පස්වැනි ක්‍රීඩා කළමනාකරණ උසස් ඩිප්ලෝමාලාභීන් ජාතික ඔලිම්පික් කමිටු ප්‍රධානීන් සමග වෛද්‍ය දමින්දා අත්තනායක, වෛද්‍ය ලාල් ඒකනායක, වින්ග් කමාන්ඩර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු, ගෲප් කැප්ටන් ප්‍රදීප් ප්‍රනාන්දු, වින්ග් කමාන්ඩර් ඒ.ඩී.ආර්. ලියනආරච්චිගේ, ගෲප් කැප්ටන් මුදිත මහවත්තගේ, නිමලවංශ තෙන්නකෝන්, නිමේෂා රුවන්ති, මනෝජ් රාජකරුණා, එස්.එන්. රණසිංහ, චමින්ද උඩකුඹුර, වයි.ඒ. විජේසූරිය, එම්.එන්. විජේතුංග, ඩිප්ලෝමාලාභීන් සමග වාඩි වී වමේ සිට පාඨමාලා අධ්‍යක්ෂ මහාචාර්ය බි.එල්.එච්. පෙරේරා, ජාතික ඔලිම්පික් කමිටු ‍ලේකම් මැක්ස්වෙල්ද සිල්වා, ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු, ක්‍රීඩා අමාත්‍යාංශ උපදේශක මිල්ටන් අමරසිංහ, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර හා ජාතික ඔලිම්පික් කමිටු උප සභාපති ජෝසප් කෙනී ඡායාරූපයේ වෙති.

ජාතික ඔලිම්පික් කමිටුව පස්වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ක්‍රීඩා කළමනාකරණ උසස් ඩිප්ලෝමාව සාර්ථකව හදාරා අවසන් කරනු ලැබූ හතුන් දෙනකුට සහතික හා තිළිණ ප්‍රදානය පසුගියදා ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී සිදු කරනු ලැබිය.

ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශ අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර හා ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක මිල්ටන් අමරසිංහ දෙ‍පොළද සභාගිවූහ. මෙම පාඨමාලාවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන මහාචාර්ය බි.එල්.එච්. පෙරේරාගේ අදහස වන්නේ ජාතික ඔලිම්පික් කමිටුව සංවිධානය කරනු ලබන උසස් පාඨමාලාව ක්‍රීඩා පරිපාලනය සඳහා වඩාත් වැදගත් බවයි.

ජාතික ඔලිම්පික් කමිටුව සිදුකරනු ලබන සේවාවන් අතර ක්‍රීඩා පරිපාලනය සඳහා නිලධාරීන්ට කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාවක් වැදගත් තැනක් ගන්නා බව ජාතික ඔලිම්පික් කමිටු ප්‍රධානී හේමසිරි ප්‍රනාන්දුගේ අදහසයි. අද බොහෝ ක්‍රීඩා සංගම්වල ක්‍රීඩා පරිපාලනය, කළමනාකරණය ගැන හොඳ අවබෝධයක් නැති නිලධාරීන් සිටීම එම සංගම්වල රාජකාරි කිරීමටත් එම සංගම්වලට අදාළ ක්‍රීඩාවේ දියුණුවට සැලකිය යුතු බලපෑමක් බව ජාතික ඔලිම්පික් ප්‍රධානීගේ අදහසයි. විශේෂයෙන් ඔලිම්පික් කමිටු කළමනාකරණ උසස් ඩිප්ලෝමාව ලැබූ නිලධාරීන් ක්‍රීඩා කළමනාකරණයට ඉදිරියේදී එක්වීම වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබිමට හේතුවක් බවත් මේ සඳහා ඉදිරියටත් ක්‍රීඩා කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලා ජාතික ඔලිම්පික් කමිටුව සමගින් සංවිධානය කරනු ලබන බවත් ඔලිම්පික් කමිටු ප්‍රධානී පවසයි.

මේ අතර හයවැනි ක්‍රීඩා කළමනාකරණ උසස් ඩිප්ලෝමාව පාඨමාලාව පැවැත්වීමට දැනටමත් කටයුතු යොදා ඇති අතර එය එළැඹෙන ඔක්තෝබර් 27දා සිට ඇරඹීමට බලා‍පොරොත්තු වේ. මාස 12ක් පුරාවට කොටස් තුනක් යටතේ මෙම පාඨමාලාව පැවැත්වෙන අතර එක් කොටසක්  පිළිබඳව දින තුනක් සාකච්ඡාවට බඳුන් කෙරේ. ඔලිම්පික් ක්‍රීඩා සංවිධානය කිරීම දත්ත විශ්‍ලේෂණය පිළිබඳ කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය හා අලෙවි කළමනාකරණය පිළිබඳ විස්තරාත්මකව මෙම පාඨමාලාවෙන් දැනුම ලබාදීම විශේෂත්වයකි. මීට අමතරව ප්‍රධාන ක්‍රීඩා උළෙලක් සංවිධානය පිළිබඳ දැනුමද ලබා දේ.

අද රටේ ක්‍රීඩා පරිපාලනයේ අවුල් වියවුල් වී ඇති හේතුව නිසාම ක්‍රීඩාවේ යම් පසුබැසීමක් ඇතිව ඇති බව පැහැදිලිය. මෙවැනි තත්ත්වයක් යටතේ ජාතික ඔලිම්පික් කමිටුව මෙවැනි පාඨමාලාවන් නිලධාරීන්ට තැබිම වඩාත් කාලෝචිත බව අමුතුවෙන් කිව යුතු නැත.

නව පාඨමාලාව සඳහා අයැදුම්පත් සැප්තැම්බර් 15ට පෙර යොමු කළ යුතු අතර සැප්. 21දා පැවැත්වෙන එක්දින වැඩමුළුවකින් පසු ඉදිරිපත් වූවන්ගෙන් සුදුස්සන් තෝරා ගැනීමට සැලසුම් කර ඇත. සියලුම අයැදුම්පත් ජාතික ඔලිම්පික් කමිටු ‍ලේකම් වෙත යොමු කළ යුතු බවත් ඒ සමග ඉල්ලුම් කරන්නාගේ ජීව දත්ත තොරතුරු හා අදාළ ක්‍රීඩා සංගමයේ නියෝජිතයකු බවට පිළිගැනීමේ ලිපියක්ද යොමු කළ යුතු බව ජාතික ඔලිම්පික් කමිටුව පවසයි. අයැදුම් කරන්නා ක්‍රීඩා හා ශාරීරික කටයුතු හෝ ක්‍රීඩා ප්‍රවර්ධන ආයතනයක කළමනාකරුවකු විධායකයකු වීම, දැනට කළමනාකරණ ව්‍යාපෘතියක වගකීමක් දරන්නකු, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හොඳ හැකියාව මෙන්ම පරිගණක දැනුම තිබිම පාඨමාලාවේ ඉල්ලුම් කරන්නකු වීමට සුදුසුකම් ද වනු ඇත.

ධම්මික රත්නවීර