ජනාධිපතිවරයාගේ නමින් නිකුත් කළ ගැසට් නිවේදනයකින් ඉකුත් සැප්තැම්බර් 01 දා සිට සියලු ආකාරයේ ‍පොලිඑතලින්, ‍පොලි‍ප්‍රොෆිලින් නිෂ්පාදන තහනම් කෙරිණ. එකී ගැසට් නිවේදනය අනුව විශේෂ සමාජීය, සංස්කෘතික, ජාතික හෝ වෙනයම් උත්සව අවස්ථාවලදී ද ‍පොලිතින් භාවිතය තහනම්ය. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23 වැනි වගන්තිය යටතේ කළ මෙකී තහනම අනුව දේශීය භාවිතය සඳහා ආහාර ඇසුරුම් පෙට්ටි, පිඟන් කෝප්ප හා හැඳි නිෂ්පාදනය, ඒවා රට තුළ විකිණීමට ප්‍රදර්ශනය, නොමි‍ලේ ලබාදීම තහනම්ය. එපමණක් නොව ‍පොලිතින් නිෂ්පාදන පිලිස්සීම සේම පිලිස්සීමට සැලැස්සීම, ඊට ඉඩදීම හෝ අවසර දීම නොකළ යුතු බව ද ගැසට් නිවේදනයේ දැක්වේ.

මධ්‍යම පරිසර අධිකාරිය මගින් හෙළි කරන දත්ත අනුව මෙරට වැසියෝ දිනකට ලන්ච් ෂීට් සහ සිලි සිලි මලු ලක්ෂ 350ක් පරිසරයට එකතු කරති. එපමණක් නොව මෙරට ෙදෙනිකව ගොඩගැසෙන කසළවලින් 10ත් 15ත් අතර ප්‍රමාණයක් ‍පොලිතින්ය.
ඉහත දැක්වූ ෙදෙනිකව පරිසරයට එක්කරන ‍පොලිතින් නිෂ්පාදන ලක්ෂ 350න් ලක්ෂ 200ක් තුනී ‍පොලිතින් කෑම කොළය. එසේත් නැත්නම් ලන්ච් ෂීට්ය. අනෙක් ලක්ෂ 150 සිලි සිලි මලුය. මෙසේ මෙරට පරිසරයට දිනකට ‍පොලිතින් නිෂ්පාදන කෙතරම් එක්වේ දැයි ඔබට එමගින් සිතාගත හැකිය.

මේ අතර ඇමැති චම්පික රණවක නොබෝදා අපූරු කතාවක් කීවේය. ඔහු ප්‍රකාශ කළේ මියගිය ගවයකුගේ කුස පිරික්සීමේ දී එහි ‍පොලිතින් කිලෝ 20ක් තිබි හමු වූ බවය.

එමගින් මෙරට ‍පොලිතින් ව්‍යසනය පැහැදිලි වේ. ‍පොලිතින් ගිලන ගවයන්, සුනඛයන් පමණක් නොව අලි ඇතුන් ද මෙරට සුලබය. එහෙයින් ‍පොලිතින් තහනම මෙයට බොහෝ කලකට පෙර කළ යුතුව තිබුණක් බව අමුතුවෙන් කිවයුතු නැත. එසේ වුවද ‍පොලිතින් තහනමට ක්‍රියාවට නැගීමට පටන්ගැනීමෙන් පසු එයට විරෝධයක් ද එල්ල විය. ඒ විරෝධය මතු වූයේ මෙරට ‍පොලිතින් නිෂ්පාදකයන්ගෙනි. ඔවුන් ප්‍රශ්න කළේ ඉදිරි උත්සව කටයුතු සඳහා ‍පොලිතින් නිෂ්පාදන සඳහා පිටරටින් ආනයනය කළ ‍පොලිතින් අමුද්‍රව්‍යවලට කුමක් කළයුතු දැයි කියාය. අපට පෙනෙන පරිදි මතුපිටින් බලන කල ඔවුන්ගේ තර්කයේ යම් පදනමක් තිබිය හැකිය. එහෙත් රටක නීතියක් ක්‍රියාත්මක කිරීමේ දී ආණ්ඩුවක් බැලිය යුත්තේ රටේ දීර්ඝකාලීන යහපත විනා එක් එක් අයගේ කෙටිකාලීන අරමුණු දෙස නොවන බව ද අවධාරණය කළ යුතුය.

මේ අතර තවත් පිරිසක් ‍පොලිතින් සඳහා විකල්ප මොනවා දැයි ප්‍රශ්න කරති. එය ද අයුක්ති සහගත යැයි බැහැර කළ නොහැකි තර්කයකි. එයට හේතුව ලන්ච් ෂීට්වල කෑම ඔතා සිලි සිලි මලුවල රැගෙන ගිය ජනතාවට ඒ සඳහා විකල්ප තිබිය යුතු හෙයිනි.
Untitled-5
එහෙත් ඒ සඳහා විකල්ප ඉදිරිපත් කිරීමට ආණ්ඩුවක් බැඳී නැත. ‍පොලිතින්වලට  ඕනෑතරම් විකල්ප අපේ පරිසර හිතවාදී ජීවන සම්ප්‍රදාය තුළ තිබුණි. එකල පන් මල්ලක් නොතිබුණු නිවසක් ගමේ නොමැති තරම් විය. අපි ද කුඩා සන්ධියේ අපේ සීයා, ආච්චී පන් මල්ල එල්ලාගෙන කඩමණ්ඩියට ගිය අයුරු දැක ඇත්තෙමු. එපමණක් නොව අපි කුඩා කල මවගේ නියමයෙන් බත් එතීම සඳහා කෙසෙල් කොළ කපා ඇත්තෙමු. එසේම කෙසෙල් කොළේ ළිපේ රස්නෙන් තවා ඇත්තෙමු. එහෙත් එකී පරිසර හිතකාමී ජීවන පැවැත්ම විවෘත ආර්ථිකය හේතුවෙන් පැතිර ගිය ‍පොලිතින් වසංගතය නිසා අපට අහිමි විය. දැනුදු කෙසෙල් කොළේ, නෙළුම් කොළේ බත්පත ඔතන අය නැතුවා නොවේ.

එසේ නමුදු පසුගිය දශක කීපයේ දී අපේ මුළු මහත් සමාජයම ප්‍රබල ‍පොලිතින්කරණයකට ලක් විය. උදැල්ලෙන් ගැහුවත් මතුවන්නේ වසර ගණනාවක් තිස්සේ නොදිරා ‍පොළොවේ තැන්පත් වූ ‍පොලිතින්ය.

‍පොලිතින් නිෂ්පාදන තහනම පැනවීම නිසා යළි පරිසර හිතකාමී විකල්ප කෙරෙහි අවධානය යොමු වී තිබේ. බොහෝ අය ‍පොලිතින්වලට වුවමනා කරන විකල්ප ගැන කතා කරන අතර එබඳු විකල්පයක් රටට ඉදිරිපත් කළ අපූරු මිනිසෙක් ඉකුත් දිනෙක අපට හමු විය. ඔහු සමග අප කතා කිරීමට යොමු වූයේ ඔහුගේ අතේ ‍පොලිතින් නිෂ්පාදන වෙනුවට භාවිත කළ හැකි කදිම පරිසර හිතකාමී විසඳුමක් තිබෙන හෙයිනි.
ඔහු වරලත් ඉංජිනේරු අමිල් ප්‍රියන්තය.

“ජනාධිපතිවරයා ‍පොලිතින් තහනම් කිරීමෙන් රට වෙනුවෙන් ඉතා අගනා පියවරක් ගත්තා. ‍පොලිතින් නිෂ්පාදන භාවිතය පහසුවක් සේ පෙනුණත් මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් ඇති වූ මානව ව්‍යසනයට එක් හේතුවක් සේ ‍පොලිතින් අපද්‍රව්‍ය දක්වන්න පුළුවන්. ඒ විතරක් ‍නෙවෙයි මෑත කාලයේ පර්යේෂකයන් කළ පර්යේෂණ අනුව ඩෙංගු රෝගය වසංගතයක් සේ ව්‍යාප්ත වීමටත් ‍පොලිතින් බලපා තිබෙනවා. ඉකුත් කාලයේ රට ගංවතුර අනතුරු කිහිපයකට මුහුණ දුන්නා. ඒ වතුර බැසිය යුතු තැන්වල ‍පොලිතින් කවර ආදිය හිරවීම ගංවතුර උවදුරට එක් හේතුවක් බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. ඒ වගේම වෙරළ තීරයත් දූෂ්‍ය වීමට ‍පොලිතින් නිෂ්පාදන ප්‍රධාන හේතුවක්.

මෙහි දී මතක තබාගත යුත්තක් තමයි ලන්ච් ෂීට්වල කැල්සියම් කාබනේට් අඩංගු වෙනවා. කැල්සියම් කාබනේට් කියන්නේ පිළිකාකාරයක්. එතකොට මේ රටේ ලක්ෂ ගණනාවක් ජනතාව දිනපතා  බත් කාලා තියෙන්නේ කැල්සියම් කාබනේට් සමග. හිටි හැටියේ සුනඛයන්, ගවයන්, අලි ඇතුන් මියගියේ කැල්සියම් කාබනේට් අඩංගු ලන්ච් ෂීට් ගිලීම නිසා දැයි සොයා බලන්න ඕනෑ.

ලංකාවේ වාර්ෂිකව ‍පොලිතින් මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් නිෂ්පාදනය කරනවා. ඉන් සියයට 30ක් අපනයනය කරනවා. ඉතිරි සියයට 70 භාවිතයට ගන්නවා. සියයට 40ක් තමයි ප්‍රතිචක්‍රීකරණය කරන්නේ. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් දෙලක්ෂ දහදාහක් පරිසරයට එකතු වෙනවා. මේවා දිරන්න අවුරුදු 500-1000ත් අතර කාලයක් වැය වෙනවා. ඒ කියන්නේ යුග කීපයක් ගත වෙනවා.

මේ නිසා අප රටක් හැටියට ‍පොලිතින් භාවිතයට තිත තැබිමට පටන්ගැනීම ඉහළ ජයග්‍රහණයක්. නමුත් ‍පොලිතින්වලට විකල්ප ආදේශක තිබෙනවා. සමහරු කෙසෙල් කොළ, නෙළුම් කොළ ආදිය භාවිතයට යෝජනා කරනවා. ඒක පුළුවන් මට්ටමෙන් කරන එක හොඳයි. හැබැයි රටේ ඉහළ ඉල්ලුමට සැපයීමේ දී ප්‍රයෝගික ප්‍රශ්න මතු වෙනවා.  ඔන්න ඔය හේතුව නිසා තමයි මම විකල්ප ‍පොලිතින් ආදේශක ගැන අවධානය යොමු කළේ.”

ඔබට විකල්ප ‍පොලිතින් ආදේශක ගැන අදහස ඔළුවට අවේ කොහොමද? මම වරලත් ඉංජිනේරු ප්‍රියන්තගෙන් ඇසීමි.

“මම ඉකුත් කාලයේ ඇමෙරිකාව, චීනය, එංගලන්තය, ඉන්දියාව, වියට්නාමය වැනි රටවල් කීපයක සංචාරය කළා. ඒ සංචාරවල දී එම රටවල් ‍පොලිතින් වෙනුවට වහා දිරන ස්වභාවික ද්‍රව්‍යවලින් ‍පොලිතින් ආදේශක නිෂ්පාදනය කර තියෙන ආකාරය දැක්කා. ඇමෙරිකාවේ සමහර ප්‍රාන්තවල ‍පොලිතින් සම්පූර්ණයෙන් තහනම්. ඒ නිසා ඒ ප්‍රාන්තවල ස්වාභාවිකව දිරන ද්‍රව්‍යවලින් සකස් කළ නිෂ්පාදන සුලභව භාවිත වෙනවා. මම ඉන්දියාවේ දී එවැනි ‍පොලිතින් ආදේශක හදන කර්මාන්තශාලා කීපයකට ගියා.

ඉන්දියාව අතිරික්ත බඩඉරිඟු, මඤ්ඤාෙක්කා ආදියෙන් තමයි ඔය කිව්ව ‍පොලිතින් ආදේශක හදන්නේ.  අපේ රටේ කෙතරම් බඩඉරිඟු නිෂ්පාදනය කරනවාද? ගොවියන් ඒවා විකුණාගන්න බැරිව ලතවෙනවා. මඤ්ඤාෙක්කත් ඒ වගේම නිෂ්පාදනය කරනවා.

අපට මම ඉදිරිපත් කරන ‍පොලිතින් ආදේශක මෙහේ නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ගොවියන්ටත් හොඳ උත්තරයක් ලැබෙනවා. දැනටමත් ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් මට කතා කරලා කිව්වා අපේ ‍පොලිතින් ආදේශකය නිපදවීමට වුවමනා කරන මඤ්ඤාෙක්කා ගම්පහින් දෙන්නම් කියලා. විශේෂයෙන් අප හඳුන්වා දෙන ‍පොලිතින් ආදේශකය දියකරලා බොන්නත් පුළුවන්. ඕනැ නම් කන්නත් පුළුවන්.  ඒවා දිරන්න යන්නේ මාස තුනත් හයත් අතර කාලයක්. මේ ආදේශකය මේ රටේ නිෂ්පාදනය කළොත් විශාල රැකියා ප්‍රමාණයක් ඇති වෙනවා.”

එමගින් ‍පොලිතින් නිෂ්පාදනයේ යෙදුණු අයගේ රැකියා අහිමි වෙනවා නේද? මම යළි පැනයක් මතු කළෙමි.

“ඒක වැරදි අදහසක්. ඔවුන් ‍පොලිතින් නිෂ්පාදනය සඳහා භාවිත කළ යන්ත්‍ර සූත්‍රම සුළු සුළු වෙනස්කම් කරලා අප හඳුන්වා දෙන ‍පොලිතින් ආදේශකය නිපදවීමට යොදාගන්න පුළුවන්. හැබැයි මෙහි දී ආණ්ඩුවෙන් ලොකු සහයෝගයක් වුවමනා කරනවා. දැනටමත් ආණ්ඩුව මේ ගැන කල්පනා කරලා ඊට අනුග්‍රහය දක්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙනවා. මේ නිෂ්පාදනය සඳහා යම්කිසි කාලයක් අපට අමුද්‍රව්‍ය පිටරටින් ආනයනය කරන්න වෙනවා. ඒ සඳහා ආණ්ඩුව බදු සහන ලබාදෙන්න ඕන. ටික කාලයක් ගිය පසු අපේ රටින්ම අමුද්‍රව්‍ය සොයාගන්න පුළුවන්. වතුපිටිවල, බියගම වැනි ප්‍රදේශවල වසා තිබෙන කර්මාන්තශාලා යොදාගෙන මේ පරිසර හිතකාමී ‍පොලිතින් ආදේශකය නිෂ්පාදනය කරන්න පුළුවන්. එමගින් අපේ රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඒ වගේම අපට අතිරික්ත ‍පොලිතින් ආදේශක නිෂ්පාදන ප්‍රමාණය පිටරටවලට ආනයනය කරන්නත් පුළුවන්. මොකද එංගලන්තය, ඉතාලිය, ජර්මනිය වැනි බොහෝ රටවල ‍පොලිතින් භාවිතය තහනම්. ඒ නිසා පරිසර හිතකාමී ‍පොලිතින් ආදේශවලට ලොකු ඉල්ලුමක් යුරෝපා වෙළෙඳ‍පොළේ තිබෙනවා. චීනයේ ඩ්‍රිගේටබල් වර්ගයේ බෑග් මෙරටට ගෙන ඒමේ සූදානමක් තිබෙන බවත් ආරංචියි. ඒක පරිසරයට එතරම් හොඳ නැහැ. ඒ නිසා පරිසර හිතකාමී ‍පොලිතින් ආදේශකයක් සේ සලකන්න බැහැ. අප අපේ රටේම ‍පොලිතින් ආදේශක නිෂ්පාදනය කළ යුතුයි. ඒ සඳහා අප සූදානම්. දැනටමත් විශාල පිරිසක් ඒ සඳහා එකතු වෙලා ඉන්නවා.”

වරුණ අබේසේකර
ඡායාරූප – ඒෂාන් දසනායක

Untitled-4 Untitled-3