2050 වනවිට අප්‍රිකාවේ සිට ඉන්දුනීසියාව දක්වා කලාපයේ ජනගහනය මිලියන 500කින්වත් වැඩි වෙනවා. ඔවුන් ඉලක්ක කොට අපි අපේ වෙළෙඳ‍පොළ සකස් කරගත යුතුයි. සංවර්ධන ඉලක්කවලට යෑමේදී රජයට පමණක් තනියෙන් ඒක කරන්න බැහැ. මත්තල ගුවන් තොටු‍පොළත් මේ වසර අවසන් වනවිට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාලනයට යොමු කිරීමත් එහි පියවරක් බව කිව යුතු’ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැතිවරයා එසේ පැවසුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති ව්‍යාපාරික සමුළුවට සහභාගි වෙමින්ය. වරලත් ගණකාධිකාරී කළමනාකරණ ආයතනය මෙය සංවිධානය කොට තිබිණි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් මෙසේද පැවසීය.
‘රටත්, ජනතාවත් ආර්ථිකමය සංවර්ධනයක් අපේක්ෂාවෙන් ව්‍යාපාර කරන්නේ කෙසේද කියා වැඩි අවධානයක් යොමුකළ යුතුයි. ඒ වගේම ආර්ථිකයට ඉදිරියට යෑමට හොඳ පරිසරයක් තිබිය යුතුයි. ආර්ථිකමය සංවර්ධනයක් සඳහා වූ පරිසරයක් රට තුළ ඇති කරන්න ආණ්ඩුවට පුළුවන්.

නව තාක්ෂණික වෙනස සමග ඉදිරියට යා යුතුයි. එසේ නොකළහොත් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක වෙත යා නොහැකි වෙනවා. හැම දෙයකටම ආර්ථිකය ප්‍රමුඛ වන බව අපට තේරුම් ගන්න පුළුවන්. අපේ මූලිකත්වය තිබෙන්නේ ආර්ථික ප්‍රතිපත්තියකටයි. ස්ථාවර ශ්‍රී ලංකාවක් ගොඩනගා ගන්නට හැකි වන්නේ එවිටයි. ආර්ථික අභියෝගය ජයගන්න අපට පුළුවන්.

අපි මේ වනවිට ජාත්‍යන්තර ආයෝජකයන්ට හිතකර රටක් බවට මේ රට පත්කොට අවසන්. ව්‍යාපාරික කටයුතු සඳහා පහසුකම් සපයනවා. ඉන්දීය සාගර කලාපයේ ජපානය, චීනය ඉදිරියට ආවා. ඒත් මේ කලාපයේ හබ් එක ශ්‍රී ලංකාවයි. නව කර්මාන්ත, හම්බන්තොට වරාය සංචාරක කර්මාන්තය මෙන්ම අපගේ සම්ප්‍රදායික දේවල් උපයෝගි කරගෙනත් අපට අපේක්ෂා කරන සංවර්ධන ඉලක්ක වෙත යන්න පුළුවන්.

අපේ කලාපයේ බංග්ලාදේශයේ දළ ජාතික නිෂ්පාදනයත් ඒකපුද්ගල ආදායමත් වැඩි වෙමින් පාකිස්තානය අබිභවා යමින් සිටිනවා. අපේ රට පැරැද්දුවොත් ඒකෙ වගකීම අප සියලු දෙනාටම භාරගන්න වෙනවා. අපේ ආණ්ඩුවේ ඉලක්කය 2020 වනවිට අයවැය අතිරික්තයක් ඇති කරලීමයි. ගෙවී ගිය වසර දෙකක කාලය තුළ ඒ සඳහා පියවර රැසක් අනුගමනය කළා. ඉදිරියේදී තවත් පනත් කිහිපයක් හඳුන්වා දීමට ආණ්ඩුව අපේක්ෂා කරනවා. විනිමය පාලන සංශෝධිත පනත, ජාතික ණය ගෙවීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමත් ඒ අතර ප්‍රධානයි.

ව්‍යාපාරිකයන්ට රජය උපරිම ලෙස සහාය පළ කරනවා. ව්‍යාපාරිකයොත් එහි ප්‍රතිඵල ලබන ගමන් උපරිම ප්‍රතිලාභ රටට අත්කර දීමට කටයුතු කළ යුතුයි. දැන් තිබෙන්නේ ජාතික ආණ්ඩුවක්. මේක අපට තිබෙන අවසන් අවස්ථාව වෙන්න පුළුවන්.

අකිලා නදීශානි බණ්ඩාර

Untitled-11 Untitled-10