ලාංකීය දේශපාලන කරලිය දිනෙන් දිනම උණුසුම් වන තත්ත්වයක් පෙනෙන්නට ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව තැනූ ආණ්ඩුවේ ඉරණම පිළිබඳ විවිධ දේ විවිධ පුද්ගලයෝ කතාබහ කරති. පිරිසක් පවසන්නේ එළඹෙන අයවැයේ දී මේ සන්ධාන ආණ්ඩුවේ ඉරණම තීරණය කිරීමේ හැකියාව පවතින බවය. එහෙත් එම ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්ව දිගින් දිගටම පෙන්වා දෙන්නේ 2020 වනතුරු මේ සන්ධාන ආණ්ඩුව හැර වෙනත් ආණ්ඩුවක් රට තුළ කිසිසේත්ම ස්ථාපිත වීමේ ඉඩකඩක් නොපවතින බවය. මෙවැනි දේශපාලන කරුණු හා එළඹෙන අයවැය පිළිබඳවත් මෙවර අප සාකච්ඡා කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සමගය. පහත පළවන්නේ එම සාකච්ඡාවයි.

ප්‍ර- මහින්ද රාජපක්ෂ රජය සමයේ බෙදන ලද සිල් රෙදි තොගයක් සම්බන්ධයෙන් නඩුවක් විභාග වුණා. එම නඩුවේ චූදිතයන් වුණේ හිටපු ජනාධිපති ‍ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්. ඔවුන් එම නඩුවේ වැරදිකරුවන් බවට පත් කොට මේ වන විට තීන්දුවක් නිකුත් වී තිබෙනවා.මේ පිළිබඳ ඔබ මොකක්ද හිතන්නේ ?
පි- ඇත්තටම මේක ඉතාම හොඳ නඩු තීන්දුවක්. මෙහිදී අපි බැලිය යුත්තේ කාරණා දෙකක් පදනම්ව. එකක් තමයි මෙම තීන්දුවෙන් අධිකරණය ලබා දෙන ආදර්ශය.

දෙවැන්න තමයි එම තීන්දුවෙන් පීඩනයට පත් වී තිබෙන පාර්ශ්වය. පැහැදිලිවම මෙම තීන්දුවෙන් අධිකරණය රටට සුපහන් ආදර්ශයක් ලබා දී තිබෙනවා. ඒ තමයි දේශපාලන බලාධිකාරිවල පීඩනයට යටත්ව රාජ්‍ය සේවකයන් වැඩ කිරීමේ දී තමන්ගේ සීමාව නොයික්ම විය යුතු බව. ඒකෙම අනික් පැත්ත කිව්වොත් ඉන් ගම්‍ය වෙනවා රාජ්‍ය සේවකයන් දේශපාලකයන්ගේ වැරදි තීරණවලට හා වැරදි නියෝගවලට යටත් නොවිය යුතු බව. ඒ මගින් රාජ්‍ය සේවකයා මේ තීන්දුවෙන් ශක්තිමත් වෙනවා. අපි මෙහිදී එකක් අවධාරණය කළ යුතුයි. ඒ තමයි මේ තීන්දුව මගින් කිසිසේත්ම රාජ්‍ය සේවකයා අධෛර්යමත් නොවිය යුතුයි. ඒ එක්ම කිව යුතු දේ තමයි රාජ්‍ය සේවකයා තමන්ගේ රාජකාරී සීමාව හඳුනාගෙන කටයුතු කිරීම. අදට මේක වලංගු වෙන්නේ නෑ. මොකද මේ වන විට රාජ්‍ය සේවකයන්ට මේ ආකාර නොමනා නියෝග හා බලපෑම් අපේ රජය යටතේ එල්ල වෙන්නේ නැති නිසා. ඒ එක පැත්තක්. අනෙක් පැත්ත තමයි මේකෙන් පීඩනයට පත් වූ පාර්ශ්වය. ඔවුන් ගැනත් යමක් කිව යුතුයි. මේ නඩු තීන්දුව යහපත් තීන්දුවක් වුණත් ඉන් ගම්‍ය වෙන්නේ නෑ මේ නිලධාරින් හොරු කියලා. විශේෂයෙන්ම ලලිත් වීරතුංග මහතා හොරෙක් නොවන බව කිව යුතුයි. එහෙත් තමන්ගේ සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා වැඩ නොකළ යුතු බව ඔවුන් මේ හරහා ඉගෙන ගන්නවා. එය දකින අනික් අයත් ඒ කරුණ තේරුම්ගත යුතුයි.

ප්‍ර- ඔබ ඔය ආකාරයට ප්‍රකාශ කළත් සිල් රෙදි බෙදීම සිදුවන්නේ මේ නිලධාරින්ගේ වුවමනාවකට නොවන බව පැහැදිලි කරුණක්. නමුත් ඒ නියෝග නිකුත් කළ අය සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න බවක් පේන්න නෑ?
පි- ඇත්තටම ඒ කා‍ලේ බලයේ සිටි අය තමයි මේ නියෝග නිකුත් කළේ. ඒක මේ නිලධාරින් හෙළි කළ යුතුයි. මෙම නඩු වාර්තාව මම නිසි ලෙස පරිශීලනය කරලා නෑ.

සමහර විට මීට වඩා දෙයක් ඒ තුළ සටහන් වී තිබෙන්න පුළුවන්. කෙසේ වුවත් නියෝග දුන් අය හෙළිකළ යුතුයි. ඔවුන්ට ඒ සඳහා ලබා දිය හැකි දඬුවම් ද ලබාදිය යුතුයි. ඇත්තටම නඩු වාර්තාවේ ඔවුන් පිළිබඳව සඳහන් වුණත් නොවුණත් ස්ථිර වශයෙන්ම මුළු රටම දන්නවා කවුද මේ වැරදි සහගත නියෝග නිකුත් කළේ කියලා.

ප්‍ර- ඔබ ප්‍රථමයෙන් ප්‍රකාශ කළා මේ යහපාලන රජය යටතේ මෙවැනි තත්ත්වවලට නිලධාරීන්ට මුහුණ දීමට සිදු නොවන බව. එහෙත් බැඳුම්කර සිද්ධියේ දී මීට සමාන තත්ත්ව දැන් හෙළිවෙමින් තිබෙනවා. අනෙක් අතට එය වංචාවක් බවත් මේ වන විට හෙළි වී අවසන්. මොකක්ද මේ තත්ත්වය?
පි- බැඳුම්කර සිද්ධියේ යම් ගැටලුකාරී තත්ත්වයක් තිබෙන බව සමාජය තුළත් වෙනත් පාර්ශ්ව තුළිනුත් මතු වුණා. ඒ මතු වූ මොහොතේම ඒකට අවශ්‍ය කරන පරීක්ෂණ කටයුතු ආරම්භ වුණා. දැනටත් විවිධ ස්ථරවල විවිධ යාන්ත්‍රණ ඔස්සේ එම පරික්ෂණ කටයුතු සිදුවෙමින් තිබෙනවා. අද රටම කතා කරන්නේ එම පරීක්ෂණ කටයුතු  නිවැරදි ලෙස සිදුවෙන නිසයි. අපි යහපාලන රජය හැටියට නිවැරදි තීන්දු තීරණ ගන්න හින්දා තමයි අද එවැනි පරීක්ෂණ සිදු වෙන්නේ. වැරැද්දක් වුණා නම් ඒක ගැන අපි විධිමත්ව සොයා බලනවා. ඒක තමයි මේ නව රජයේ වෙනස. පෙර රජය කළේ දූෂිතයෝ වහගෙන තව තවත් දූෂණ කරමින් ජනතාව රවට්ටපු එක. නමුත් අපි ඒක වෙනස් කරලා තියෙනවා. ඒක ඉතාම හොඳ ප්‍රවණතාවක්.

ප්‍ර- යම් හෙයකින් බැඳුම්කර සිද්ධියට ඔබේ ආණ්ඩුවට සම්බන්ධ අය වැරදිකරුවන් වුණොත් ඔවුන්ට දඬුවම් හිමිවෙයිද?
පි- පැහැදිලිවම. අපේ ආණ්ඩුවට කිසිම වුවමනාවක් නෑ දූෂිතයන් රකින්න. එහෙම වුවමනාවක් තියෙනවා නම් මේ වගේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නෑ. ස්ථිර වශයෙන්ම මේකට වගකියන්න ඕන අය තරාතිරම නොබලා දඬුවම් කිරීම ඉදිරියේ දී සිද්ධ වෙයි.

ප්‍ර- අපි දැක්කා පසුගිය දා ඔබ හදිස්සියේම විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා සමග විශාල වාග් සංග්‍රාමයක් පවත්වනවා. මොකක්ද මේ තරහා?
පි- ඔබේ ප්‍රශ්නය නිවැරදි කරන්න ඕන තැනක් තියෙනවා. මම විමල් එක්ක හැපෙන්නේ හදිස්සියේ ‍නෙවෙයි. 2013 ඉඳන්ම මම විමල් වැනි පාර්ලිමේන්තුව තුළ ඉන්න සමහර අයත් එක්ක තාර්කිකව පැටලුණා. එවැනි වංචා සහගත ක්‍රියා තියෙන අයට මම අභියෝග කළා. ඒ නිසා මේක හදිස්සියේ වෙච්ච දෙයක් ‍නෙවෙයි.

ප්‍ර- විමල් චෝදනා කරනවා ඔබට ඔබ කැසිනෝවලට වහල් වෙච්ච කෙනෙක් කියලා. මොකක්ද මේ කතාව?
පි- මම කරන්නේ මොනවද කියලා මගේ නෝනා මහත්තයා දන්නවා. මට ඒක සම්බන්ධයෙන් විමල්ව දැනුවත් කරන්න අවශ්‍ය නෑ. මම හොරකම් කරලා මාලිගා හදලත් නෑ. අපි දේශපාලනයට එනකොටත් අපිට මාලිගා තිබුණා. ඒක හින්දා ඔය චෝදනා වලංගු නෑ.

ප්‍ර- මම ඔබෙන් විමසුවේ කැසිනෝ සඳහා ඔබේ නැඹුරුවක් තිබෙනවද කියලා?
පි- මට හංගන්න දෙයක් නෑ. මම බොරු කියන්නෙත් නෑ. දේශපාලනයට එන්න කලින් ව්‍යාපාරිකයෙක් වශයෙන් ඉන්නකොට මම ඇතැම් විට කැසිනෝ ක්‍රීඩාවට ගිහින් තියෙනවා.
ප්‍ර- ක්‍රමයෙන් අයවැයට ළංවෙමින් තිබෙනවා. දැනට ඔබ පක්ෂය ඇතුළේ අයවැය පිළිබඳ කතිකාවක් ඇරඹී තියෙනවාද?
පි- ඔව්. මෙවර අපි ධනාත්මක අයවැයක් ලබාදීමට තමයි කටයුතු කරමින් ඉන්නේ. ඉදිරියේ දී ඒ පිළිබඳව දැනගන්න පුළුවන්.

ප්‍ර- ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ඇතැම් බලවේග පවසනවා මෙවර අයවැයේ දී මේ ආණ්ඩුව බිඳ දමන බව?
පි- ඔය ආණ්ඩු පෙරළන කතාව දැන් ජනතාව හිනස්සන කතාවක් බවට පත්වෙලා. මේගොල්ලෝ පහුගිය කාලෙ පුරාම සතියෙන් සතිය මාසෙන් මාසෙ ‍පෝයෙන් ‍පෝය ආණ්ඩු පෙරළන බව කිව්වා. නමුත් ඒ එකක්වත් සිද්ධ වුණේ නෑ. දැන් ඕක ඇහෙනකොටත් මිනිස්සු දන්නවා මේ අමූලික බොරුවක් කියලා. 2020 වෙනකන් මේ ආණ්ඩුවේ ගමන ස්ථිරයි. ඒක දරාගන්න බැරි අය තමයි ඔය බොරු අවලාද නගමින් ඉන්නේ.

ප්‍ර- ඔබ ඔහොම කිව්වට ආණ්ඩුව ඡන්දවලට බයේ පැනලා යන බව තමයි විපක්ෂය කියන්නේ?
පි- නෑ. ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක්. අපි මැතිවරණවලට බය නෑ. පුංචි ඡන්දය කල්දාලත් නෑ. රටට ගැළපෙන නිවැරදි ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීමට තමයි අපි උත්සාහ කරන්නේ. ඒක ඉතාම සුබවාදී තමන්ගේ ගමට නායකයෙක් ලැබෙන ඒ හරහා සංවර්ධනයක් ලැබෙන ඉතාම හොඳ ක්‍රමවේදයක්. දෙසැම්බර්, ජනවාරි වන විට එම ඡන්දය අපිට මේ නව ක්‍රමය යටතේ පවත්වන්න පුළුවන් වෙනවා. ඒක රට ලබන ජයග්‍රහණයක්.

ප්‍ර- මේ දිනවල ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ  ප්‍රකාශයත් සමග රට තුළ යුද අපරාධ සම්බන්ධ කතිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය පිළිබඳව රටේ විරෝධයක් මතුව තිබෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නේ?
පි- එතුමා ඒ ප්‍රකාශ කළේ එජාපයේ මතය ‍නෙවෙයි. එම ප්‍රකාශය තුළ පිළිගත හැකි වගේම පිළිගත නොහැකි දේවලුත් තිබෙනවා. හැබැයි මෙතන දී එකක් කියන්න ඕන.

මේ හැමෝම ඉන්නේ වලිගෙ පාගගෙන. ජගත් ජයසූරියට ඔය කියන ආකාරයේ නඩුවක් දාලා නෑ. ඒ වගේම සරත් ෆොන්සේකා මහතා යුද්ධයේ දී අවංකව සේවය කළ දක්ෂ සෙන්පතියෙක්. කවුරු මොනවා කිව්වත් ඔහු නොහිටියා නම් මේ යුද්ධය අවසන් කරන්න බැරි වෙනවා. වෙනත් විදියකින් කියනවා නම් එහෙනම් තවමත් මේ රටේ යුද්ධයක් තියෙනවා.

සාකච්ඡා කළේ-තරංග රණවක