නව බදු පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය හා රටේ දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සමග කරන ලද සංවාදයකි.

ප්‍ර – රටේ ධීවර වරායන් රජය විසින් විදේශ සමාගම්වලට බදු දීමට යන බවට ආරංචියි. මෙය සත්‍යයක්ද?
පි – ඔව්, ධීවර වරායන් 25ක්, නැංගුරම් ‍පොළවල් හැත්තෑ ගණනක ප්‍රමාණයක් ආණ්ඩුව පෞද්ගලික සමාගම් සමග එක්වී හවුල් ව්‍යාපාර බවට පත් කිරීමට සූදානම්. මේවා විදේශීය සමාගම් විසින් බදු ගැනීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. අදාළ කැබිනට් පත්‍රිකාව අනුමතයි. මෙය ඉතා බරපතළ තත්ත්වයක්. ජනාධිපතිවරයා පවා මෙය අනුමත කරලා. මේ වරායන්ගෙන් වැඩි ප්‍රමාණය ස්වභාවික ඒවා.

පෞද්ගලීකරණය කිරීමෙන් පසුව දැනට වඩා වැඩි මුදලක් ගාස්තු වශයෙන් ගෙවීමට ධීවරයන්ට සිදුවෙනවා. මේක ධීවර කර්මාන්තයට මරු පහරක්. නැංගුරම් පහසුකම්, අයිස් නිෂ්පාදනය හා ගබඩාකරණය වෙනුවෙනුත් වැඩි මුදලක් අය කරයි. ලංකාවේ ධීවර වරායන් පිහිටි ප්‍රදේශ ආරක්ෂක අතින් ඉතා වැදගත්. උතුරු හා නැගෙනහිර වෙරළ තීරයන් ගැන පමණක් අවධානය යොමු කළත් මේ බව තහවුරු වෙනවා. මේ නිසා රටේ ස්වෛරීත්වය අමු අමුවේ උල්ලංඝනය වෙනවා. ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමට මෙය පනින රිළවුන්ට ඉණිමං බැන්දා ‍නෙවෙයි හයිවේ හැදුවා සේ වෙනවා. වරායන් පාඩුවී තිබෙන්නේ හොරා කෑ නිසා මිසක් ස්වභාවික හේතුවලින් ‍නෙවෙයි.

ප්‍ර – මේවා බදුදීමේ අරමුණ කුමක් විය හැකිද?
පි – ධීවර වරායන් විකිණීමෙන්, බදුදීමෙන් ආණ්ඩුව මුහුණදී සිටින ආර්ථික ගැටලුවලට පිළියම් ලැබෙන්නේ නම් නැහැ. මේ හරහා විශාල මුදලක් ලැබෙන්නෙත් නැහැ. ප්‍රධාන කාරණා විදිහට අපි දකින්නේ දකුණු ආසියානු බලවතුන්ගේ බලපෑම හා විශේෂයෙන් ඉන්දියාවේ දැඩි බලපෑම මත මෙය සිදුවිය හැකි බවයි. හම්බන්තොට වරාය චීනයට දීම නිසා ඉන්දියාව මෙවැනි ස්ථාවරයක සිටිනවා විය හැකියි. දෙවැනි කරුණ මේ ධීවර වරායන් බදු දීමේදී අනිවාර්යයෙන්ම කුණු කොල්ලයට ඇස්තමේන්තුගත කර කොමිස් කුට්ටි ලබාගැනීම දේශපාලනඥයන්ගේ උත්සාහයයි.

ධීවර අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් මේ කරුණු සම්බන්ධයෙන් දැනටමත් අප
වෙත තොරතුරු ලබාදී තිබෙනවා.

ප්‍ර – මේ කාරණය සම්බන්ධයෙන් ජවිපෙ ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
පි – ධීවර ක්ෂේත්‍රයේ අපේ වෘත්තීය සමිති හා ධීවර අමාත්‍යාංශය, ධීවර නීතිගත සංස්ථාවේ නිලධාරීන් හා ඒවායෙන් විශ්‍රාම ගොස් සිටින නිලධාරීන්ගේ එකතුවෙන් සංවිධානයක් ගොඩනගා තියෙනවා. එසේම මාධ්‍ය සාකච්ඡාවක් හරහා මෙහි සුලමුල රටට හෙළිදරව් කරනවා. ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මකයි. මේවා හරහා සියලු පාර්ශ්වයන් දැනුවත් කර ඊළඟ අදියරේදී ආණ්ඩුවට බලපෑම් එල්ල කරනවා.

ප්‍ර – මෙහෙම යනකොට රටට ඉතිරි වන්නේ මොනවාද?
පි – හොරු, ණය හා කුණු කඳු පමණයි. මේවා කිසිසේත්ම පුද්ගලීකරණය කළ යුතු ඒවා ‍නෙවෙයි. ආණ්ඩුව ණයවෙලා හදපු ඒවත් ‍නෙවෙයි. මේ වැඩ නිසා රට විදේශීය බලවතුන්ගේ ගුබ්බෑයමක් බවට තවදුරටත් පත්කෙරෙන අතරම මාතෘභූමියට හිමි තීන්දු තීරණ ගැනීමේ අයිතිය ආණ්ඩුව අත්හරිමින් සිටිනවා.

ප්‍ර – 20 වැනි සංශෝධනය සම්මත වීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පවත්වන බවට අගමැතිවරයා විසින් කරන ලද ප්‍රකාශය තව තවත් ඡන්ද කල්දැමීමේ උත්සාහයක්ද?
පි – රාජපක්ෂ පාලන කාලය තුළදී ඔහු ඉතා තක්කඩි ආකාරයට මැතිවරණ කල් දැමුවා.  රටේ ආරක්ෂාව පවා බිල්ලට තබමින් පළාත් සභාවල වලංගු කාලසීමාව අවසන් වීමටත් පෙර යුද මෙහෙයුමට එක බැගින් ඡන්ද පැවැත්වූවා. යුද්ධය අවසන් වීමට පෙර අවසන් වසර 2 1/2 කාලයේදී තමන්ගේ බලය තහවුරු කරගැනීමට මැතිවරණ පැවැත්වූවා. යුද්ධයෙන් පසුවත් එසේමයි. වර්තමාන තත්ත්වයට අනුවත් වසර 2 1/2ක් ඉදිරියට කඩින්කඩ මාස හතරෙන් හතරට පළාත් පාලන ඡන්ද පැවැත්විය යුතු වෙනවා. මෙයට ජනතාව කැමති වේවිද? මෙය ප්‍රජාතාන්ත්‍රවාදය නොවෙයි. වසරක් තුළ නීත්‍යානුකූල ලෙසට පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුව තීරණය කරනවා නම් ජවිපෙ එයට එකඟයි. නමුත් ඔය සම්මත කිරීමට යන පනතේ අඩුපාඩු බොහොමයි. ඒවා නිවැරදි කරගෙන පළාත් සභාවලට ඉදිරිපත් කළ යුතුයි.

ප්‍ර – පනත සම්මත වීම පළාත් සභා තුළ අවුලක් ඇතිවෙලා නේද? ඇතැම් තැනක කල් තබනවා. තවත් අය ගුටි කෙළි. මෙසේ සිදුවන්නේ ඇයි?
පි – මා කලින් කීවාක් මෙන් පනතේ සමහර වගන්ති ගැටලු සහගතයි. පළාත් සභා විසුරුවීමේ බලය පාර්ලිමේන්තුවට පවරා ගැනීම වරදක්. එය මේ වතාවට පමණක් සීමා විය යුතුයි. ඒ වගේම ඡන්දය පැවැත්විය යුතු කාලසීමාව නිශ්චිත කරගත යුතුයි.

මේවා නිවැරදි වෙනවා නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයක්ම පනතට එකඟ වෙනවා. රාජපක්ෂලා විසින් කරන ලද සෑම තක්කඩි ක්‍රියාවක්ම සදාකල් ජනතාව විසින් කරගසාගෙන යා යුතු නැහැ. 18 වැනි සංශෝධනය කළා සේම 20ද නිවැරදි කරගත යුතුයි. රටේ ආර්ථිකය නිවැරදි මගට යොමුකරවීමට හෝ දූෂණ, වංචා අහෝසි කිරීම මේ ආණ්ඩුවෙන් කරගැනීමට නොහැකි නිසා මේ තක්කඩි ක්‍රියාවන් හෝ අහෝසි කරගත යුතුයි.

ප්‍ර – මාතර-කතරගම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී සිදුවන මහා පරිමාණ වංචා, දූෂණ ගැන ජවිපෙ හා ඒකාබද්ධ දූෂණ විරෝධී හඬ සංවිධානය හෙළිදරව්වක් කර තිබෙනවා. මෙයට අදාළ පුද්ගලයන් කෝප් කමිටුව හමුවට ගෙනඒමට අදහසක් නැද්ද?
පි – මීට පෙර අප විසින් කෝප් කමිටුව හරහා අනාවරණය කළ කරුණුවලට අදාළව මාර්ග සංවර්ධන අධිකාරියේ රුපියල් කෝටි ගණනින් වැටුප් ගෙවමින් සිටි දේශපාලන පත්වීම් හරහා කටයුතු කළ ‍ලේකම්වරුන් උපදේශකවරුන් 90කට අධික සංඛ්‍යාවක් ඉවත් කිරීමට ආණ්ඩුවට සිදුවූවා. අමාත්‍යාංශයටත් මෙය වලංගුයි. අධිකාරිය තුළ වෙන් වෙන් වශයෙන් පිහිටුවාගෙන තිබූ රජයේ මුදල්වලින් යැපෙන රාජපක්ෂගේ ගෝලයන් සිටි කොමිස් සමාගම් ගැන අපි අනාවරණය කළා. වර්තමාන විෂය භාර ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ගෝල බාලයනුත් ගසාකෑමේ යෙදී සිටින නිසා මේවා මුළුමනින්ම නතර කිරීමට නොහැකි වී තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය කෝප් කමිටුව හමුවට කැඳවිය යුත්තේ මේ පිරිසත් සමගයි. නමුත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලයක් කෝප් කමිටුවට නැහැ. අල්ලස් කොමිසමට තරමේ බලයක් මෙයට ලැබෙනවා නම් මහා පරිමාණයෙන් කෙරෙන වංචා, දූෂණ අවම කිරීමට මෙන්ම පසුගිය ආණ්ඩුවේ හොරුන්ටත් දඬුවම් දිය හැකියි. රුපියල් ලක්ෂ 4000කටත් වැඩි ගණනකට වඩා කුලී ගෙවන කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ලට අයත් ගිවිසුම අත්සන් කිරීමට පෙර දින රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අපි ප්‍රතික්ෂේප කළා පමණක් ‍නෙවෙයි මේ හරහා දූෂණයක් සිදුවුන බවත් කීවා. නමුත් ගිණුම්කාරක සභා නියෝගය නොතැකූ මේ දූෂිත ආණ්ඩුව එම ගිවිසුමට අත්සන් කළා. දඬුවම් දීමේ බලතල කාරක සභාවලට නැතිකමේ අඩුව නිසා හොරු පිනුම් ගහනවා.

ප්‍ර – රජයේ නව බදු පනතට තැන තැන විරෝධතා මතුවෙමින් තිබෙනවා නේද?
පි – අපි මෙයට එරෙහි වූවා පමණක් ‍නෙවෙයි, සංශෝධන හතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ප්‍රජාව දැනුවත් කිරීම් කරගෙන යනවා. කම්කරුවන්ගේ ඊපීඑෆ් අරමුදලට 10 සිට 14 දක්වා බදු වැඩි කිරීමට එරෙහිව ජවිපෙ හා සම්බන්ධ වෘත්තීය සමිති විරෝධතා එල්ල කරමින් සිටිනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙසට එම බද්ද නැවත 10 දක්වා අඩු කරන බවට මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසන නමුත් නීත්‍යානුකූලව තහවුරු වී නැහැ. මේවාට අමතරව විවිධ ක්ෂේත්‍රයන්ට බලපාන ලෙසට අසාධාරණ බදු වැඩිවීමක් මේ පනතට ඇතුළත් මහා පරිමාණ සමාගම්වලට බදු වැඩි කළාට ප්‍රශ්නයක් නැහැ. නමුත් වැඩිකර ඇත්තේ සාමාන්‍ය ජනතාවට බලපාන බදුයි.

අපේ සංශෝධන ආණ්ඩුව පිළිනොගතහොත් බදු පනතට එරෙහිව ජනතාව සමග පාරට බහිනවා.

ප්‍ර – මෙහි අහිතකර වගන්ති ඉවත් නොකළොත් වැඩ කරන ජනතාව සමග පැමිණ මුදල් අමාත්‍යාංශය වට කරන බවට අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රකාශයත් විරෝධයේ පියවරක්ද?
පි – ඔව්, රටේ වැඩ කරන ජනතාව දහඩිය මහන්සියෙන් උපයන සොච්චමට බදු ගැහීම නතර කර දැමිය යුතුයි. පර්පචුවෙල් දූෂිත වංචාව වැනි මහා පරිමාණ වංචා කරන්නේ ධනපතියනුයි. ඔවුන්ට මේ කිසිම බද්දක් නැහැ. බැඳුම්කර ගනුදෙනුවේදී අයථා ලෙස ලාභ උපයා ඇත්තේ ඊපීඑෆ් එකෙන්. කම්කරු අමාත්‍යාංශය මහල් 30ක ගොඩනැගිල්ලක් ඉදිකරන්නේද මේ අරමුදලෙනුයි. මේ නිසා තමන්ගේ අරමුදල ආරක්ෂා කිරීමේ වගකීම කම්කරු වෘත්තීය සමිති සතුයි. ඊපීඑෆ් මුළු මුදල රු. බිලියන 1600යි. මේ නිසා සියලුම ආණ්ඩු මේකට කෙළ හලනවා. මුදල් අමාත්‍යාංශයේ පදිංචි වී පමණක් ‍නෙවෙයි නිලධාරීන් එළවා දමා හෝ අරමුදල ආරක්ෂා කරගත යුතුයි.

ප්‍ර – ඔබ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගම ගැන කතා කළා. මේ වනවිට ජනාධිපති කොමිසම ඉදිරියේ එම සමාගම නියෝජනය කළ නීතිඥවරයා පවා එයින් ඉවත්වෙලා. මෙය ඔබ දකින්නේ කෙලෙසද?
පි – වැදගත්ම දේ දේශපාලනඥයන්ගේ දේශපාලන වශයෙන් මෙවැනි විමර්ශන සිදුකරන නිලධාරීන්ට බලපෑම් නොමැති නම් අනිවාර්යයෙන්ම ‍පොලිසියට හා ඒ හා සම්බන්ධ අනෙකුත් ආයතනවලට හොරු ඉතා ඉක්මනින් අල්ලාගත හැකියි. පර්පචුවෙල් සමාගම බැඳුම්කර වංචාව සිදු කළේ ඉතාම සූක්ෂ්ම ලෙසටයි. මෙම සිද්ධිය ප්‍රයෝජනයට ගනිමින් යූඑන්පිය තම දැ‍ලේ සිරකර ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබෙනවා. මෙයට අදාළ වගඋත්තරකාර මිතුරන් බේරා ගැනීමට අගමැතිවරයා උත්සාහ කළා. පරීක්ෂණවලට බාධා කිරීම් නැති නිසා හොරු නිරාවරණය වෙමින් තිබෙනවා. එහෙම නම් රාජපක්ෂලාගේ හොරකම් ඇල්ලීම කජු කනවා වගේ දෙයක්. මොවුන් හොරකමේ යෙදුණේ කිසිදු පෙර සූදානමකින් තොරවයි.

එයට හේතුව ඔවුන් කවමදාකවත් පරාජය වීමට සිටි පිරිසක් ‍නෙවෙයි. රාජපක්ෂ පවුල පමණක් නොවෙයි ඒ හොරකම් සඳහා අනුබල දුන් සහාය වූ නිලධාරීන්, ඒවගේම වර්තමාන ආණ්ඩුවට එකතු වී සිටින පෙර ආණ්ඩුවේ හොරුන් මේ ආණ්ඩුවේ එජාප හොරු අල්ලාගෙන නීත්‍යානුකූල දඬුවම් ලබාදී කෝටි ප්‍රකෝටි ගණනින් උපයා ගසා කා ඇති මහජන මුදල් ආපසු ලබාගැනීම මාස දෙක තුනකින් කළ හැකියි.

ප්‍ර – රණවිරු දඩයම නැවතත් කරලියට ඇවිත්. මේ සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ ප්‍රකාශය ගැන ජවිපෙ ස්ථාවරය කුමක්ද?
පි – ඔහු තමන්ගේ දේශපාලන තනතුර පුද්ගලික පළිගැනීමකට යොදාගෙන සිටිනවා. ඔය කියන දේවල් සිදුව ඇත්තේ ජගත් ජයසූරිය, සරත් ෆොන්සේකා යටතේ රාජකාරි කළ කාලයේමයි. ජාත්‍යන්තරයෙන් ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා එල්ල වනවිට ඒ මැදට පැන සාක්ෂි දෙනවා යැයි කීම නොව ෆොන්සේකා මහතා කළයුතුව තිබුණේ. ඔහු විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීමයි. ඕනෑම යුද්ධයකදී යුද අපරාධ සිදුවෙනවා. විමර්ශන සිදුවිය යුත්තේ යුද්ධයෙන් පසුව සිදුවූ අපරාධ පිළිබඳවයි.

88-89 කාලයේදී අත්අඩංගුවට ගත් ජවිපෙ සහෝදරවරුනුත් ඝාතනයට ලක්වූවා. ‍පොලිසි තුළ හමුදා කඳවුරු ඇතුළේදි මරා දැමුවා. ඒ අයගේ අඹුදරුවන්, ඥාතීන් ඝාතනය කළ ඒවත් අපරාධ. මේ පිළිබඳවත් විමර්ශන සිදුකළ යුතුයි. ජාත්‍යන්තර කාක්කන් මේවාට වුවමනා නැහැ. ජාත්‍යන්තරය යුද අපරාධ සම්බන්ධයෙන් ඇඟිලි ගසනවාට ජවිපෙ විරුද්ධයි. එල්ටීටීඊ යුද අපරාධකරුවන් රාජපක්ෂ තුරුල්ලෙත් සිටියා. මේ ආණ්ඩුව තුළත් සිටිනවා. මේ ගැනත් ශ්‍රී ලංකා ආණ්ඩුව පරීක්ෂණ ආරම්භ කළ යුතුයි. සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් වාසිය අත්ව තිබෙන්නේ යුද අපරාධකරුවන්ටයි.

තිලක් පුෂ්පකුමාර
thilakpushpakumara7@gmail.com