අපේ රටට අවශ්‍ය දෑ රට තුළම නිපදවිය යුතුය යන අදහසේ දැඩිව එල්බගෙන හුන් හෙතෙම ලංකාවේ පළමු වාහන එන්ජිම තනිවම නිපදවීමට සමත් විය. විදේශයන්හි නිෂ්පාදිත මෝටර් රථවල කොටස් මෙහි ගෙන්වා එකලස් කර අලෙවි කරන බව දන්නා ඔබ මෙය ද එවැනි නිෂ්පාදනයක් යැයි වරදවා තේරුම් නොගත යුතුය.

ඔහු චීනච්චට්ටි උණුකර එන්ජින් ‘බ්ලොක් එකක්’ අලුතින්ම වත්කර නිර්මාණය කළේය. ‘පියුටර්’ උණුකර කාබියු‍ලේටරය නිපදවූයේය. එන්ජිමේ ක්‍රෑන්කය ඇතුළු අත්‍යවශ්‍ය කොටස් ගණනාවක් නිපදවූයේය. අවසානයේ මෙම එන්ජිම යොදා තනි සිලින්ඩරයේ අභ්‍යන්තර දහන එන්ජිමක් (Internal Conduction Engine) සහිත ට්‍රැක්ටරයක් නිපදවීය. ඒ සඳහා බාහිරින් මිලදී ගත්තේ සුළු කොටස් කීපයක් පමණකි. එය එතරම් සැලකිය යුතු කරුණක් නොවන්නේ ලෝකයේ දැවැන්ත මෝටර් රථ නිෂ්පාදන සමාගම් පවා බාහිරින් කොටස් මිලදී ගන්නා බැවිනි.

මෙයින් පන්නරය ලද ඔහු ත්‍රිරෝද රථයක් ද නිපදවීය. එයින් ද නොනැවතුණු ඔහු ලියවන පට්ටලයක් නිපදවා සාර්ථක වූයෙන් වාණිජමය වශයෙන්ම ලියවන පට්ටල් නිෂ්පාදනයේ නිරත වූයේය.

“මම ලියවන පට්ටල් තිහ හතළිහක් වික්කා.” ඔහු පවසයි.
ඔහුගේ නිෂ්පාදන පෙළ එක් ඉසව්වකට සීමා නොවේ. වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර්, වඩු කර්මාන්තයට හා ලෝහ කර්මාන්තයට අවශ්‍ය විවිධ යන්ත්‍ර, විදුලිපංකා, වතුර ‍පොම්ප, බැටරි චාජර් වැනි නිෂ්පාදන පෙළක්ම වෙළෙඳ‍පොළට ඉදිරිපත් කළේය. ඒ කාලයේ වේයන්ගොඩ, තුල්හිරිය, පූගොඩ වැනි නගරයන්හි පිහිටි පෙහෙකම්හල්වලට අවශ්‍ය උපාංග නිෂ්පාදනය කළේය.

එහෙත් විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමග ඔහුගේ සියලු කර්මාන්ත කඩාවැටුණි. විදේශ රටවලින් ගොඩබසින අඩු මිල යන්ත්‍ර සමග තරග කිරීමට ඔහුට නොහැකි වූයේ මිල සාධකය නිසාය. එසේ නොවී රටේ කර්මාන්තකරුවන් දිරිගන්වන වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කිරීමට මහජන මුදලින් සුරසැප විඳින දේශපාලන බලධරයන්ට උකුණු හිසක තරම්වත් මොළයක් තිබුණේ නම් අද ඔහුගේ ‘ස්ටාර්’ නාමය ලෝක වෙළෙඳ‍පොළේ සැලකිය යුතු දුරකට ගමන් කර තිබෙනු දැකිය හැකිවනු ඇත. එසේම අන්තර්ජාතික කාර්මික නිෂ්පාදන ආයතන අතර ශ්‍රී ලාංකීය නාමය රඳවා තිබෙනු දැකිය හැකිවන බවට සැක නැත.

“ඔබ පරාජය වන්නේ වැටීම නිසා නොව වැටුණු පසු නොනැගිටීම නිසා” යැයි ලෝක බොක්සිං සූර මොහොමඩ් අලි පැවසූ බව ඔහු දැන සිටියා දැයි මම නොදනිමි. එහෙත් කර්මාන්ත ක්‍ෂේත්‍රයට කණකොකා හැඬූ පසු වැටුණු ඔහු යළි නැගිට්ටේය. නැගිට වෙනත් ක්‍ෂේත්‍රයක නව සන්නාමයක් තැබුවේය. මේ අසාමාන්‍ය මිනිසා නැතිනම් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් පැවසූ පරිදි අප්‍රමාණ මිනිසා සොයා පසුගිය දා ඔහුගේ කර්මාන්තශාලා කිහිපය අතරින් එකක් පිහිටි නාරම්මල, කඩහ‍පොළ බලා ගියෙමි.

හපුආරච්චිගේ වික්‍රමසිංහ සහ ලුසිනෝනා බාලසූරිය යුවළගේ එකම පුතු ලෙස 1941 ජුනි මස 21 වැනි දින මිනුවන්ගොඩ, පත්තඬුවනදී උපන් හපුආරච්චිගේ ලීලානන්ද වික්‍රමසිංහ ‍පොල්වත්ත බෞද්ධ මිශ්‍ර පාසලින් හා මිනුවන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මරදානේ කාර්මික විදුහලින් මෝටර් යාන්ත්‍රික විද්‍යාව හා කර්මාන්තශාලා යන්ත්‍ර සූත්‍ර පිළිබඳ පාඨමාලාවක් හැදෑරීය. කාර්මික අධ්‍යාපනය හමාර කර වානේ සංස්ථාවේ සේවයට බැඳුණු වික්‍රමසිංහට වානේ නිෂ්පාදන හා යන්ත්‍ර සූත්‍ර පිළිබඳව රුසියාවේ දී හා ඉන්දියාවේ දී හැදෑරීමට ශිෂ්‍යත්ව දෙකක් ද ලැබුණි.
“එක්දහස් නවසිය හැත්තෑ දෙකේ දී මම වානේ සංස්ථාවෙන් අස්වෙලා මගේම කියලා වැඩ‍පොළක් පටන් ගත්තා, සේවකයො දෙන්නෙක් එක්ක. ඒ එක්කෙනෙක් මා ළඟ තවමත් වැඩ කරනවා. ඒ කා‍ලේ තමයි ට්‍රැක්ටර් එහෙම හැදුවේ. ඒ වැඩවලින් ලබපු අත්දැකීම් බොහොමයි. දැනුම විතරක් නෙවේ. මේ අතේ ඇඟිලි හතරයි වම් ඇහැයි අනතුරට ලක් වුණා.”

ඔහු සිනාසෙමින් ඇසත් අතත් මා වෙත දක්වයි. ඒ මුහුණේ පිරී ඇත්තේ නිහතමානී සන්තුෂ්ටියකි. අනතුරු නිසා සිරුරට සිදු වූ අලාභය පිළිබඳව කිසිදු තැවුලක් නොමැති සෙයකි. වික්‍රමසිංහ යකඩත් විදුලියත් සමග ගැටෙමින් සිටි කාර්මික ඥානය සපිරි පුද්ගලයෙකි. විවෘත ආර්ථිකය කර්මාන්තකරුවන් බිම හෙළුෑ නමුත් ලීලානන්ද නැගිට සිටීමට සමත් විය. ඒ පෙර නියැළි ක්‍ෂේත්‍රයෙන් සපුරා බැහැර තැනකිනි. ඔහු එවර ගැටෙන්නට වූයේ කළුගල් සමගය. ‘ස්ටාර්’ මුදලාලිගේ ‘ස්ටාර් එක’ වැඩ කළේය. මෙවන් කස්තිරමකට  පාර කැපුණේ කෙසේද? අපි ඔහුගේම වචනයෙන් අසමු.

“විවෘත ආර්ථිකය නිසා කර්මාන්ත සේරම වැටුණා. පිටරටින් ගේන බඩු එක්ක අපට තරග කරන්න බැරිව ගියා. නිෂ්පාදන වියදම් හා බදු මුදල් ගෙව්වම අපේ බඩුවල මිල වැඩි වෙනවා. ඉතින් මමත් පිටරටින් බඩු ගෙන්වන්න පටන් ගත්තා. ජපානෙන් මෝටර් සයිකල්, ලියවනපට්ටල් වගේ මැෂින් ගෙනැල්ලා වික්කා. ලියවනපට්ටල් වගේ දේවල් ගෙන්නලා අඩුපාඩු හදලා පිටරට පවා ඇරියා. හැබැයි මුදල් ලැබුණාට කිසි තෘප්තියක් ලැබුණේ නෑ.

මට ඕනෑ වුණේ අපේම දේවල් හදන්න. අපි අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් ගැන ආඩම්බරෙන් කතා කරනවා. ඇත්තටම අපේ පැරණි නිෂ්පාදකයෝ නිර්මාණකරුවෝ ලෝකෙම පුදුම කරවන නිර්මාණ කරපු අය. දියුණුයි කියන මේ කාලෙ අපට ඇයි ඒ වගේ නිර්මාණ කරන්න බැරි කියන අදහස නිතරම මගේ හිතේ තිබුණා.

රටින් බඩු ගෙන්නන කා‍ලේ මං කල්පනා කළා අපේ රටේම අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරන්න පුළුවන් මොනවද කියන කාරණය ගැන. එතකොට තමයි කළුගල් ගැන අදහස ඔළුවට ආවේ.”

ඒ අනුව වික්‍රමසිංහ කළුගල් සමග ගැටෙන්නට වූයේය. පළමුව ඔහු අතින් නිෂ්පාදනය වූයේ නිවාස මුළුතැන්ගේ, ආලින්ද, විසිත්තකාමර ආදියට යෙදෙන කළුගල් පතුරුය. එනම් ග්‍රැනයිට්ය. එයින් ද වික්‍රමසිංහට තෘප්තියක් නොලැබුණි.

“මේවා නිකං අලංකාරයට පාවිච්චි කරන අලුත් අලුත් භාණ්ඩ විතරනේ. මම හිතුවා ඇයි අපිට ‍පොළොන්නරු යුගයේ වගේ කලා නිර්මාණය කරන්න බැරි කියලා. මොකද අපේ උරුමයත් අභිමානයත් තියෙන්නේ එතැන. අපි තවම අවුකන පිළිමය, සමාධි පිළිමය ගැන කතා කරනවා. හැබැයි අලුතින් ඒ වගේ නිර්මාණයක් කරන්න හිතන්නේ නැ. ඒ නිසා මම හිතුවා බුදු පිළිම වගේ අපේ ශ්‍රී විභූතිය ලෝකෙට පෙන්වන්න පුළුවන් නිර්මාණ කරන්න බැරි ඇයි කියලා.”

ඒ අනුව කුඩා බුදුපිළිම, පුන් කළස්, වැනි දේ නිර්මාණය කරමින් හිටි ලීලානන්ද දැවැන්ත කාර්යයකට සම්මාදම් වී තම හැකියාවේ මහිමය ලොවටම විදහා දැක්වීමේ අවස්ථාව උදා විණි.

සුනාමි ව්‍යසනය නිසා හානියට පත් වූයේ මුහුදුකරයේ ජීවිත සහ දේපළ පමණක් නොවේ. එම අවස්ථාවේ ජය ශ්‍රී මහා බෝධිය වටා ඇති ප්‍රාකාරයට ද දැඩි හානි සිදුවිය. හානි වූ කොටස් ප්‍රතිසංස්කරණය සඳහා සුදුස්සන් තෝරන අවස්ථාවේ වික්‍රමසිංහ ද ඒ සඳහා ඉදිරිපත් වූයේය.

පුරාවිද්‍යාව, ඉතිහාසය, ඉදිකිරීම් ක්‍ෂේත්‍ර වැනි කිසිවක කීර්තියක් උසුලන උගතකු නොවූ ඔහු දෙස බලධරයන් නිලධරයන් එතරම් සැලකිල්ලකින් බැලුවේ නැත. කෙතරම් හෙළෙත්තාඩුවට ලක් කෙරුණ ද වික්‍රමසිංහ ‘මට පුළුවන්’ ස්ථාවරයේම සිටියේය.

විදේශ රටවලින් පවා නිර්මාණ ශිල්පීන් ඉදිරිපත්ව ඇති දැවැන්ත කාර්යයකට නොබියව අතගසන්නට එක පැහැර ඉදිරිපත් වන මේ ලාංකිකයා කෙරෙහි යම් විශ්වාසයක් තබන්නට ජය ශ්‍රී මහා බෝධි ආරක්ෂක මණ්ඩලයේ සභාපතිව හුන් හිටපු ජනාධිපති ‍ලේකම්වර කේ.එච්.ජේ. විජේදාස මහතා පෙලඹුණි. ඒ අනුව ඉපැරණි සෙල් නිර්මාණ කිහිපයකම රූප සමගින් වික්‍රමසිංහ වෙත ෆැක්ස් පතක් එවන ලද්දේ කඩිමුඩියේමය. එක් දිනක් තුළ බොරදමකුත්, කැටයම් ගලකුත් නිර්මාණය කිරීමේ අභියෝගය භාර ගන්නට වික්‍රමසිංහ දෙවරක් නොසිතුවේය.

නියමිත දිනයේ නියමිත වේලාවට තම කලා කෘති ද රැගෙන වික්‍රමසිංහ අනුරාධපුරයට ගොස් පුරාවිද්‍යා නිලධරයන් මුණ ගැසුණි. වික්‍රමසිංහව සත පහකට ගණන් නොගත් නිලධරයෙක් ඔහුගේ කලා නිර්මාණ දෙස බලා “මේවා කොහෙන්ද ගලවගත්තේ? තමුන් හදපුවා නම් වෙන්න බෑ.” යි කීවේ උපහාස සිනහවකින් මුහුණ සරසා ගනිමිනි.

වික්‍රමසිංහ ලෙහෙසියෙන් පරාජය කළ හැකි අයකු නොවේ. ඔහු තම නිර්මාණය වෙනුවෙන් පෙනී සිටියේය. තමා එය නිර්මාණය කළ අයුරු පැහැදිලි කළේය. කලා කෘති නිරීක්ෂණය කළ බලධාරීහු වික්‍රමසිංහගේ හැකියාව අවබෝධ කොට ගත්හ.
ශ්‍රී මහා බෝධිය වටා මෑතක දී ඉදි කෙරුණු කොරවක්ගල්, පඩිපෙළ, පුන් කළස, මුරගල්, සලපතළ මළු, මල් ආසන ඇතුළු කලා නිර්මාණ වික්‍රමසිංහගේ හපන්කම්ය. වික්‍රමසිංහගේ හපන්කම් අගයන අපූරු සටහනක් ‘රන් වැට අරමුදල’ මගින් 2007 වසරේ ප්‍රකාශිත ‘ජය සිරි මහ බෝ සිරිත’ ‍පොතේ 125 වැනි පිටවේ ඇතුළත් වේ.

ඒ මෙසේය: “ජාතියේ පිනට පහළ වූ විශ්වකර්මයෙකු ලෙස විරුදාවලි ලත් මිනුවන්ගොඩ ස්ටාර් ග්‍රැනයිට් ව්‍යාපාරයේ අධිපති එච්.සී.එල්. වික්‍රමසිංහ මහතා විසින් නිර්මාණය කරන ලද සඳකඩ පහණක්.”

වික්‍රමසිංහයන්, කොරවක්ගල් ආදිය නිර්මාණය කළ අයුරු දැක්වෙන අපූරු ඡායාරූප පෙළක් ද මේ ‍පොතේ ඇතුළත් වන අතර එහි නොසඳහන් රසකතා ද බොහෝය. අවාසනාවකට ඒ සියල්ල මෙහි බහාලන්නට ඉඩ හසර නොවේ. එක් කරුණක් පමණක් සඳහන් කරමු. මේ කාර්යයන් අවසානයේ හෙළි වී ඇත්තේ විදේශිකයන් ඒ සඳහා ඉදිරිපත් කළ මිල ගණන්වලින් 1/4ක් තරම් අඩු මුදලක් වික්‍රමසිංහ අයකර ඇති බවයි.

ශ්‍රී මහා බෝධිය මතු නොව අභයගිරිය, ජේතවනය, මිරිසවැටිය ඇතුළු අටමස්ථානයට අයත් පූජනීය ස්ථාන බහුතරයක් ලංකා විහාරය, කැලණිය රාජමහා විහාරය, දඹදෙණි රාජ මහා විහාරය, සෝමාවතිය, කළුතර, කතරගම ඇතුළු ප්‍රකට පූජනීය ස්ථාන ගණනාවකත් සෙල්මුවා නිර්මාණ කාර්යයන් රැසක් වික්‍රමසිංහ අතින් නිම වී තිබේ. එපමණක් නොව ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් විහාරය, එක්සත් රාජධානියේ ලන්ඩන් විහාරය, තායිලන්තයේ අයෝධ්‍යා විහාරය ආදී පූජනීය ස්ථානයන්හි මෙන්ම බංගලාදේශයේද වික්‍රමසිංහ නිමැවූ බුදු පිළිම වහන්සේලා වැඩවසති.

ඔහුගේ පිළිම නිර්මාණ අතර සුවිශේෂීතම නිර්මාණ දෙකකි. පළමුවැන්න අඩි 42ක් උස, වතුරුවිල සේනාසනයේ පිළිමයයි.  එය අවුකන පිළිමයට වඩා අඩි 2ක් උසින් වැඩිය. අනෙක තවමත් නිමවෙමින් පවතින උඩුබද්දාව නැවකඩ සෙල්පිළිම වහන්සේයි. අඩි 60ක් උස එය, පිහිටි ගලක නෙළුෑ ලොව උසම හිටි පිළිමය ලෙස පිළිගැනේ.

වික්‍රමසිංහගේ කලාව පිළිම හා වෙනත් සංස්කෘතිකාංගවලටම සීමා නොවූවකි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අසල නිමවා ඇති රණවිරු ස්මාරකය වික්‍රමසිංහගේ හැකියාව මෙන්ම ඇවැසි තැන ඇවැසි ලෙස නොබියව තම මතය ඉදිරිපත් කිරීමට ඇති හැකියාව ද පිළිබිඹු කළ අවස්ථාවකි.

“රණවිරු ස්මාරකය සිමෙන්තිවලින් හදලයි තිබුණේ. ඒක වටේ කළුගල් පතුරු අල්ලන්න කෙනකුට භාර දෙන්න පිරිසකට එන්න කියලා තිබුණා. ඒ අතර මාත් හිටියා. මම එතැන හිටිය නිලධාරීන්ට පැහැදිලි කළා සිමෙන්ති ආකෘතියට කළුගල් පතුරු ඇල්ලුවට කාලෙකදි ඒවා ගැලවිලා වැටෙන බව. තාක්ෂණිකව බැලුවාම ඒක හරිම සරල ඇත්තක්. ඒ වෙලාවේ එතන හිටිය නිලධාරීන් ඒක පිළිගන්න කැමැති වුණේ නෑ. ඒත් මම ඇත්ත පැහැදිලි කරලා මුළු ස්මාරකයම කළුගල්වලින් නිර්මාණය කරන්න යෝජනා කළා. දවස් දෙකකට පස්සේ මට පණිවුඩයක් ලැබුණා ඒ කා‍ලේ හිටිය ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව මුණගැහෙන්න කියලා.

එතුමා මගේ අදහස පිළිගෙන රණවිරු ස්මාරකය කළුගලින් නිම කරන්න උපදෙස් දුන්නා. ඒ අනුව තමයි ඔය ස්මාරකය නැවත නිර්මාණය කළේ.”

ආරක්ෂක හමුදාවේ ඉහළ නිලධරයන් ඉදිරියේ තමා නිවැරදි යැයි දරන මතය නොබියව ප්‍රකාශ කිරීම මගින් පිළිබිඹු වන්නේ වික්‍රමසිංහගේ ජු බවයි. නිර්භීත බවයි. උස් තැන් හමුවේ නිවටුන් සේ, පැවරෙන කාරිය වැරදි වුවත්, එය ඉටුකොට තමන්ගේ කොටස සාක්කුවේ ලා ගන්නා අන්දමේ වංචනිකයකු නොවන සත්‍යවාදී ගුණයයි. රට වෙනුවෙන් දිවි දුන් රණවිරුවන්ට උපහාර පිණිස ඉදිකෙරුණු ස්මාරකය අතරමග කඩාවැටෙන එකක් නොවී සියවස් ගණනක් පවත්නා උපහාර නිමිත්තක්ම වූයේ වික්‍රමසිංහගේ දැනුම, බුද්ධිය හා ජු බව නිසාමය.

වික්‍රමසිංහ අතින් නිමාවුණු තවත් මෙවැනි නිර්මාණ බොහෝය. පැරණි පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති සිංහරූප එක් නිදසුනකි. ඔහුගේ තවත් නිර්මාණ පිළිබඳ ඉදිරි දිනෙක ප්‍රමාණවත් සටහනක් තබන තෙක් ඔහු අපට කියාදෙන තවත් පාඩම් කිහිපයක් කෙටියෙන් සඳහන් කරමු.

වික්‍රමසිංහගේ කර්මාන්තශාලාව තුළත් ඒ අවටත් පැරණි අබලි යකඩ බොහෝය. ඒ කුමකට දැයි අසන ඔබ ඇතැම් විට පුදුමයට පත්විය හැකිය.

“මේවගෙන් තමයි මම මේ මැෂින් හදාගන්නේ.” ඔහු කීවේය.
“ඒ කොහොමද?” මම වික්ෂිප්තව විමසුවෙමි.

“යංකො පෙන්නන්න.” යි කී ඔහු මා කළුගල් කපන යන්ත්‍ර කිහිපයක් වෙත කැඳවාගෙන ගියේය. ඔහුගේ එක් යන්ත්‍රයක ඉහළ කරකැවෙන පරණ රිම් දෙකකි. එම කොටසට මෝටරයේ බලය ලැබෙන්නේ ලොරි රථයක ‘පීනියන්’ දැති රෝදවලිනි.

යන්ත්‍රය එහා මෙහා දුවන්නේ පරණ රේල් පීලි දෙකක් මතය. ඊට ආධාර කරනුයේ ‘බුල්ඩෝසරයක’ රෝද කීපයකිනි.

තවත් යන්ත්‍රයකට පදනම දමා ඇත්තේ ඉවත දැමූ රථ ‘චැසියකිනි’.  එහි දෙපස රෝද කුට්ටම කරකැවීමට යොදා ඇත්තේ මෝටර් රථයක පසුපස රෝද කුට්ටම, පීනියනය හා ඇක්සල් ඇතුළත් කොටසයි. විදුලි මෝටර් හැරුණු විට සියලුම යන්ත්‍ර නිපදවා ඇත්තේ එබඳු ඉවතලූ යකඩවලිනි. මෙය කෙතරම් ආදර්ශවත් කාර්යයක්ද? රජයේ අතැම් ආයතනවල නිකරුණේ විනාශ වන්නට හැර ඇති වාහන, යන්ත්‍රසූත්‍ර සුන්බුන්වලින් කෙතරම් නම් සේවයක් ලබාගත හැකිදැයි වික්‍රමසිංහ රටටම කියයි.

රජයේ ඉදිකිරීම් හා තාක්ෂණික බලධරයන් හා නිලධරයන් වික්‍රමසිංහගේ කම්හල නරඹන්නේ නම් රටටම යහපතක් උදා කළ හැකි අදහස් ගොන්නක් උගත හැකි බව ස්ථිරය.

වික්‍රමසිංහ කළුගල් කැඩීම සිදු කරනුයේ පරිසරයට අවම හානියක් වන පරිදි බව පෙනේ. ඔහු ඩයිනමයිට් හෝ වෙනත් පුපුරන ද්‍රව්‍ය දමා කළුගල් පිපිරවීමක් සිදු නොකරයි. ඒ වෙනුවට ඔහු කරන්නේ ගල් ඉරීමයි. ඒ ද ‍පොළොව මට්ටමින් තරමක් ගැඹුරට පමණි. වානේ කේබල් හා විදුම් යන්ත්‍ර පමණක් යොදා ඔහුටම ආවේණික තාක්ෂණයක් භාවිතයෙන් කළුගල් ඉරන්නේ පරිසරයට ඇති ඇල්ම නිසාම යැයි ඔහු පැහැදිලි කළේය. ඔහුගේ ඉඩමේ එක් විශාල කළුගලක් නිර්මාණ අමුද්‍රව්‍ය ලෙස භාවිත නොකර ඒ මත ‍පොකුණක් ද ඉදිකර අලංකාර පරිසරයක් ගොඩනැගීම ඔහුගේ පාරිසරික ඇල්ම පැහැදිලි කෙරෙන එක් නිදසුනකි. පරිසරය වෙනුවෙන් ඔහු කර ඇති තවත් දේ ගැන අපි වෙනත් දිනයක කතා කරමු.

ඔහු වෙතින් පළ වූ ඉතා වටිනා ගුණාංගයක් මෙහිලා සඳහන් නොකරම බැරිය. ඒ සිය සේවකයන්ට දක්වන කුළුපගභාවය, ආදරය හා ගෞරවයයි. ප්‍රසිද්ධියේ වෙනත් සේවකයන් හා ආගන්තුකයන් ඉදිරියේ සිය සේවකයකුගෙන් සමාව ඉල්ලන්නට තරම් නම්‍යශීලී, දියුණු සිතක්, හැදියාවක් ඔහුට තිබේ. ආයතනයේ සේවය පතා සම්මුඛ පරීක්ෂණවලට පැමිණ හුන් අපද්‍රව්‍යකරුවන්ට ඔහු කතා කළේ ‘එන්න මහත්තයා’ කියමිනි. සෑම සේවකයකු සමගම කුළුපගව කතාබහ කිරීම, ඕනෑ එපාකම් සොයා බැලීම හා ඇතැම් විට තදින් කතා කිරීම ද අප ඔහු වෙතින් දුටු සැබෑ ස්වාමියකුගේ ලකුණුයි. දශක ගණනාවකට පෙර ඔහු හාපුර කියා ඇරඹූ වැඩ‍පොළේ සේවයට පැමිණි මුල්ම සේවකයන් අතරින් ජීවත්ව සිටින එකම පුද්ගලයා අදත් ඔහු සමග සිටිනුයේ ඔහු සැබෑ ස්වාමියකු බවට නිදසුන් සපයමිනි.

වික්‍රමසිංහ වානේ කර්මාන්තය, මැණික්, කළුගල් හා විවිධ පාෂාණ, යන්ත්‍ර සූත්‍ර, නුතන උපකරණ, විදුලි තාක්ෂණය මෙන්ම පරිගණක භාවිතය පිළිබඳව ද අවබෝධයක් ඇත්තෙකි. බුද්ධ රූප, පුන් කළස්, දේව රූප ආදියේ හැඩතල නිසි ආකාරව නිර්මාණය කරන්නේ කෙසේ දැයි මා ඇසූ පැනයට ඔහු දුන් පිළිතුරෙහි ඒ දැනුම පිළිබඳ හොඳ ඉඟියක් තිබුණි.

“3ච්, මැක්ස් වගේ මෘදුකාංගවලින් හැඩතල ගන්වා. නිර්මාණය කළ යුතු හැඩතල ලබාගන්න පාවිච්චි කරන ආයුධය වගේම ඒවා පාවිච්චි කරද්දී කොයි වගේ කෝණවලින්ද කැටයම් කපන්න ඕන කියන කාරණේ විශාල වශයෙන් බලපානවා. නිවැරදි කෝණයට ආයුධය ඇල්ලුවේ නැත්තං නියම හැඩය ගන්න බෑ.”

ඔහු සතුව තමාගේ නිෂ්පාදනාගාරයක් ද තිබේ. ඒ වාණිජ කටයුතු සඳහා නොව ඔහුගේ යන්ත්‍ර සූත්‍රවලට අවශ්‍ය අධි ශක්ති වානේ නිපදවීම සඳහායි. මේ ක්‍ෂේත්‍රයන් පිළිබඳව ඔහුට ඇති න්‍යායික හා ප්‍රායෝගික දැනුමට සම කළ හැකි දැනුමකින් යුතු උගතුන් මේ රට තුළ සිටී නම් ඒ ඉතාම සුළු සංඛ්‍යාවක් බවට සැක නැත. අවාසනාව නම් මෙවැනි ජාතික සම්පත්වලින් කිසිදු ප්‍රයෝජනයක් ගැනීමේ වැඩපිළිවෙළක්, ප්‍රතිපත්තියක් මේ රටේ නැතිකමයි.

තනිව වාහන, පට්ටල්, සෙල්කැටයම්, යන්ත්‍රසූත්‍ර නිර්මාණය කරන්නට තරම් දැනුම, හැකියාව හා උත්සාහය තිබූ වික්‍රමසිංහ වැනි පුද්ගලයන් රටක පහළ වන්නේ කලාතුරකිනි. ඔවුන්ගෙන් රටට සේවය ලබාගැනීම බලධරයන්ගේ වගකීමකි. වික්‍රමසිංහගේ හැකියාව හා දැනුම නිසි පරිදි යොදා ගන්නේ නම් මෙරට කර්මාන්ත ක්‍ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති කළ හැකි බවට සැකයක් නැත.

සටහන හා ඡායාරූප:නාරද කරුණාතිලක

Untitled-9 Untitled-8 Untitled-7 Untitled-6 Untitled-5 Untitled-4 Untitled-3 Untitled-2