ඉන්දියාව නිදහස ලැබිමෙන් පසු තම රටේ ආරක්ෂාව ප්‍රමුඛ අවධානයක් යොමු කළ රටකි. විශේෂයෙන් ඉන්දියාව ජාතික ආරක්ෂාව ගැන අවධානය යොමු කළේ ඉන්දු – චීන සංග්‍රාමවලදී ඉන්දියාවට දැඩි පරාජයකට මුහුණ දීමට සිදු වීම නිසාය. මේවාට අමතරව නිදහස ලැබිමට ඔන්න මෙන්න තිබියදී ඉන්දියානු භූමියේ විශාල පරාසයක් කැඩී වෙන් වී පකිස්තානය නමැත් රාජ්‍ය බිහි විය. එතැන් සිට පකිස්තානය ගොඩනැගුණේ ඉන්දියාවට සතුරු රාජ්‍යයක් ලෙසය. ඉන්දියාව ලෝකයේ වෙනත් කඳවුරක් සමග සබඳතා තරකර ගන්නා විට පකිස්තානය ඉන්දියාවට සතුරු කඳවුරු සමග සබඳතා ඇති කර ගැනීමට යොමු විය. මෙවැනි පසුබිමක ඉන්දියානු රෝ ඔත්තු සේවය වැනි ආයතන ආරක්ෂක සරසවි, වෙනත් ඔත්තු අංශ රාශියක් බිහි විය.

ඉන්දියාව තම ජාතික ආරක්ෂාව පිළිබඳ කල්පනා කරන ආකාරය එහි තීරණාත්මක අසල්වැසියකු වන ශ්‍රී ලංකාවට අතිශය වැදගත් ය. නිදහස් ඉන්දියාවේ පළමු ආරක්ෂක ඇමැතිවරයා බාල්දේව් සිංග්ය. ඔහු අගමැති නේරුගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් විය. ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය ධුරය ඉකුත් දිනවල වඩාත් කතාබහට ලක් වූයේ මෙයට දින කිහිපයකට පෙර අගමැති නරේන්ද්‍ර මෝදි කළ කැබිනට් සංශෝධනයේ දී ආරක්ෂක ඇමැතිකම එතෙක් දැරූ ඇමැති ‘අරුන් ජෙටල්ගෙන් ගලවා කාන්තාවකට පැවරීම නිසාය. ඉන්දියාවේ පළමු ආරක්ෂක ඇමැතිනිය ඇය නොවේ. එරට පළමු ආරක්ෂක ඇමැතිවරිය නේරුගේ දියණිය වන ඉන්දිරා ගාන්ධිය. ඇය වරක් අගමැති ධුරයට අමතරව ආරක්ෂක ඇමැති ධුරය ද දැරුවාය. එසේ වුවද නිදහසින් පසු ඉන්දියාවේ පූර්ණ කාලීන ආරක්ෂක ඇමැතිනිය අපේ අවධානයට ලක්ව ඇති නිර්මලා සීතාරාම්ය.
එක් පැත්තකින් ඉන්දියාව සැලකෙන්නේ කාන්තාවන් තුට්ටුවට දමන රටක් හැටියටය.

එවැනි රටක පළමුවරට පූර්ණ කාලීන ආරක්ෂක ඇමැති ධුරයට කාන්තාවක පත් කිරීම මෝදි ආණ්ඩුව ගත් විපලවකාරී පියවරක් ලෙස සැලකිය හැකිය. ඉතා ශක්තිමත් හා සංවර්ධිත ඉන්දියාවක් ගොඩනැගීමේ දී අගමැති මෝදි කුලය, ජාතිය, ආගම ස්ත්‍රී පුරුෂ බව නොතකා දුරදිග බලා තීරණ ගන්නා බව එමගින් පැහැදිලි වේ. තමිල්නාඩුවේ මදුරාපුරයේ උපන් තැනැත්තියක වන නව ආරක්ෂක ඇමැතිනිය ජවහල්ලාල් ශ්‍රී නේරු සරසවියේ උපාධිධාරිනියකි. ඇය ඉන්දු – යුරෝපීය වෙළෙඳ සබඳතා පිළිබඳ විශේෂඥවරියකි. ඇයගේ ආචාර්ය උපාධි නිබන්ධනයට ප්‍රස්තුත වී තිබෙන්නේ ද ජාත්‍යන්තර වෙළෙඳාමය. මෙසේ අධ්‍යාපනික වශයෙන් ඉහළ සුදුසුකම් සහිත සීතාරාම් ප්‍රතිපත්ති සම්පාදන ක්‍ෂේත්‍රය පිළිබඳව ද බෙහෙවින් අත්දැකීම් ඇති චරිතයකි. මෙකී කරුණු ද ඇයට ආරක්ෂක ඇමැති ධුරය වැනි අතිශය වගකිව යුතු භූමිකාවක වගකීම පැවරීමේ දී මෝදිගේ අවධානයට ලක් වූවා විය හැකිය.

2008 දී බිජේපී පක්ෂයට එක් වූ නිර්මලා 2010  බිජීපී පක්ෂයේ ප්‍රකාශිකාව වශයෙන් ද කටයුතු කළේය. ඇයට පෙර එම තනතුර දැරුවේ දැනට ඉන්දීය විදේශ ඇමැති ධුරය දරන සුෂ්මා ස්වරාජ්ය.

2014 දී නිර්මලා රාජ්‍ය වාණිජ අමාත්‍යවරිය හැටියට ද වගකීම් දැරුවාය. මිලියන 1.4 ක ප්‍රබල ආරක්ෂක සාමාජික සංඛ්‍යාවකින් යුක්ත ඉන්දියාව ලොව තෙවැනි විශාලතම හමුදාවට වග කියයි. එවැනි හමුදාවක භාරකාරත්වය නිර්මලා වැනි චරිතයකට පැවරීමෙන් පෙනෙන්නේ මෝදි ආණ්ඩුව ඇය පිළිබඳ නිසි තක්සේරුවකින් කටයුතු කර ඇති බවය. ඉන්දියාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ දී එහිලා ප්‍රබල වගකීම  තිබෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටුවටය. සුෂ්මා ස්වරාජ් එම කැබිනට් කමිටුවේ ප්‍රබල සාමාජිකාවකි. නිර්මලා ද ආරක්ෂක ඇමැති ධුරය දැරීමත් සමග එම කැබිනට් කමිටුවේ සාමාජිකාවක් බවට පත් වෙයි. මේ අනුව ඉන්දියාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටුවේ කාන්තාවන් දෙදෙනෙක් සාමාජිකත්වය දරති. මෙය ද බෙහෙවින් අවධානයට ගත යුතු කරුණකි.

අපට පෙනෙන පරිදි ඉන්දීය නව ආරක්ෂක ඇමැතිනිය හමුවේ තිබෙන්නේ සුළුපටු අභියෝග නොවේ. එක් පැත්තකින් ගෝලීය ත්‍රස්තවාදී ව්‍යාපාරවල ප්‍රධාන ඉලක්කයක් සහ මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට ඉන්දියාව පත්ව තිබේ. අනෙක් පැත්තෙන් පකිස්තානය, චීනය වැනි රටවල් සමග ඉන්දියාවට නිතරම ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලු තිබේ. එපමණක් නොව සයිබර් ත්‍රස්තවාදය ද ඉන්දියාවට බෙහෙවින් බලපෑ හැචකි තවත් අනතුරකි. එවැනි පසුබිමක නිර්මලා සීතාරාම්ට ප්‍රබල භූමිකාවක කටයුතු කිරීමට සිදුවන බව පෙනේ. විශේෂයෙන් ලෝක ව්‍යසනයක් බවට පත්ව ඇති අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට ඉන්දියාව පත්ව තිබේ. ආසියානු කලාපයේ සම්බන්ධීකරණ කටයුතු කරන අයි.එස්. අයි.එස්. ත්‍රස්ත නායකයා ඉන්දියානුවෙකි.

ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, පකිස්තානය වැනි රටවල යම් ආකාරයකින් අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ වර්ධනයක් දැකිය හැකිය.

එසේම දකුණු ආසියානු කලාපයේ බලය තහවුරු කර ගැනීම සඳහා චීනය දෙස සුවිශේෂ අවධානයක් දක්වමින් තිබේ. එහෙයින් චීනය නිතරම ඉන්දියානු සාගර කලාපයට අවතීර්ණ වීමට මාන බලමින් සිටී. ශ්‍රී ලංකාව වැනි රටවල් යොදා ගනිමින් ඒ සඳහා මග පාදා ගැනීමට චීනය කීප විටක් උත්සාහ කළේ ය. එය ඉන්දියාවේ ප්‍රබල උදහසට හේතු විය. මෙයද නව ආරක්ෂක ඇමැතිනිය අවධානයට ලක් කළ හැකි කරුණක් බව පෙනේ.

එයට අමතරව ඉන්දියානු හමුදාව මේ වන විට කාන්තාවන් සඳහා එහි ඉඩකඩ පුළුල් කිරීමට අවධානය යොමු කර තිබෙන බව පෙනේ. බොහෝ විට ඉන්දියානු කාන්තාවන් සම්බන්ධ වූයේ ඉන්දියානු හමුදාවේ වෛද්‍ය, නීති, සංඥා බළකාය වැනි අංශවලටය. ඉන්දියානු හමුදාපතිවරයා මෙයට කලකට පෙර ප්‍රකාශ කළේ යුද හමුදා ‍පොලිසියේ අවස්ථා ද කාන්තාවන්ට දීමට අවධානය යොමු කර ඇති බවය. මේ වන විට ද ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් නියමුවරියන් තිදෙනෙක් සේවය කරති. ඉන්දියානු නව ආරක්ෂක ඇමැතිවරිය එරට ආරක්ෂක අංශවල ඉඩකඩ කාන්තාවන්ට ලබා දීමට යම් යම් ක්‍රියා මාර්ග ගැනීමට බෙහෙවින් ඉඩ තිබේ.

2019 දී ඉන්දියානු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතය. මේ වන විට අගමැති මෝදි ප්‍රාන්ත ආණ්ඩුවල රැසක බලය තහවුරු කරගෙන තිබේ. අගමැතිවරයාගේ අරමුණ ඊළඟ වටයේ ද රාජ්‍ය බලය ලබා ගැනීමයි. එවැනි පසුබිමක සිදු කළ හදිසි කැබිනට් සංශෝධනයේ දී පත් කළ නව ඇමැතිවරුන්ට සහ ඇමැතිවරියන්ට තීරණාත්මක කාර්යභාරයක් පැවරෙන බව පෙනේ. අගමැති මෝදි කිහිප විටක්ම ඇමැති මාරුව කළේ ය. මෙකී නව කැබිනට් සංශෝධනය ඔහු කරන්නට ඇත්තේ 2019 මහ මැතිවරණය දෙස බලාගෙන බව පෙනේ. එහෙයින් ඔහුට විශ්වාසවන්ත කෙනකු ආරක්ෂක ඇමැති ධුරයට පත් කිරීමට පියවර ගෙන තිබේ. කොහොම නමුදු ඉන්දිරා ගාන්ධි දැරූ ආරක්ෂක ඇමැති ධුරය දකුණු ඉන්දියානු සම්භවයක් සහිත නිර්මලා සීතාරාම්ට හිමි වීම ද විශේෂ කරුණකි. ඇමෙරිකාව සේ මෝදිගේ ඉන්දියාව ද තීරණාත්මක වගකීම්වලට කාන්තාවන් පත් කිරීමට යොමුව ඇති බව නිර්මලා සීතාරම්ගේ පත් කිරීමෙන් පැහැදිලි වේ.

වරුණ අබේසේකර

Untitled-7 Untitled-8