කොළොම්පුරේ ජනතාවගේ පීඩාව නිවන නිස්කලංක භූමි ප්‍රදේශයක් වූ ගාලු මුවදොර පිටිය අද බෙහෙවින් සංවර්ධිතය. වරින් වර බලයට පත්වන රජයන් ගාලු මුවදොර පිටියේ නොයෙකුත් ඉදිකිරීම් සිදු කරයි. මේ භූමි ප්‍රදේශය කොතරම් සංවර්ධනය වුවද තවමත් එහි අඩුපාඩුකම් රැසකි. විවිධ ආකාරයේ චණ්ඩින්ගේ පාරාදීසයකි. රටේ භාණ්ඩ මිල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පාලනය කළද ගාලු මුවදොර කුඩා වෙළෙඳසල්වල ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ අලෙවි කෙරන්නේ සිතූ සිතූ මිල ගණන්වලටය. පෙනුමෙන් සුන්දර වුවද ගාලු මුවදොර පිටියේ බොහෝ දෙනා නොදකින අසුන්දර සිදුවීම් නම් රැසකි.

අතීතයේදී ගෝල්ෆේස් පිට්ටනිය හෙක්ටයාර පහක භූමි ප්‍රදේශයක් පුරා පැතිර තිබිණි. 1859දී සර් හෙන්රි ජෝර්ජ් ආණ්ඩුකාරවරයා මෙම ප්‍රදේශය තුරඟ තරග පිටියක් ලෙසත්, ගොල්ෆ් පිට්ටනියක් ලෙසත් යොදාගත්තේය. අද වනවිට මේ ප්‍රදේශය සංචාරක කලාපයකි. මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය සතුය. පෞද්ගලික සිසිල් බිම නිෂ්පාදන සමාගමක් විසින් මෙහි කුඩා වෙළෙඳ කුටි 37ක් පමණ ඉදිකර ඇත. ඊට අමතරව විවිධ ආහාර වර්ග අලෙවි කරන කරත්ත කීපයක්ද මෙහි වේ.

මෙම වෙළෙඳ කුටි හිමියන්ගෙන් වරාය අධිකාරිය මාසයකට රුපියල් හාරදහස බැගින් අය කරයි. අද මෙහි ආරක්ෂාව සඳහා ‍පොලිස් කුටියක්ද වේ. නාවික හමුදාව ජීවිතාරක්ෂකයන් කීපදෙනකු දිනපතා පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා යොදවා ඇත. නමුත් මෙහි සිදුවන විවිධ සිදුවීම් බොහෝය.

අප ගාලු මුවදොර පිටියට යනවිට එහි සිටියේ සුළු පිරිසකි. ඒ අතරින් බහුතරය පෙම්වතුන්ය. පාසල් නිවාඩු කාලය අවසන් වීම නිසා සංචාරකයන්ගේ පැමිණීම මේ දිනවල බොහෝ සෙයින් අඩු බව වෙළෙන්දෝ පැවසූහ.

‘මේ දවස්වල සෙනග අඩු නිසා අපේ බිස්නස් හොඳටම අඩුයි’ යැයි වෙළෙන්දෝ කිහිප දෙනෙක් අප සමග පැවසූහ.

‘මම ගෝල්ෆේස් එකේ අවුරුදු 22ක කාලයක් තිස්සේ වෙළෙඳාම් කටයුතු කරනවා. කාලයෙන් කාලයට බලයට එන දේශපාලනඥයෝ මේකේ විවිධ වෙනස්කම් කරනවා. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ගෝල්ෆේස් වැට මායිමේ තල්ගස් හිටෙව්වා. මහින්ද මහත්තයා බලයට ආවට පස්සේ ඒවා ගලවලා ‍පොල් ගස් හැදුවා’ යැයි පෑලියගොඩ සිට පැමිණ වෙළෙඳාම් කටයුතු කරන රාජන් පැවසීය.

‘අපිට අමතක නොවන සිද්ධි රැසක් මෙහේ තියෙනවා. 2004 සුනාමි දවස කවදාවත් අමතක වෙන්නේ නෑ. එදා මේ බැම්ම මට්ටමටම මුහුදු වතුර ආවා. මුහුදු ජලය මීටර් සියයක් විතර ආපස්සට ගියා. දෙයියනේ කියලා අපිට කරදරයක් වුණේ නම් නෑ.

චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේ මෙතැන මීටර් 30ක් දිගට නැරඹුම් වේදිකාවක් හැදුවා. දැනට මාස පහ හයක කාලයක සිට එය වසා දමා තිබෙනවා’ යැයි රාජන් එසේ තම මතකය අවදි කළේය.

එම නැරඹුම් වේදිකාවේ ලෑලි බොහෝ සෙයින් දිරාපත් වීම නිසා ඊට සංචාරකයන්ට ඇතුළු වීමට අවසර නැත.

අනතුරු
ගාලු මුවදොර පිටිය නැරඹීමට පැමිණෙන ඇතැම් පිරිස් මුහුදට බැස  පිහිනීමට උත්සාහ කරති. මෙම ස්ථානයේ රළ පහරේ වේගය වැඩි බැවින් අනතුරු බොහෝ සෙයින් සිදුවන බව එම ස්ථානයේ සේවයේ නියුතු නාවික හමුදාවට අනුයුක්ත ජීවිතාරක්ෂක පිරිස් පැවසූහ.

මෙම වසරේදී (2017) මෙම ස්ථානයේ පිහිනීමට සහ නෑමට ගොස් අනතුරට ලක්වූ පුද්ගලයන් හත්දෙනකු පමණ මෙම ජීවිතාරක්ෂකයන් විසින් බේරාගෙන ඇත.

බොහෝදෙනා බිමත්ව මුහුදේ නෑමට ගොස් අනතුරට ලක්වී ඇත. තවත් වරෙකදී ගාලු මුවදොර පිටියේ පිහිටි නැරඹුම් වේදිකාවෙන් පුද්ගලයකු මුහුදට පැන ඇත්තේ සියදිවි නසා ගැනීමටය. ඔහු බේරා ගැනීමටද නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් සමත් විය.

ඇතැම් දෙමව්පියෝ නොදරුවන් සේ සිය දරුවන් ගාලු මුවදොර පිටියේ සිට මුහුදට යවති. ‘මුහුදේ දිය නෑම අනතුරු සහිතයි’ යැයි එහි පුවරු ප්‍රදර්ශනය කර තිබුණද ඒවා නොදැක්කා සේ බොහෝ දෙනා පිහිනීමට ගොස් අනතුරට ලක්වන බව නාවික හමුදා ජීවිතාරක්ෂක පිරිස් පැවසූහ.

මැර කල්ලි
‘මෙතැනට සමහරු ඇවිත් අපිට චණ්ඩි පාට් දානවා. මේ අය කණ්ඩායම් විදිහට සෙනග ඉන්න දවස්වලටයි එන්නේ. අපි හමුදාවෙන්, ‍පොලිසියෙන් කියලා ඇවිත් සල්ලි ඉල්ලනවා. කෑම බලෙන් ගන්න හදනවා’ යැයි වෙළෙන්දෝ පැවසූහ.
නාරාහේන්පිට සිට පැමිණ වෙළෙඳාම් කටයුතුවල නිරත වන රාජා මෙසේ පැවසීය.

‘මම මෙතැන අවුරුදු 25ක කාලයක පමණ සිට වෙළෙඳාම් කටයුතු කරනවා. මෙතැන ‍පොලිස් ‍පොයින්ට් එකක් තියෙන නිසා ඉස්සර වගේ කප්පම්කාරයෝ එන්නේ නෑ.

හමුදාවේ, ‍පොලිසියේ කියමින් සිවිල් ඇඳුමින් දෙතුන් දෙනා එනවා. අපි දන්නේ නෑනේ කවුද කියලා. සමහරු ගාණ අඩු කරලා බඩු දෙන්න කියලා කියනවා. සමහරු සල්ලි ඉල්ලනවා.’

කොම්පඤ්ඤවීදියේ සිට පැමිණෙන ශෂී ගාලු මුවදොර පිටියේ කුඩා කරත්තයක උළුඳු වඩේ, රොටී ආදී ආහාර සකසා අලෙවි කරන අයෙකි. ඔහු අප සමග මෙසේ කීවේය.
‘දවසක් ‍පොලිසියේ තුන්දෙනෙක් ඇවිත් මගෙන් කෑම කාලා සල්ලි දුන්නේ නෑ. මම සල්ලි ඉල්ලුවාම බැණලා මට ගහන්න හැදුවා. මම වඩේ බදින තෙල් තාච්චිය ඒ අය දිහාවට විසි කළාට පස්සේ දුවලා ගියා.’

ඇතැමුන් මත්පැන් පානය කර පැමිණ වෙළෙන්දන් සමග රණ්ඩු සරුවල් ඇතිකර ගන්නා අවස්ථාද ඇත.

අඩුපාඩු
‘මෙතැන අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒවා ගැන බලධාරීන්ගේ අවධානය යොමු වෙනවා නම් හොඳයි. මෙතැනට එන ‍පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න පාර්ක් එකක් නෑ. මුහුදේ නාලා එන අයට ඇඳුම් මාරු කරගන්න තැනක් නෑ’ යැයි රාජා වැඩිදුරටත් පැවසීය.

ගාලු මුවදොර පිටියේ ආරම්භක ස්ථානයේ පානීය ජල කරාම දෙකක් සකසා ඇත. නමුත් කසළ කරත්ත නවතා ඇත්තේද එම ජල කරාම අසලය. වැසිකිළියට යන එක් අයකුගෙන් රුපියල් විස්සක ගාස්තුවක් අය කෙරේ.

ආහාර මිල ගණන්
වෙළෙඳ‍පොළේ ජල බෝතල්, සිසිල් බිම ආදිය අලෙවි කිරීමේදී පාලන මිලක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නියම කර ඇතත් මෙහි ඒවා අලෙවි කෙරෙන්නේ අධික මිල ගණන්වලටය.

උදාහරණයක් ලෙස රුපියල් 150ක සිසිල් බිම බෝතලයක් මෙහි අලෙවි කෙරෙන්නේ රුපියල් 180කටය. සෑම බිම බෝතලයක්ම රුපියල් 20ත් 50ත් අතර මිලකින් වැඩිය.

‘මේ දවස්වල සෙනග මදියි. ඒ නිසා අපේ ආදායමත් පහළ වැටිලා තියෙන්නේ. මාසයකට වරාය අධිකාරියට රුපියල් 4000ක් ගෙවන්න ඕනෑ. ලයිට් බිල රුපියල් 1000යි. අයිස් කැටවලට මාසයකට රුපියල් 15,000ක් විතර වැය වෙනවා. කිලෝ 25ක අයිස් කැටයක් රුපියල් 500යි. මේ වියදම් අපි අමාරුවෙන් හොයාගන්නේ. සමහර වෙලාවට පාරිභෝගික අධිකාරියෙන් ඇවිත් නඩු දාන වෙලාවල් තියෙනවා. දඩත් ගහනවා. ඒත් ඉතින් මොකද කරන්නේ?’ යැයි වෙළෙඳාම් කටයුතුවල නිරත සුසිත් කුලරත්න පැවසීය.

‘කාලෙකට ඉහතදී නම් මෙහේ අවිනීත කටයුතු සිදුවුණා. දැන් ‍පොලිස් මුර‍පොළක් තියෙන නිසා ඒ කටයුතු නම් නෑ. මෙතැන පහසුකම් වැඩි කරනවා නම් හොඳයි’ යැයි වෙළෙන්දෝ පැවසූහ.

සාලිය කුමාර ගුණසේකර
ksaliya@gmail.com
ඡායාරූප-ටෙරාන් නානායක්කාර

Untitled-4 Untitled-3 Untitled-2