මෙරට දේශපාලන තලයේ විවිධ කැලඹීම් වාර්තා වුවද ඉකුත් දිනවල පක්ෂ විපක්ෂ භේදයක් නොමැතිව වඩාත් අවධානයට ලක් ව කරුණක් වූයේ සිල් රෙදි නඩුවේ තීන්දුවයි. එකී තීන්දුව පරිදි හිටපු ජනාධිපති ‍ලේකම් ලලිත් වීරතුංගට සහ ඉකුත් ආණ්ඩුවේ ප්‍රබල භූමිකාවක් දැරූ අනූෂ පැල්පිටට තෙවසරක සිර දඬුවම් නියම විය.

මෙම නඩු තීන්දුව පිළිබඳ විවිධ අදහස් උදහස් පලව තිබේ. මූලික වශයෙන් නඩු තීන්දුවක් පිළිබඳ අදහස් දැක්විය හැකි සීමාවක් ඇති අතර අපට පෙනෙන හැටියට එය වඩාත් කතාබහට ලක් වූයේ හිටපු ජනාධිපති ‍ලේකම්වරයාට සිර දඬුවම් නියම වීම නිසාය.

අධිකරණය ඔවුන් වැරදිකරුවන් කළේ පසුගිය ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල්රෙදි බෙදාහැරීමේ ව්‍යාපෘතියකට විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක මුදලක් වැයකර වංක ච්ෙතනාවෙන් සාවද්‍ය පරිහරණයක් කිරීමේ චෝදනාවටය. වසර 3ක සිරදඬුවමට අමතරව එක් එක් විත්තිකරුට රුපියල් ලක්ෂ 20 බැගින් දඩ මුදලක් නියම කර තිබේ. එසේම එක් එක් විත්තිකරු රුපියල් මිලියන 50 බැගින් වන්දි වශයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට ගෙවිය යුතු බවටද අධිකරණය නියෝග කර තිබේ.

පැය එකහමාරකට අධික කාලයක් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරන විනිසුරු ගිහාන් කලතුංග ප්‍රකාශ කළේ සිල්රෙදි ලක්ෂ 7ක් දිවයින පුරා විහාරස්ථානවලට බෙදා හැරීමට විත්තිකාර හිටපු ජනාධිපති ‍ලේකම් ලලිත් වීරතුංග නියමයෙන් රුපියල් මිලියන 600ක මුදලක් එවක විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට එම කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන් තොරව ප්‍රේෂණය කර ඇති බවය.

හිටපු ජනාධිපති ‍ලේකම්වරයාගේ ඉල්ලීම පරිදි හිටපු විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාණ්ඩලික පත්‍රිකාවක් ඉදිරිපත් කර 2014 වසරේ දෙසැම්බර් මස 05 වැනි දා එකී මුදල ප්‍රේෂණය කර තිබේ. විදුලි සංදේශ නියාමන කොමිසම සතු සමාජ සත්කාර වැයශීර්ෂයේ තිබූ රුපියල් මිලියන 100ක මුදල හදිසියේ මිලියන 600ක් දක්වා වැඩිකර ජනාධිපති ‍ලේකම්වරයා වෙත ප්‍රේෂණය කිරීමට විත්තිකාර පැල්පිට මහතා ගත් තීරණය විදුලි සංදේශන නියාමන කොමිසමේ විධිවිධානයන්ට පටහැණි බවට විනිසුරුවරයා ප්‍රකාශ කළේය. කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය තිබුණ ද මෙවැනි මුදල් ප්‍රේෂණයක් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බව ද විනිසුරුවරයා පැවසීය.

තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම සිල්රෙදි බෙදාදීමේ ව්‍යාපෘතිය එවකට පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සිදු කරන ලද්දක් නොවන බව විත්තිකාර හිටපු ජනාධිපති ‍ලේකම් ලලිත් වීරතුංග මහතා සාක්ෂි විභාගයේ දී ප්‍රකාශ කළ බවය. එහෙත් අරමුදල් සපයාගැනීමේ ප්‍රායෝගික දුෂ්කරතාව නිසා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වූ බව ද හිටපු ජනාධිපති ‍ලේකම්වරයා සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබේ. පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව පෙර කී මුදල් වැයකිරීමට විත්තිකරු ගත් ක්‍රියාමාර්ගය නීතියට පටහැණි බව ද විනිසුරුවරයා ප්‍රකාශ කළේය. දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ සඳහන් කළේ විත්තිකරුවන් කළ අපරාධයෙන් රුපියල් මිලියන 600ක මුදලක් මහජනයාට අහිමි වී ඇතැයි කියාය. මේ නිසා රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම සමාජයට ද ආදර්ශයක් දියහැකි තීන්දුවක් ලබාදෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහෙත් විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ප්‍රකාශ කළේ මෙම සිල්රෙදි බෙදාදීමේ වැඩපිළිවෙළින් විත්තකරුවන්ට රුපියලක හෝ වාසියක් අත්වී නොමැති බවය. ඔවුන් එක් සිල්රෙදි කැබැල්ලක් වත් සිය නිවෙස්වලට රැගෙන ගොස් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය. එබැවින් මේ කීර්තිමත් රාජ්‍ය සේවකයන්ට දෙදෙනාට ලිහිල් දඬුවමක් ලබාදෙන මෙන් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම විත්තිකරුවන් දෙදෙනා ගැටලුසහගත මුදල් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා නොගත් බව සාක්ෂිවලින් පෙනී ගිය ද පසුගිය සමයේ රාජ්‍ය නිලධාරීන්ට මෙවැනි ක්‍රියාවන් සඳහා යොමුවීම කෙරෙහි පෙලඹීමක් දක්නට තිබූ බව ද සාක්ෂිවලින් පෙනීයන බව ද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

අධිකරණය නීතිය හා යුක්තිය ඉටු කිරීමට බැඳී  සිටියි. එහෙයින් මෙම අධිකරණ තීන්දුව පිළිබඳ විග්‍රහ විශ්‍ලේෂණ ඉදිරිපත් කිරීමට වුවමනා නැත. එකී තීන්දුව මගින් වර්තමාන සේම අනාගත රාජ්‍ය නිලධාරීන්ට උගත හැකි පාඩම් බොහෝය. මහජන සන්තක මුදල් හෝ දේපළ භාවිත කිරීමේ දී බෙහෙවින් සැලකිලිමත් වීම ඉන් උගත හැකි පළමු වැනි පාඩමය. මෙකී නඩු තීන්දුව රජයේ සේවකයන්ට සේම පෞද්ගලික අංශයේ සේවකයන්ට ද තමන්ගේ වගකීම පිළිබඳ ප්‍රබල පාඩමක් ලබාදුන් බවට කිසිදු සැකයක් නැත.

කොහොම නමුදු මේ රටේ ලොකුම හොරකම හෝ වංචාව සිල් රෙද්දේ වංචාව යැයි අප සිතන්නේ නැත. සිල් රෙද්ද මතුවද එයට වැසුණු මහා පරිමාණ සොරකම් මහජන දේ‍පොළ, මුදල් කොල්ලකෑම් රාශියක් ඉකුත් කාලයේ මෙන්ම දැනුදු වාර්තා වේ. ඒවා රටට, ජනතාවට රහසක් නොවේ. සිල්රෙදි නඩුවේ වැරදිකරුවන් වී හිටපු ජනාධිපති ලලිත් වීරතුංග මහතා සහ අනූෂ පැල්පිට සිර ගෙදරට ගියේ බැඳුම්කර මහා වංචාවේ
සුලමුල සියල්ල රටට හෙළිවී තිබෙන පසුබිමක බවද අමතක නොකළ යුතුය.

බැඳුම්කර වංචාව මගින් කෙතරම් රටට, රටේ ආර්ථිකයට හානියක් වී තිබේද යත් අවසානයේ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා පවා තවදුරටත් ඒ වෙනුවෙන් පෙනී නොසිටින බව ප්‍රකාශ කළේ ය. ගිය කුමන ආණ්ඩුවක් කළත් වංචාව වංචාවමය. එහි දිග පළල මැනිය යුතු නැත. එහෙයින් අධිකරණය සිල් රෙදි නඩුවේ චූදිතයන්ට දඬුවම් දුන් ආකාරයට බැඳුම්කර වංචාවේ දූෂිතයන් සම්බන්ධයෙන් හෙළි වී ඇති ප්‍රබල සාක්කි පදනම් කරගෙන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු විභාගයකට නොපමාව යොමු විය යුතුය. කොමිසමේ වාර්තාව පමණක් පදනම් කරගෙන චූදිතයන්ට දඬුවම් දිය නොහැකිය. එහෙයින් නොපමාව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුය. කෝප් කමිටු වාර්තාවෙන් හෙළි වූ කරුණු අනුවද අධිකරණ ක්‍රියාමාර්ගයකට යෑමේ අවස්ථාව ආණ්ඩුවට හොඳටම තිබුණි. එහෙත් ආණ්ඩුව එම අවස්ථාව මඟහැරියේ ය. තවදුරටත් ආණ්ඩුවට මගහැරීමට ඉඩක් නැත. එසේ මඟහැරුයොත් එය ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරනවාට කිසිදු සැකයක් නැත.

වැරදිකරුවන්ට දඬුවම් දීමට අප විරුද්ධ නැත. එහෙත් එය දේශපාලන සෙල්ලමක් විය යුතු නොවේ. අපට පෙනෙන පරිදි දැනට තිබෙන දේශපාලන කරුණු අනුව සභාග ආණ්ඩුව ඉදිරියේ දී ප්‍රබල කැලඹීම්වලට යා හැකිය. ඉකුත් 6 වැනිදා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස් වූයේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ දීය. පැය තුනක් තිස්සේ පැවතුන රැස්වීමේදී ආණ්ඩුවේ ශ්‍රීලනිපය නියෝජනය කරන ඇමැතිවරුන් රැසක් තමන් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වාඩිවන බව ජනාධිපතිවරයාට දැන්වූහ. එම අවස්ථාවේ සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ටී. බි. ඒකනායක, අරුන්දික ප්‍රනාන්දු, සුසන්ත පුංචිනිලමේ සහ නිමල් ලංසා වැනි අය ජනාධිපතිවරයාට විශේෂයෙන් කරුණු අවධාරණය කළහ.

“ආණ්ඩුවේ මේ ගමන පිළිබඳ සෑහීමකට පත් වෙන්න බැරි නිසා ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කළා. ආණ්ඩුවෙන් ඉවත් වුණත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිගටම ඉන්නවා. විපක්ෂයේ හිඳිමින් ආණ්ඩුව දිහා බලන් ඉන්නවා. මේ කාරණය අපි ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. එතුමත් පිළිගත්තා අපි කියන කරුණුවල යම් පදනමක් තියෙන බව. නමුත් වෙනසක් කිරීමට කාලයක් අවශ්‍ය බව ජනාධිපතිතුමා පැවසුවා.

අපි කල්පනා කළා ඒ වෙනස කරන තෙක් විපක්ෂයේ වාඩි වී සිටීමට. ආණ්ඩුවේ හොඳ දේට අපි සහය පළ කරනවා. මේ ආණ්ඩුවේ වැරදි ක්‍රියාමාර්ග රැසක් මේ වන විට හෙළිවෙලා තියෙනවා. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ මුළු රටම දන්නවා. අද ඔවුන් වෙනුවෙන් නීතිඥයන් පවා පෙනී සිටීම පතික්‍ෂේප කරනවා. අධිවේගී මාර්ගවලින් හොරකම් කරලා තියෙනවා. නිසි ආර්ථික වැඩපිළිවෙළක් නැහැ. සයිටම් ප්‍රශ්නය විසඳන්න පුළුවන්කම තිබියදිත් විසඳන්නේ නැහැ.”

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් එළියට පැමිණි නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු කීවේ එවැනි කතාවකි. එමගින් පෙනෙන්නේ ඉදිරියේ දී සභාග ආණ්ඩුව දේශපාලනික පිපිරීමකට ලක් වීමකට බෙහෙවින් ඉඩකඩ ඇති බවය. ජනාධිපතිවරයා ද ඉවත්වන ඇමැතිවරුන්ට නතර වන්නැයි ප්‍රකාශ කර නැත. ඔහු ඇමැතිවරුන්ගේ අදහස් පිළිගෙන තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ වෙනසක් කිරීම සඳහා කාලයක් අවශ්‍යයි කියා ය. ජනාධිපතිවරයා අපේක්ෂා කරන වෙනස කුමක්දැයි පැහැදිලි නැත. එය එජාපය සමග ආණ්ඩු කිරීම නතර කර වෙනත් ගමනක් යාම විය හැකිය. එයට හේතුව එජාපය සමග දිගට ආණ්ඩු කරන්නේ නම් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඊට හවුල් නොවීමට බෙහෙවින් ඉඩකඩ තිබෙන හෙයිනි. මෙකී කරුණු අනුව පෙනෙන්නේ ඉදිරියේ දී ආණ්ඩු පක්ෂ විපක්ෂ භේදයක් නැතිව දේශපාලන ඉත්තන් ඉතා වේගයෙන් චලනය විය හැකි බවය.

කොහොම නමුදු ජනාධිපතිවරයා 66 වැනි ශ්‍රීලනිප සමුළුවේ දී කළ කතාවේ හරය ශ්‍රීලනිප ආණ්ඩුවක් සඳහා පාක්ෂිකයන්ට සූදානම් වන්නැයි ප්‍රකාශ කිරීමය. එවැනි ගමනක් සඳහා ඔහු සියලු යහපත් බලවේගවලට ආරාධනා කළේ ය. අපට පෙනෙන හැටියට ජනාධිපතිවරයාගේ උපාය මාර්ගය විය හැක්කේ යහපත් බලවේග එක්කරන දේශපාලන ව්‍යාපාරයක් මගින් ශ්‍රීලනිපය ද සුද්ද පවිත්‍ර කර ඉදිරි දේශපාලන අභියෝග ජය ගැනීම විය හැකිය. අනෙක් අතට දේශපාලනික වශයෙන් නොපෙනෙන එහෙත් විශාල ප්‍රාග්ධනයක් සහ මාධ්‍ය හිමිකාරත්වයක් සහිත චරිත ද සභාග ආණ්ඩුවේ දේශපාලන කැලඹීම් අස්සේ බිලිබෑමට එනම් බොරදියේ බිලිබෑමට සූදානම් වන බවද පෙනේ. එම බලවේගවල වුවමනාව බව පෙනෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන එජාප කණ්ඩායම ජනපතිවරයාගෙන් ඉවත් කර ඔහු සමග වෙනත් ගමනක් යාම විය හැකිය. මෙවැනි කරුණු නිසා ඉදිරියේ දී දේශපාලන ‍පොර පිටිය බෙහෙවින් ගැටුම්කාරී වනවාට සැකයක් නැත. ඒ ගැටුම ගැඹුරු තැනකට යොමුවෙනවාද යන්න සලකා බැලීමේදී බැඳුම්කර කොමිසමෙන් හෙළිවන කරුණු අනුව චූදිතයන්ට එරෙහිව ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය ද අතිශය තීරණාත්මක සාධකයක් වනු ඇත. එම ක්‍රියාමාර්ගය සමහර අයගේ දේශපාලන ගමන අවසන් කිරීමටත්, තවත් අයට දේශපාලන ගමනක් ආරම්භ කිරීමට හෝ ශක්තිමත් කිරීමටත් හේතු විය හැක.

මතෛක් විවිධ තැන්වල වේදිකාවල අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේම වේදිකාවක නැග ඉකුත් සතියේ නව ගමනක් ආරම්භ කළේ ය. දේශපාලන කැලඹීම් මැද ගෝඨාභයේ නව ගමන කෙබඳු තැනකට යොමු වේදැයි තවම අනාවැකි පළ කළ නොහැකිය. අපට පෙනෙන පරිදි ඔහුට ද දේශපාලනිකව කළමනාකරණය කළ හැකි සැලකිය යුතු විභවයක් තිබේ. එහෙත් ඒ ගමන යාමේදී තෝරා ගන්නා උපාය මාර්ග අනුව එය කළමනාකරණය කරගත හැකිවනු ඇත. එහිලා ඔහු අතිශය පරිස්සම් විය යුතුය. අප දකින පරිදි ඉකුත් ආණ්ඩු අය සමග ගමන ආරම්භ කරනවාට වඩා නව බලවේගයක් සමග වෙනම ගමනක් ගොස් පසුව දේශපාලන උපාය මාර්ග තේරීම වඩාත් යෝග්‍ය වනු ඇත.

වරුණ අබේසේකර