පැති ආරක්ෂක බාර් දෙක මත දෙපා රඳවාගෙන යතුරුපැදියක් අධික වේගයෙන් ධාවනය කළ තරුණයකු ඊයේ (13) උදෑසන මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී බරපතළ තුවාල ලැබිමෙන් පසු හොරණ රෝහලට ඇතුළත් කර ඇත.

රබර් කඳන් පටවාගෙන බුලත්සිංහල-හොරණ මාර්ගයේ ධාවනය කරමින් තිබූ ලොරි රථයක රෝදයක සිදු වූ දෝෂයක් නිවැරදි කර වෙනත් රෝදයක් සවිකිරීමට කොබවක දෙහිගහවල ප්‍රදේශයේ මාර්ගය අසල නවතා තිබිය දී එය පිටුපසින් පැමිණි මෙම යතුරුපැදිය ගැටී ඇත.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ බුලත්සිංහල පදිංචි මෙම යතුරුපැදිකරු බුලත්සිංහල රෝහලට ඇතුළත් කර ඇති අතර නැවත හොරණ රෝහලට මාරුකර තිබේ.

බුලත්සිංහල ‍පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් මත රථවාහන අංශය අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

පද්ම ශ්‍රී ලාල් – අගලවත්ත