රටේ පවත්නා වර්තමාන දේශපාලන තත්ත්වය සහ හදිසියේ ඇතිවූ ආපදා තත්ත්වය පිළිබඳව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සමග කළ සාකච්ඡාවක්

ප්‍ර- වත්මන් දේශපාලනය තුළ තියෙන්නේ අර්බුදකාරී වාතාවරණයක් නේද?
පි- නෑ. එහෙම ලොකු අර්බුදකාරී බවක් නෑ. නමුත් සුළු සුළු මත ගැටුම්, සාකච්ඡා, සම්මන්ත්‍රණ සිද්ධ වෙනවා. ඒක ඉතින් අද විතරක් නෙවේ හැමදාම තිබුණු දෙයක්නේ.

ප- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ යම් අර්බුදකාරී බවක් තියෙනවා නේද?
පි- එහෙම අර්බුදයක් පක්ෂය ඇතුළෙත් නෑ. සම්මුතිවාදී රජයක වසර දෙකක කාලය අපි සම්පූර්ණ කරලා තියෙනවා. ඒ අනුව අපි මධ්‍යම කාරක සභාව සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග තාම ඒ පිළිබඳ සාකච්ඡා කරලා නෑ. අපි පවතින දේශපාලන තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කළා. අද ඔබ ඔය කියන අර්බුදයක් නෑ. යම් මැතිවරණ උණුසුමක් තමයි තියෙන්නේ. ප්‍රාදේශීය සභා මැතිවරණය දැන් අවසන් අදියරට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ මැතිවරණය කොහොමද කරන්නේ, ඒකට කෙසේද මුහුණ දෙන්නේ කියන එක තමයි අපි දැන් කතා කරන්න්. වෙන අර්බුද නෑ.

ප්‍ර- අයවැය ළඟ එනවා. ආණ්වේ සූදානම කොහොමද?
පි- අයවැය පිළිබඳවත් යම් යම් සාකච්ඡා සිද්ධ වෙනවා. අපි බලා‍පොරොත්තු වෙනවා මේ අයවැය සුබවාදී එකක් වේවි කියලා. ආණ්ඩුවක් විදියට ලොකු සූදානමක් තියෙනවා අයවැයට.

ප්‍ර- මේ අයවැයෙන් ජනතා සහන ලැබෙවි කියලා හිතන්න පුළුවන්ද?
පි- තාම අපි ළඟ සැකිල්ල පමණයි තියෙන්නේ. සාකච්ඡා වටයේ තමයි පවතින්නේ. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ලංකාවේ දැනට තිබෙන ණය ආපසු ගෙවීමේ විශාල කොටස ඇවිල්ලා තියෙන්නේ මේ අවුරුද්දට සහ ඉදිරි අවුරුද්දට. ඉතින් මෙවර අයවැයට ලොකු පීඩනයක් තියෙනවා. ජනතා සුබසාධනය ගත්තත් වෙන දේවල් ගත්තත් ණය ‍පොලී සහ වාරික ගෙවීමේ උපරිම කොටස් ගෙවීමට සිදුවෙලා තියෙන අවස්ථාවක ජනතා සුබසිද්ධියත් ඒ වගේම ආයෝජනත් සහන ලබාදීමේ වැඩපිළිවෙළත් ඉදිරියට අරගෙන යන්නේ කොහොමද කියන එක තමයි අපි දැනට සාකච්ඡා කරන්නේ.

ප්‍ර- සහන කෙසේ වෙතත් ජනතාව මත බදු බර පැටවීමේ සූදානමක් ඇති බව පැහැදිලියි?
පි- නෑ. එවැනි ලොකු බදු බරක් පටවන්න රජය සූදානම් නෑ. රජයක් විදියට යම් ප්‍රමාණයක් බදු ආදායම් ලබාගැනීම සිදු කරනවා.

ප්‍ර- අලුතින් වයස 18ට වැඩි සියලු දෙනාටම බදු අංකයක් ලබාදීමට මුදල් ඇමැතිවරයා තීරණය කරලා?
පි- මම හිතන්නේ ඒක හොඳ දෙයක්. ඒකෙන් අදහස් කරන්නේ නෑ සියලු දෙනාටම බදු ගහනවා කියලා. බදු ගහන්න ක්‍රමයක් තියෙනවා. ලක්ෂ 12කට අඩුවෙන් වසරකට උපයන අයට බදු වැටෙන්නේ නෑ. ඒ කියන්නේ මසකට ලක්ෂයක් උපයන අයට බදු ගෙවන්න ඕන නෑ. ඊට වඩා ඉහළ ආදායම් ලබන අය තමයි බදු ක්‍රමයට අහුවෙන්නේ.

අද සමහර ආදායම් ලබනවා. ඒත් බදු ගෙවීම් පැහැර හරිනවා. ඒක ලංකාව වගේ රටකට ඉතා බරපතළ ප්‍රශ්නයක්. රටේ සියලු දෙනාම බදු ගෙවීම අපේ වගකීමක් ලෙස සලකන්න ඕනි. බදු බයවෙන්න දෙයක් නෙවේ. තමන් උපයන ආදායමෙන් යම්කිසි ගාණක් ගෙවීමට ක්‍රියා කිරීම සාමාන්‍ය දෙයක්. මේ බදු අංකයක් ලබාදීමෙන් සියලු දෙනාම හඳුනාගැනීම පහසු වෙනවා. පුද්ගලයින් වශයෙන් එක් නරක නෑ. හොඳ ක්‍රමයක්.

ප්‍ර- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ආණ්ඩුවෙන් යනවා කියන එක ස්ථිරලු..?
පි- නෑ. එවැනි සාකච්ඡාවක් පැවැතුණේ නෑ. මේ පක්ෂය වැඩි දියුණු කිරීම සඳහා පක්ෂය තව තවත් ජනතාව අතරට ගෙනයෑම සඳහා පක්ෂය ජනප්‍රිය කිරීම සඳහා යම් යම් දේවල් අදහස් අපි සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවල කතාවුණ කරුණු එකක් දෙකක් අල්ලගෙන තමයි ඔය යනවා යනවා කියලා කියන්නේ.

ප්‍ර- ඒ කියන්නේ ඒ සාකච්ඡාවල යනවා යනවා කියලා කරුණු එකක් දෙකක් සාකච්ඡා වුණා?
පි- නෑ. එහෙම දෙයක් නමෛයි. අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ හැටියට පක්ෂය කොහොමද ප්‍රචලිත කරන්නේ කියන එක තමයි ඒ සාකච්ඡාවල මූලික හරය වුණේ.

ඉතින් ඒ පිළිබඳව අපි ජනාධිපතිවරයා එක්කත් කතා කළා. ඒක අල්ලගෙන යනවා කියන තැනට ලඝු කරන්න පටන් ගත්තාම ඒක මහා කචල් වචනයක්. එහෙම නෙවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහොමද 2020 දී බලයට පත් කරන්න අපි කටයුතු කළ යුත්තේ? අන්න ඒ කාරණාව පිළිබඳව අපේ දිගු සාකච්ඡාවක් තාමත් තියෙනවා. ඒ නිසා විවිධ අය විවිධ අදහස් දක්වනවා. ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා තියෙනකොට කීප දෙනෙක් එකතු වෙලා ඒක ආපහු අපි යනවා කියන තැනට තල්ලු කරද්දී සම්පූර්ණයෙන්ම අපේ අර්ථය විකෘති කිරීමක්. අපි පක්ෂය ඇතුළේ ඉන්නවා. කිසිම කෙනෙක් පක්ෂය දාලා යන්නේ නෑ. නමුත් එහෙම ඉන්න ගමන් පක්ෂය වඩා ජනප්‍රිය කරවන්නේ කොහොමද කියන කාරණාව ගැන අපි සාකච්ඡා කරනවා.

ප්‍ර- ඔබ කියන්නේ පක්ෂය කොටස් වෙලා නෑ, පක්ෂයේ ශක්තිය වැඩිවෙලා කියන එකද?
පි- ඔව්. බලන්න උදාහරණයක් විදියට මෙවර තිබුණ පක්ෂයේ 66 වැනි සම්මේලනයට සියලු පක්ෂ නියෝජිතයෝ සහභාගි වුණා. ඒ තුළ අපිට පේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව මේ රටේ සුළු ජාතීන් තුළ බලා‍පොරොත්තුවක් තියෙනවා. ඒ බලා‍පොරොත්තුව අපි කඩ නොකළ යුතුයි. දැනටත් ඒකාබද්ධ විපක්ෂය ලෙස කොටසක් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි කොටසක් ඉන්නවා. මේ දෙපාර්ශ්වය අතරත් කොයි තරම් දුරට එකඟවීමකට එන්න පුළුවන්ද කියලා බලන්න ඕනෑ. ඒ සාකච්ඡා වටය තමයි මේ කෙරෙන්නේ. එහෙම නැතුව කවුරුත් ආණ්ඩු පෙරළන්නවත් කවුරුවත් අයින් කරන්නවත් අදහසක් නෑ. මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ඒ අදහස හරියාකාරව ජනගත නොවීම නිසා හුදු ප්‍රලාපයක් බවටත් කටකතා බවටත් වැරදි අර්ථ නිරූපණත් එළියට ඒමයි.

ප්‍ර- පළාත් පාලන මැතිවරණයට මුහුණ දීමට සූදානම්ද?
පි- දිස්ත්‍රික් මට්ටමින් ආසන මට්ටමින් අපේක්ෂකයෝ තෝරාගත යුතුයි. සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වුණා. අපි පුළුවන් තරම් බලන්නේ සියලු දෙනාම එකතු කරගෙන මේ ගමන යන්නේ කොහොමද කියලයි. කෙසේ වෙතත් මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න අවශ්‍ය මූලික කටයුතු සියල්ල සූදානම්.

ප්‍ර- පක්ෂ සංවත්සරයට සහභාගි වුණේ නැති අයට විනය පරීක්ෂණ තියෙනවාද?
පි- ඒ ගැන අපි තාම සාකච්ඡා කළේ නෑ. ඇතැම් අය විවිධ දේ කියලා තිබුණා. නමුත් මධ්‍යම කාරක සභිකයෙක් විදියට මට කියන්න තියෙන්නේ මේ පිළිබඳව අපි තාම සාකච්ඡා කළේ නෑ. අපි ඒ අයට ආරාධනා කළා. ඒත් ඒ අය ආවේ නෑ. අපි අතර මත ගැටුමක් තියෙනවා. ඒක ඇත්ත. නමුත් මේ පක්ෂය අපි කාගෙත් පක්ෂය. පුද්ගලයෙක් හෝ දෙන්නෙක්ගේ පක්ෂයක් නෙවේ. මත ගැටුම් ඇති වුණා කියලා පක්ෂයෙන් වෙන්ව යාම නොවේ කළ යුත්තේ. මත ගැටුම් සමග පක්ෂය තුළ රැඳී සිටිමින් තම මතය පක්ෂය තුළ ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීමයි. මැතිවරණ ජයග්‍රහණයකට පක්ෂය මෙහෙයවන්න මේ කණ්ඩායම් දෙකම කැපවෙලා වැඩ කරන්න ඕනි කියලයි මම කියන්නේ.

ප්‍ර- ගංවතුර, නායයෑම් යළිත් ඇතිවීමේ අවදානම මතුවෙලා. රජයේ සූදානම කොහොමද?
පි- කෑගල්ල, රත්නපුර, ගාල්ල, කළුතර, කොළඹ, ගම්පහ වගේ ප්‍රදේශවලට තමයි මේ බලපෑම ඇතිවෙලා තියෙන්නේ. මේ වෙනකොට වායුගෝලයේ යම් වෙනස්කමක් පේනවා. අපේ ගංගාවල් මේ වෙනකොට පිටාර මට්ටමේ තියෙන්නේ. නමුත් වතුර ඉක්මනින් බැස යනවා. අපි කළුගඟ මෝයකට විවෘත කළා. අද දවසත් හෙටත් කාලගුණ තත්ත්වය අනුව වැස්ස වැඩිවෙයි කියලා අපි හිතනවා. ඒ අනුව සියලුම කාර්යයන් සඳහා සියලු දේ සූදානම්. වැස්ස වැඩි වුණොත් නායයෑමේ අවදානම ඇති වෙනවා. අපි අනතුරු ඇඟවීම් කළා. කඳුකර ප්‍රදේශවල ඉන්න අයගෙන් අපි ඉල්ලා සිටියා යම් නායයෑමේ තත්ත්වයක් තේරුණොත් වහාම ආරක්ෂිත ස්ථානවලට යන්න කියලා.

ප්‍ර- එහෙම ආරක්ෂිත තැන් නම් කරලා තියෙනවාද?
පි- ඔව්. අපි මේ වෙනකොට එසේ යා හැකි ආරක්ෂක ස්ථාන නම් කරලා තියෙන්නේ. ඒ වගේම අපි බෝට්ටු ඇතුළු අනෙකුත් සියලුම දේවල් සූදානම් කරලයි තියෙන්නේ.

ප්‍ර- හදිසි ආපදා තත්ත්වයක දී මුහුණ දිය යුතු ආකාරයට සියලු දේ සැලසුම් කරලද තියෙන්නේ?
පි- අනිවාර්යයෙන්ම. දැන් සියල්ලම සූදානම් කරලා තියෙන්නේ. අපි සමහර තැන්වලට බෝට්ටු වගේ දේවල් ස්ථානගත කරලත් තියෙනවා. අපේ නිලධාරීන් පැය 24 පුරාම වැඩ කරනවා. නමුත් අපි හිතනවා මේ වැස්ස ගංවතුරක් දක්වා ව්‍යාප්ත නොවෙයි කියලා. ඉදිරි දින තුන දිහා අපි ඉතා කල්පනාවෙන් බලන් ඉන්නවා.

ප්‍ර- අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන ලැබි තියෙනවාද?
පි- ඔව්. මුදල් ප්‍රතිපාදන ගැන කොහොමත් ප්‍රශ්නයක් නෑ. අපිට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් ලැබෙනවා. නමුත් අපි අවශ්‍ය උපකරණ සූදානම් කරලා තියෙනවා. ත්‍රිවිධ හමුදාව සූදානම් කරලා ඉන්නවා. ඒ අයත් අපි ස්ථානගත කරලා ඉන්නවා. ඉතින් ඒ අනුව සියල්ල සූදානම්.

ප්‍ර- මීට පෙර පෙර සූදානම තිබුණේ නෑ?
පි- පෙර සූදානම තිබුණේ මීට පෙර මහා ධාරානිපාත වැසි එක දවසට දෙකට ඇද හැලුණා. ඒක නිසයි අපිට ගැටලු මතු වුණේ. අනික මේ පාර අනතුරු ඇඟවීම් වගේ දේවල් ගැන ජනතාව හොඳට ඇහුම්කන් දෙනවා. ඒක ඉතා හොඳ ප්‍රවණතාවක්. ඒ නිසා වෙනදා තරම් ලොකු අනතුරු සිදු නොවී අපිට මේ විපත්වලින් බේරෙන්න පුළුවන් වේවි.

සාකච්ඡා කළේ- සුජිත් කෝනාර
sujithkona@gmail.com