හැටන් – නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ ළිඳුල, බෙයාර්විල් ප‍්‍රදේශයේදී ඇමරිකන් ජාතික සංචාරකයන් පිරිසක් රැගෙන ධාවනය වුණු සංචාරක බස් රථයක් සහ තී‍්‍රරෝද රථයක් ගැටීමෙන් සිදුවුණු අනතුරෙන් තී‍්‍රරෝද රථයේ ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම අනතුරෙන් තුවාල ලබා ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ආගරපත, වාලමෙලෙයි වතුයායේ පදිංචි 15 හැවිරිදි තරුණයකු හා එම වතුයායේම පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

තී‍්‍රරෝද රථය ඊට ප‍්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබුණු සංචාරක බස් රථයේ බඳ කොටසේ ගැටි මෙම අනතුර සිදුවි ඇති බව අනතුර පිළිබද පරිෂණ පවත්වන ළිඳුල පොලීසිය සඳහන් කරයි.

අනතුරෙන් තුවාල ලැබූ තිදෙනා ළිඳුල, රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසුව ඉන් දෙදෙනෙක් වැඩි දුර ප‍්‍රතිකාර සඳහා නුවරඑළිය මූලික රෝහලට මාරුකර යවා ඇත.

අනතුරෙන් පසුව සංචාරක බස් රථයේ රියදුරා ළිඳුල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නුවරඑළිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

ඊයේ (12) පස්වරු 6.15ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

රංජිත් රාජපක්ෂ- හැටන්