මටවත් ජිනානන්ද ස්වාමීන් වහන්සේටවත් අයිති දෙයක් ‍නෙවෙයි. මේක අයිති ජනතාවට, මේකෙන් ලැබෙන සියලු සම්පත් කොත්ම‍ලේ ජනතාවට ලබාදෙන්න පුළුවන් ක්‍රමයක් දැන් සාකච්ඡා කරගෙන යනවා. ඒකට ජිනානන්ද ස්වාමීන් වහන්සේගේ සම්පූර්ණ සහයෝගය අපිට ලැබෙනවා.’

මෙම අවස්ථාවට බුද්ධශාසන හා තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාද සහභාගි විය.