පාසලේදී ඔහු දඩබ්බර චරිතයක් වුණේය. ඒත් ගෙදරට ඔහු කීකරු පුතෙක් විය. ඒ නිසා පාසලේදී ඇතිවෙනතුරා ගුරුවරුන්ගෙන් ගුටිකන රංගික  ගෙදරදී අම්මා තාත්තගෙන් බැණුමක් හෝ ඇසුවේ නැත. දඩබ්බර වැඩට නම් දරා සිටියද මොකද්දෝ වාසනාවකට ඔහු තුළ ඒ හා සමානම ඉගෙනීමේ දක්ෂතාවකුත් පිහිටා තිබුණේය. පාසල් අධ්‍යාපනයත් උසස් අධ්‍යාපනයත් නිමවා ඉගෙනීමේ පරතෙර සොයන ඔහුට ලංකාවේ පමණක් නොව ලෝකයේත් නම තියන්නට හැකිවන්නේ ඒ වාසනා ගුණය හා දක්ෂතාව නිසාය.

කළුතර උතුරේ උපන් රංගික උමේෂ් හල්වතුරගේ පියා නෝමන් හල්වතුරය. අම්මා කැමිල් ප‍්‍රනාන්දුය. එකම මල්ලී යුද හමුදා මේජර්වරයකු වන ශානක හල්වතුරයි. මවත්, පියාත් දෙදෙනාම රජයේ සේවකයන් වුවත් රංගික ඉපදී වසර දෙකකින් දෙදෙනාගේම රැුකියා අහිමි වන්නේය. ඒ අසූවේ ජූලි වැඩ වර්ජනයෙනි.

”ඊටත් අවුරුදු ගාණකට පස්සෙ තමයි අම්මගෙයි, තාත්තගෙයි රැුකියා ආයෙත් ලැබෙන්නේ. අම්මා විශ‍්‍රාම ගත්තේ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයෙන්. තාත්තා අමාත්‍යාංශ ගණනාවක වැඩ කරලා ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් විදිහට විශ‍්‍රාම ගත්තේ. අවුරුදු ගාණක් තාත්තයි, අම්මයි රස්සාව නැතුව හිටියට මගෙ තාත්තා කවදාවත් දේශපාලනඥයෝ පස්සෙ ගිහින් රස්සා හෙව්වෙ නෑ.

තාත්තා වවන්න ගත්තා.  දුක් වින්ද බව දැක්කා. ඒත් ආර්ථික ප‍්‍රශ්න මටයි, මල්ලිටයි විශේෂයෙන් ඉගෙනීමෙදී කවදාවත් දැනෙන්න දුන්නේ නෑ. ඇඳුම් පැලඳුම් ගන්න වත්කමක් නැති නිසා අම්මගෙ නෑදෑයින්ගේ ඇඳුම් ගෙනත් බෙදාගෙන ඇන්දා මතකයි.

තාත්තා අපිව ජීවත් කරවන්න කරපු අරගලය, ගත්ත පන්නරය තේරෙන කාලෙ එනකොට  මගේ ජීවිතේටත් ලොකු අත්දැකීමක් වුණා. පාසල් අධ්‍යාපනයට අමතරව පරිසරය එක්ක ජීවත් වෙන්න හුරු කළේත්, මිනිස්සු එක්ක ජීවත්වෙන්න මට උදව් කළෙත් අම්මයි තාත්තමයි. ”

ජීවිතය දිනන අයුරු කුඩා කල සිටම රංගිකගේ හිතට වැටුණේ එහෙමය. තාත්තා තුළින් විසල් ලොවක් දුටු රංගිකගේ  ජීවිතය ඒ ලොවට යන්නට හැඩ කළේ අම්මාය. ඒ නිසාම මේ අම්මාටත්, තාත්තාටත් කවදාවත් රංගික අකීකරු  දරුවෙකු වුණේ නැත.

නිදහස ලැබී හරියටම වසර තිහක් පිරුණදා උපන් රංගික උමේෂ් හල්වතුර ඉගෙන ගන්නේ කළුතර විද්‍යාලයෙනි. ඔහු පාසල් ගිය යුගයේ ඔහු ගැන කළුතර විද්‍යාලයේ නොදන්නා කෙනෙක් නොවීය. ඒ තරමට කවුරුත් දන්නා චරිතයක් වූ රංගික පාසලෙන් අයින් වූ දිනේ පාසලටත් පාළු දැනෙන්නට ඇත.

”මම මොන්ටිසෝරි යනකාලෙ ඉඳලා දඩබ්බර ළමයෙක්. අනන්තවත් විදුහල්පතිවරුන්ගෙන් ගුරුවරුන්ගෙන් ටොකු කාලා, ගුටි කාලා තියෙනවා. ඒ ටොකුවලට, ගුටිවලට මම කවදාවත් තරහ වුණේ නෑ. ගුරුවරුන්ගේ ටොක්ක මට ජීවත්වෙන විදිහයි කියලා දුන්නේ. හැම ගුටියකින්ම මම යමක් ඉගෙන ගත්තා. ඉස්කෝලෙ යන කාලේ අපි ඒ පාසල් ජීවිතේ විඳින්න  ඕන. ළමයෙක් ගුරුවරයෙක්ගෙන් ගුටියක් කෑවෙ නැත්තම් වැඩක් නෑ.

ගුරුවරු මට කොච්චර ගැහුවත් ගොඩක් ආදරෙයි කියලා මම දැනගෙන හිටියා.  ඕ ලෙවල් පන්තියේදි විද්‍යා පන්තියක් කට් කරලා ග‍්‍රවුන්ඞ් එකේ සෙල්ලම් කරලා කීර්ති සර්ට අහුවෙලා, අපිව දණ ගස්සලා බැට්පිත්තක් අරන් අඬ අඬා මට ගැහුවා. ‘උඹ තමයි මේ පන්තියම වැරදි පාරෙ ගෙනියන්නෙ‘ කියලා. ඒ කාලෙ ගුරුවරු හරි අහිංසකයි. ආයෙ ජීවිතේට ඒ වගේ අය හම්බ වෙන්නෙ නෑ. විෂය ගැන කතා කරන ගුරුවරු ඇරෙන්න ජීවිතය ගැන කතාකරන ගුරුවරු අද නෑ. ඒ අතින් මං ගොඩක් වාසනාවන්තයි.

සාමාන්‍යයෙන් පන්ති නායකකම දෙන්නෙ පන්තියේ දඩබ්බරයට. මම 1 වසරෙ ඉඳලා 10 වසර වෙනකල් පන්ති නායකයා වුණා. ඒක වාර්තාවක්. 10 පන්තියේදි ශිෂ්‍ය නායකයා වෙනවා. මට ඉස්කෝලෙන් දුන්න චරිත සහතිකේ විශේෂයෙන් ලියපු දෙයක් මේක.

මං ඉස්කෝලෙ ගියේ බයිසිකලෙන්.  ඕ ලෙවල් ප‍්‍රතිඵලවලින් පස්සේ මට අලූත් බයිසිකලයක් ලැබුණා. ගෙදර ඉඳලා කිලෝමීටර් තුනක් විතර දුරින් ඉස්කෝලෙට මල්ලියි, මමයි බයිසිකලේ යද්දී සොබාදහම විඳගෙන ගියේ. කළුතර පාලම උඩට වම් පැත්තෙන් පේන්නෙ සිරීපාදෙ. මැදින් කළුතර බෝධිය. දකුණු පැත්තෙන් කැලිඩෝ එකේ මුහුද.

මගේ ජීවිතේ හරි ආස කරපු තැනක් කැලිඩෝ වෙරළ .ඒ වගේම ඒ දවස්වල ඉඳලම මං කැලෑවල්වල යනවා. සත්තු බලනවා. ගහ කොළ එක්ක ජීවත් වෙන්න හරි ආසයි. මම වන ජීවී ඡුායාරූප ශීල්පියෙක්.මියුරල් කලාවට, මූර්ති වලට ක‍්‍රීඩාවට , පරිසරයට, මගේ ජීවිතේ බද්ධ වෙලා.

පාසල් වියේදී ද රංගික ජීවිතේ උපරිමයෙන් වින්දේය. යහළුවන් සමග කළුතර දුම්රියපොළට එක්වී අත ඇති මුදල්වලට යාහැකි දුර දුම්රියෙන් ගමන් කළේය. ඒ ගමනේදී මිතුරන් හා සිංදු කියා තවත් ගමනකට මගීන්ගෙන් මුදල් එකතු කරගෙන එන්නටත් අමතක කළේ නැත. එසේම දින තුනේ හතරෙ අනුරාධපුරය, පොළොන්නරුව , ලෝකාන්තය වැනි තැන්වල චාරිකා කළහ.

”මේ වයසට මේ වැඩ කරන්න අවසර ලැබුණේ අපි වැරදි දෙයක් කරන්නෙ නෑ කියන විශ්වාසය වැඩිහිටියන්ට තිබුණ නිසා. ඒ කාලේ දුරකථන නෑ. අපි නැවතුණේ ස්ටේෂන්වල, බස් ස්ටෑන්ඞ්වල, සිද්ධස්ථාන බලන්න ගියාම ටෙන්ට් එකක් ගහලා කැලේ නවතින්නේ. මම චිත‍්‍ර කලාවට ආසයි. චිත‍්‍රයි, ගණනුයි මගේ ලේවල තිබුණ දෙයක්. චිත‍්‍ර කලාවට ආස නිසා සිද්ධස්ථානවලින්  ඒ  ගැන අවබෝධයක් ගන්න හැදුවා. ඒ කාලේ යාළුවෝ මට නමක් දැම්මා ”ගල්කණුවා” කියලා. මම 6 වසරෙ ඉඳල දහය එකොළහ වසර වෙනකල් බාලදක්ෂයෙක් වෙලා හිටියා. ඉස්කෝලෙ පාපන්දු සෙල්ලම් කළා. වසර 13 න් පහළ සහ 15න් පහළ කණ්ඩායම් නියෝජනය කළා. උස නිසා බාස්කට් බෝල් සහ බැඞ්මින්ටන් දෙකත් සෙල්ලම් කළා. කායවර්ධන ක‍්‍රීඩාව කරන්න ගත්තත් කොන්දේ ආබාධයක් නිසා අතරමගදී නතර කරන්න වුණා.

අදටත් මං  බැඞ්මින්ටන් සෙල්ලම් කරනවා. රාජ්‍ය සේවා තරගවලට සහභාගි වෙනවා. මගේ මනස නිදහස්කරන විනෝදාංශය බැඞ්ම්න්ටන් ”

රංගික අධ්‍යාපන කටයුතු කරදරයක් කර නොගත් අයෙකු වුණේය. පන්තියේ ගණිත අංශයෙන් ඉතා දක්ෂ සිසුවකු වූ ඔහු සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වූවත් අනෙක් යාළුවන් මෙන් උසස් අධ්‍යාපනයට කොළඹ ආවේ නැත. ඔහු ගමේ පාසලේම රැු`දුණේය.

”මම ඉස්කෝලේ යනකාලේ හතරෙ පහේ පන්තිවලදී කවුරුවෙන්න ආසද කියලා ඇහුවම කියන්නෙ හමුදාවට බැඳෙන්න ආසයි. නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න ආසයි කියලා.  ඒත් අසූ අට අසූ නමය  කාලකණ්ණි යුගයේ හමුදාව මගෙ ඔළුවෙන් අයින් වුණා. එකම අරමුණ වුණේ ඉංජිනේරුවෙක් වෙනවා කියන එක. ඒ නිසා ගණිත අංශයෙන් විභාගෙ කළා. පළමු වෙනි වතාවෙ මාව තේරෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ විවේචනාත්මක විද්‍යා අධ්‍යයන උපාධි පාඨමාලාවට. ඒ නිසා දෙවැනි වතාවට විභාගෙ ලියලා තමයි මොරටුව විශ්ව විද්‍යාලෙට ගියේ. ඒත් මාව  තේරුණේ බැජ් එකේ අන්තිමයා විදිහට. ඒ ගියාම මම දන්න කවුරුත් නෑ. කොළඹ පදනම් වුණ සංස්කෘතියක් තිබ්බේ. ඒත් පළමු සතියෙදී මම බැජ් එකේ ජනප‍්‍රිය චරිතයක් වුණා.

සිසුන් 60 කට නායකත්වය දෙන්න ”රෙෆා ” වුණා. බැජ් එකේ අන්තිමයා විදිහට විශ්වවිද්‍යාල සුදුසුකම් ලබපු මම පළමු වසරෙදී පළවෙනි පනස් දෙනා අතරට එනවා.

එතකොට  ඕන අංශයක් තෝරගන්න පුළුවන්. මගෙ යාළුවෝ හැමෝම වෙන වෙන අංශවලට යද්දී මගේ ආසාව තිබුණෙ සිවිල් ඉංජිනේරු උපාධිය හදාරන්න. දෙවැනි අවුරුද්දෙ සිවිල් ඉංජිනේරු විද්‍යා දෙපාර්තමේන්තුවේ දක්ෂතම සිසුවා වුණා. මගේ බැජ් එකට ලැබුණ හැම සම්මානයක්ම ලැබුවෙ මමයි”

2004 වසරේදී රංගික උපාධිය අවසන්  කළේය. ඒ පළමුපෙළ උපාධියක් ලබමිනි. ඒත් සමගම රංගිකගේ දක්ෂතා හඳුනාගෙන සිටි  ආචාර්යවරු, මහාචාර්යවරු ඔහුගේ ගමන එතැනින් නවතන්නට දුන්නේ නැත. ඔවුන් කීවේ ඔහුට ආචාර්ය උපාධියක් හදාරණ ලෙසටයි.

”මට කොහෙත්ම ආසාවක් තිබ්බෙ නෑ. ආචාර්ය උපාධිය කරන්න. මගේ ගුරුවරු බල කළා ආචාර්ය උපාධිය කරන්න කියලා. මහාචාර්ය ටිෂාන් ජයසිංහ මහතා විශාල වශයෙන් මාව පෙළඹෙව්වා ආචාර්ය උපාධිය කරන්න. මම මොරටුව විශ්ව විද්‍යලයෙන්ම ආචාර්ය උපාධිය කරන්න 2004 දී මහාචාර්ය ටිෂාන් ජයසිංහ මහතා යටතට ඇවිත් වැඩ කළා. ඇත්තටම මට  ඕන වුණේ ලංකාවෙ ප‍්‍රශ්නෙකට උත්තර හොයන්න. ඒ වගේම ලංකාව දාලා වෙනත් රටක ජීවත් වෙන්නත් අමාරුයි.
මගේ පර්යේෂණය වුණේ කොන්ක‍්‍රිට් වහලයකට තාප පරිවාරකයක් කරන්නෙ කොහොමද කියලයි. ලංකාවේ

උෂ්ණත්වය වැඩි නිසා ඔරොත්තු දෙන පද්ධතියක් හදලා ගොඩනැගිල්ල ඇතුළේ තියෙන උෂ්ණත්වය පාලනය කරන්නෙ කොහොමද කියලයි. ඔය අතරෙ 2006 වසරෙදී මාව කොන්ත‍්‍රාත් පදනමට කථිකාචාර්යවරයෙක් විදිහට බඳව ගත්තා. 2008 දී මම ආචාර්ය උපාධිය අවසන් කළා. මම ආචාර්ය  උපාධිය අවසන් කළේ වයස අවුරුදු තිහෙන්. මට කෙටි කාලයකින් ආචාර්ය උපාධිය අවසන් කරන්න පුළුවන් වුණේ ලංකාවේ ආචාර්ය උපාධිය කරපු නිසා.”

ආචාර්ය උපාධියෙන් පසුව 2008 වසරේදීම එතෙක් කොන්ත‍්‍රාත් පදනමට තිබූ ඔහුගේ කථිකාචාර්ය තනතුර ස්ථිර වුණේය. 2004 වසරේ ඉංජිනේරුවකු වී සිටි ආචාර්ය රංගික හල්වතුර  2011 වසරේදී ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙන්  වරලත් ඉංජිනේරු භාවයද ලබා ගත්තේය.

”2011 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලෙ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ළාබාලම සභාපති වුණේ මමයි. ඒ වෙලාවෙ ඒ තනතුර මට බලහත්කාරයෙන් දුන්නේ. ඒකත් එක්ක මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙනවා. ඒත් එක්ක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයත් (මෙඒ* එක්ක එකතු වෙලා වැඩ කරන්න ලැබුණා. 2012 සියලූම විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් පාරට බස්සලා කරපු දින 100ක අඛණ්ඩ වැඩ වර්ජනයට නායකත්වය දෙන්න ලැබුණා. ඒ ඇසුරින් විවිධ මතධාරීන් එක්ක ගැටුණා. දේශපාලන පක්ෂ  නායකයන් එක්ක උරෙනුර ගැටුණා. මේ තුළින් ජීවිතය ගැන අවබෝධයක් පන්නරයක් ලැබුණා. 2011 ඉඳලා 2017 වෙනකල් මොරටුව විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිකම දරනවා. දීර්ඝ කාලයක් මේ තනතුර දරපු කෙනා වගේම අඩුම වයසින් මොරටුව විශ්වවිද්‍යාලෙ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිකම දැරූ එකම කෙනත් මමයි..”

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට කාරක සභිකයකු සේ එක්ව සිටි රංගික 2013 වසරේ එහි උපසභාපති තනතුරටත්, 2016 වසරේ එහි සභාපති තනතුරටත් පත්විය. මේ සියලූ කටයුතු අතරේ තම පර්යේෂණයන් ද සිදු කරන ආචාර්ය රංගික හල්වතුර පර්යේෂණ ගණනාවක් සාර්ථකව  නිම කළේය. එමෙන්ම සම්මාන ඇගයීම් ද ඔහුට ලැබුණේය.

”ඇත්තටම මගේ පර්යේෂණවල මුදල් ප‍්‍රතිපාදන සඳහා ජාතික විද්‍යා පදනමෙන් සහ මොරටුව විශ්වවිද්‍යාලෙ සනාතන සභාවෙන් ලොකු උදව් ලැබෙන්නේ.

2014  අධ්‍යාපන ක්ෂේත‍්‍රයට  දීපු නායකත්වය වෙනුවෙන් ”ටොයිප්” සම්මානය මට ලැබෙනවා. 2016 දී ඔස්ටි‍්‍රයාවෙන් ‘එනර්ජි ග්ලෝබ්  අවෝඞ්’ සම්මානය ලැබුණා.

2016 දී  උපකුලපතිවරුන්ගේ සංගමයෙන් ක්‍ඪක්‍ෘ පර්යේෂණ කටයුතු සම්මානයත් 2017 වසරේ නව සොයා ගැනීම් සඳහා ජාතික සම්මානයත් ලැබෙනවා. 2017 වසරේම ඉතාලිය මූලස්ථානය  කරගත් ලෝක විද්‍යා ඇකඩමියෙන් වසරේ තරුණ විද්‍යාඥයා සම්මානයත් මට ලැබෙනවා. ඒ ගැන විශේෂයෙන් මට කියන්න දෙයක් තියෙනවා. මම හරිම පොඩි ඉස්කෝලෙකින් ආපු කෙනෙක්. කළුතර විද්‍යාලෙන් ඉගෙන ගෙන මෝරටුව විශ්වවිද්‍යාලයට යන්න ලැබීමත් එයින් පසු මේ වගේ තැනකට එන්න ලැබීමත් සතුටක්. ඒ වගේම මගේ අධ්‍යාපනය වෙනුවෙන් වියහියදම් දැරූ ශ‍්‍රී ලංකා ජනතාව වෙනුවෙන් සේවය කරන්න ලැබීමත් මට ලොකු  සතුටක්.”

ජීවිතය දිනන තැනින් ගමනක් ඇරඹූ ආචාර්ය රංගික හල්වතුර 2016 වසරේ සිවිල් ඉංජිනේරු පිළිබඳ මහාචාර්ය පදවියට සුදුසුකම් ලැබුවේය. ඒ අනුව ඔහු  ලංකාවේ ඉංජිනේරු පීඨවල  සිටින ළාබාලම මහාචාර්යවරයා ද වේ.

වෛද්‍ය චරිතා පෝරුතොට සමග විවාහ වී සිටින මහාචාර්ය රංගික හල්වතුරගේ කුඩා දියණියන් දෙදෙනා රනෝදා සහ පමෝදාය. ලංකාවේ රැුඳී ලංකාවේ සිය දක්ෂතාවන්ගෙන් මිනිසුන්ට සේවය කරන්නට සිතන ඔහු වන් මිනිසුන් සැබැවිම අපේ රටට ආදර්ශයකි.

බියංකා නානායක්කාර

Untitled-11 7sf