“උසස් පෙළ ඉවර වුණා කියලා සැහැල්ලුවෙන් ඉන්න කාලයක් නැහැ. අනාගතය සැලසුම් කරන්න හරිහැටි තොරතුරු සොයා බලා අදම තීරණයක් ගැනීම නුවණට හුරු හොඳම ක්‍රියාවයි.”

සියලුම පැතුම් ‍පොදි බැඳගෙන උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් ඔවුන්ගේ පාසල් සමය සීමා කිරීමේ සනිටුහන් කර තැබුවේ තම දෙමාපිය, ගුරුවරුන්ගේ සුවහසක් පැතුම් ඉටු කරමින් සරසවි වරම් ලබාගැනීමට හැකිවේවායි යන බලා‍පොරොත්තු මැද්දේය.
“යාන්තම් ඇති…. ඒක ඉවරයි. දැන් මම නිදහස්… හොඳටෝම නිදහස් වෙන්න ඕනද… සතුටු වෙන්න ඕනෑ…”

තරුණ හදවත් තුළ මෙවැනි හැඟීම් ඇති වෙන්නේ ජීවිතය පිළිබඳ තවම හරිහැටි අවබෝධයක් නොමැති නිසාවෙන් බව නොරහසකි. මන්ද යත් තරුණ හදවත් නිතැතින්ම ‍පොලඹවෙන්නේ නිදහස හා සැහැල්ලු බවට යන්නයි. නමුත් ඇත්තෙන්ම ජීවිතයේ ගැඹුර පිළිබඳ පසක් කර ගත යුතුවා සේම නිවැරදි තීරණයන් ගැනීම ඔස්සේ තම අනාගත වෘත්තීයමය ජීවිතයට පියමනින්නට අවශ්‍ය අඩිතාලමද සැලසෙන්නේ මෙකල බැවිනි.

නව යොවුන් වියේ හැඟීම් හා ආසාවන් තුළ රුවල් නැවක් මුහුදේ පාවෙන්නා සේ සුළං ගහන ගහන අතට වැනි වැනි ඔවුන්ගේ ජීවන මග සකස් කර ගැනීමට අවකාශ නැත. එසේ වුවහොත් දහසක් ඉලක්ක කරා ගමන් කිරීමට ඉතා දිගු කලක් ගත කිරීමට සිදුවෙයි.

කෙටි කලක් තුළදී වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස කාලය මනා කොට සංවිධානය කිරීමට දරුවන්ට සිදුවන්නේ ඒ නිසාය. එබැවින් දැන් ගෙවන එක තත්පරයක දු ආපසු නොඑයි. එබැවින් ඇතැම් විට ඔබගේ වෘත්තීය අරමුණු සැමවිටම අභියෝගයක් ලෙස කෙනෙකුට පෙනීමට හැකි වුවද ඒවා ජය ගැනීමට හැකි වෙන ලෙස සකස් කර ගැනීමෙන් මනා ප්‍රතිඵල ලබා ගැනීමටත් එයින් ප්‍රයෝජනයක් ගැනීමටත් හැකි වන්නේය.

එබැවින් තරුණ දරුවන් තුළ තම ඉදිරි අනාගතය සැලසුම් කර ගැනීමට අවශ්‍ය ඉලක්කයන් ඇති කර ගැනීම තුළින් යම් පුද්ගලයකුගේ ජීවිතයේ සාර්ථකත්වය කරා ගෙන යෑමට මහඟු පිටිවහලක් වන්නේය.

දරුවන් සිහින දකින්නේ සරසවි වරම් ලබන්නද? සරසවි වරම් ලැබේද? නොලැබේද? යන්න පිළිබඳ දරුවන්ට යම්කිසි නිශ්චිත පිළිතුරක් තවම නැතිව ඇති. ඇතැම් විට දැනටමත් ඒ පිළිබඳ නිශ්චිත පිළිතුරක් ලබාගත් දරුවන්ද මේ අතර නොසිටිනවා නොවේ.

මන්ද තමා විභාගයට සූදානම් වූ ආකාරය විභාග ප්‍රශ්නවලට හරියාකාරව පිළිතුරු ලබා දුන් ආකාරය පිළිබඳ දරුවන්ට ඇති අවබෝධය තුළිනි. එබැවින් බොහෝ දරුවන්ට තම අනාගතය සැලසුම් කිරීම සඳහා අවශ්‍ය තීරණ ගැනීමේ හැකියාව දැනටමත් ඇතැයි විශ්වාස කළ හැක්කේ ඒ නිසාවෙනි.

දරුවන්ගේ කාලය මනාව සංවිධානය කළ යුත්තේ දවසින් දවස ඔවුන්ගේ අනාගත අරමුණු කරා ඔවුන් රැගෙන යන බැවිනි. මෑත කාලය තුළ අරමුණු ළං කර ගැනීමට නම් ඉතා අඩු වයසින් රැකියා වෘත්තීය අරමුණු කරා ළඟා වීමට හැකි වෙන්නේ අද සිටම කාලය අපතේ නොයවා තම වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සැලසුම් සකස් කොට ක්‍රියාවේ යෙදවීම සඳහා යුහුසුලු වී කටයුතු කිරීමෙනි.

උසස් අධ්‍යාපනය සරසවි වරම් තුළින් ජීවිතය ගොඩනගා ගන්නට සිහින දකින දරුවන්ට…

“මට විභාගය ගැන බයක් නැහැ. කැම්පස් යන්න පුළුවන් වෙයි.” ස්ථීරවම තමාගේ ප්‍රතිඵල පිළිබඳව විශ්වාසය තහවුරු කරන දරුවන් අද සිටම සැලසුම් කොට කළ යුතු යෙදවීම තුළින් කුසලතා දියුණු කරගත යුතු කාර්යයන් කිහිපයකි.

නිදහස් අධ්‍යාපන වරමින් අධ්‍යාපනය ලැබූ බොහෝ ගම්බද ප්‍රදේශවල දරුවන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළු වන බව අප හොඳින් දන්නා කරුණකි. ප්‍රාදේශීය වශයෙන් භූගෝලීය විෂමතාවන් හා පාසල්වල පවතින භෞතික සම්පත්වල ඇති විෂමතාවන් වැනි විෂය හේතූන් මත උසස් අධ්‍යාපනය හැදෑරීමට රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පැමිණෙන බොහෝ දරුවන්ට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඇති නිපුණතාව, පරිගණක ආශ්‍රිතව ඇති කුසලතාවන්ට සාපේක්ෂව බලන කල පහළ අගයක් ගනී. විශේෂයෙන්ම මෙවැනි කුසලතාවන්ගේ ඇති අඩුපාඩු නිසාම උසස් අධ්‍යාපනය හැදෑරීමේදීත් ඉන්පසු වැඩ ලොවට පියමනිත්දීත් උපාධිධාරීන් හට මෙවැනි අඩුපාඩු මත රැකියාවක් ලබාගැනීමේ නොහැකියාව මූලික හේතුවක් බවට පත් වේ. සරසවි වරම් ලබා යථාර්ථවත් කළ පාසල් සිහිනය මෙවැනි අඩුපාඩුකම් කල්වේලා ඇතිව පසක් කොට නොගැනීම නිසා වෘත්තීය සිහිනය යථාර්ථයක් කොට ගත නොහැකිව සුසුම් හෙළන කොපමණ උපාධිධාරීහු සමාජයේ සිටිත්ද?

ඉංග්‍රීසි බස ලිඛිතව භාවිත කිරීම සඳහා අවශ්‍ය කුසලතාව දියුණු කර ගැනීමට පියවර ගැනීමෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයද සාර්ථකව නිම කිරීමට අවශ්‍ය පදනම සැකසේ. අපි මේ බොහෝ විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පීඨයන්හි හැරුණු කොට අධ්‍යාපනය ලබා දෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. ඇතැම් විට උසස් අධ්‍යාපනයට පිවිසෙන දරුවන් වුවද විභාග අසමත්වීම තම අධ්‍යාපන ප්‍රතිඵල ලබාගැනීමට පසුබට වීම මන්දගාමීවීමටද බලපානු ලබන්නේ බොහෝ විට ඉංග්‍රීසි බස නොදැනීම හෝ හැසිරවීමට ඇති අපහසුතාව නිසාවෙනි. සරසවිය තුළ වුවද විවිධ ස්ථානයන්හි  විවිධ පුද්ගලයන් සමග ගනුදෙනු කිරීමත් අනුගතවීම සඳහාත් ඉංග්‍රීසි භාෂාව දැනීම හා හැසිරවීම අද ඉතා වැදගත් සාධකයක් බවට පත්ව ඇති අතර මෙසේ භාෂාව හැසිරවීමට නොහැකිවීම කොන්වීමටද අවකාශ සැලසෙන සාධකයක් බවට පත් වන්නේත් ඒ නිසාවෙනි.

විශේෂයෙන්ම ශාස්ත්‍ර පීඨයට පිවිසීමට බලා‍පොරොත්තු වන දරුවන්ටද මෙය සැලකිල්ලට බඳුන් කරගත යුතු දෙයක් බවට පත් වන්නේ විශේෂයෙන් මෙම පීඨයන්ට ඇතුළු වන්නේ ගම්බද ප්‍රදේශවලින් පැමිණෙන බොහෝ දරුවන් වීම නිසාවෙනි. මෙසේ ගම්බද ප්‍රදේශවලින් පැමිණෙන දරුවන්ට තම අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් හැදෑරීමට අවකාශ තම පීඨය තුළ පවතී. නමුත් මෙසේ තමා පිළිබඳ ඇති අවිනිශ්චිත භාවයත් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපදවාගන්නා භීතියත් හේතුවෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් හැදෑරීමට ශාස්ත්‍ර පීඨයට ඇතුළු වන දරුවෝ බොහෝ විට නොපෙලඹෙති. මෙවැනි අවස්ථා අහිමිවීම තුළින් හා ඉංග්‍රීසි භාෂාව හැර එම භාෂා මාධ්‍ය තුළින් සරසවි අධ්‍යාපනය හමාර කරන දරුවන් හට ගෝලීයකරණ වටපිටාවක් තුළ ගනුදෙනු කිරීමේ හැකියාව අවම වේ.

එබැවින් වැඩ ලෝකයට පිවිසීමේදී අඩු ඉල්ලුමක් මෙවැනි දරුවන් හට ලැබෙන අතර රාජ්‍ය අංශයේ රැකියා ලැබෙන තුරු වසර ගණනාවක් විරැකියාවෙන් ‍පෝලිම්වල සිටීමට සිදුවන්නේත් මේ හේතුව නිසාවෙනි. ඉංග්‍රීසි මාධ්‍යය තෝරා ගනිමින් අධ්‍යාපනය හදාරන සුළුතරයක් ශාස්ත්‍ර පීඨ සිසුන් පෞද්ගලික අංශයේ හෝ රාජ්‍ය නොවන අංශයන්හි රැකියා සොයා ගනිමින් තම වෘත්තීය අරමුණු හැකි ඉක්මනින් ළඟා කර ගැනීමට කටයුතු කරන්නේ ඒ නිසාවෙනි.

එමෙන්ම පරිගණක දැනුමද සරසවියට පිවිසෙන දරුවකු තුළ තිබිම අත්‍යවශ්‍යය. එබැවින් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වන තෙක් නිකරුණේ කල්ගත නොකොට එම දැනුම කුසලතාව ලබා ගැනීමට කටයුතු කිරීම සාර්ථකත්වයට හේතුවන කරුණකි. වර්තමානයේ දී පුද්ගල සබඳතා, ලිපිගොනු සැකසීම පරිගණක ආශ්‍රිත ඉදිරිපත් කිරීම් ආදී බොහෝ කාර්යයන් අද පරිගණකය ආශ්‍රිත ක්‍රියාකාරකම් බවට පත්වී ඇත. පරිගණක ආශ්‍රිත මූලික දැනුමවත් සරසවියට පිවිසෙන දරුවකු තුළ තිබිමෙන් තවදුරටත් සරසවිය තුළ ඇති සම්පත් තුළින් දැනුම තවදුරටත් වර්ධනය කොට ගෙන තම දැනුම නව ලොවට අවශ්‍ය ආකාරයට මුවහත් කර ගැනීමට අවකාශ සැලසේ.

අද ලොවට පිවිසෙන බොහෝ තරුණයන්ට උපාධියක් හිමිවෙතත් වෘත්තීය සුදුසුකම්වල අවශ්‍යතාව පවතින බව නොරහසකි. තරගකාරී වටපිටාව තුළ මෙවැනි දැනුම ලබා ගැනීමද තරගයක්ව පවතී. එබැවින් සුදුසුකම්වලින් යුත් විශාල උගතුන් පිරිසක් වාර්ෂිකව රැකියා වෙළෙඳ‍පොළට එක්වෙති. එබැවින් දරුවන්ගේ රුචිකත්වය හා රැකියා අභිමතාර්ථය කුමක්ද යන්න සැලකිල්ලට බඳුන් කරමින් තම රැකියා ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉවහල් විය හැකි වෘත්තීය පාඨමාලාවන් තෝරා ගැනීමටත් ඒ ආශ්‍රිතව එම අධ්‍යාපනයේ නිරතවීම ආරම්භ කිරීමත් කළ හැකි නම් කාලය හරි ආකාරයට කළමනාකරණය කරමින් කාලය අපතේ නොයවා කෙටි කලක් තුළදීම වෘත්තීය මගකට යොමුවීමට අවශ්‍ය අඩිතාලම සැපයෙනු ඇත.

නැවත උසස් පෙළ කිරීමට අභිප්‍රේරණයක් නැත්නම් හෝ තෙවන වරටත් උසස් පෙළ විභාගය ලිවීමට බලා‍පොරොත්තුවක් නැත්නම් එම දරුවන් තම අනාගතය සැලසුම් කිරීමට කාලය අපතේ නොයවා කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

විශේෂයෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් ක්‍රියාත්මක වන බාහිර උපාධි පාඨමාලා පිළිබඳ තොරතුරු හෝ වෙනත් උසස් පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ තොරතුරු මගින් ලබාගත් නිගමනයන් තුළින් පියවර ගන්නේ නම් කාලය අපතේ නොයවා එය ක්‍රියාවේ යෙදවීමට වග බලා ගැනීම නුවණට හුරු ක්‍රියාවකි.

ගම්බද දුප්පත් දුෂ්කර පළාත්වල සිටින බොහෝ දරුවන්ට හරි මගපෙන්වීමක් නොමැති නිසාත් එවැනි අධ්‍යාපන ආයතන හෝ අවකාශ උදා කර ගැනීම පිණිස ආර්ථික ශක්තියක් නොමැතිවීම නිසාත් තීරණයක් ගත නොහැකි අතරමං වන බවද නොරහසකි.

“උසස් පෙළ විභාගය ඉවරයි. විශ්වවිද්‍යාලයට යන්නත් බැරි වෙයි නම් ඔන්න ඔය තියෙන වැඩක් පලක් බලාගෙන ඉන්න” යැයි මෙවැනි වටපිටාවක් තුළ දෙමාපියන්ට කියන්නට සිදුවන්නේ ඔවුන්ගේ ඇති අගහිඟකමත් හරි මාර්ගයත් තම දරුවන්ට පෙන්වා දීමට ඇති නොදැනුවත්කම නිසාය. ඇතැම් නාගරික අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් වුවත් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් කුමන ආකාරයක හෝ රැකියාවක නිරත වීම මගින් පවුල්වල දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට තම දායකත්වය ලබාදීමට කටයුතු කිරීමට පෙලඹෙන්නේ තවදුරටත් බරක් නොවන ලෙස කටයුතු කළයුතු බැවිනි.

උසස් පෙළින් පසු මෙවැනි අස්ථීර රැකියාවලට යොමු වන දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වේද? උසස් පෙළ පමණක් සමත් වීම අද වැනි ලෝකයේ ස්ථීර රැකියාවක් ලබා ගැනීමට නිදහසක් නොසපයයි. එබැවින් එම සුදුසුකමට වෘත්තීය සුදුසුකමක් එක් කර ගනිමින් වෘත්තියක් සාර්ථකත්වයට පත්වීමට අවශ්‍ය නිපුණතාව ලැබේ. මෙසේ ආර්ථික අපහසුතාවන්ගෙන් හෙබි දරුවන්ට අප මේ සාර්ථකව වෘත්තීය මගකට පාර කපා දෙන කාර්මික අධ්‍යාපනයේ පාර විවෘත කර දීම හා මගපෙන්වීම උසස් පෙළින් මංමුළාවන සුවහසක් දරුවන්ට හොඳ වෘත්තීය මගකට පිවිසීමට අවශ්‍ය තාක්ෂණික දියුණුව සපුරා ගැනීමේ අවකාශය උදාකර දෙනු ඇත.

අද අප රටේ කාර්මික අධ්‍යාපනය තාක්ෂණික අතින් දියුණු වූ ලෝකයේ ඕනෑම තැනකට ගැළපෙන ලෙස හා වැඩ ලෝකයේ ඉල්ලුම සපුරාලන වෘත්තිකයන් බිහිකිරීම සඳහාත් ව්‍යවසායකයින් බිහිකිරීම සඳහාත් කළමනාකරුවන් බිහිකිරීම සඳහාත් වූ යෝග්‍ය පාඨමාලා රැසක් තම රුචිකත්වය පරිදි තෝරාගෙන පුහුණුවීමේ අවකාශ උදාකර දී තිබේ.

එමෙන්ම ජාතික නිපුණතා මට්ටම් හතක් ඔස්සේ කළමනාකරණ හැකියාවෙන් යුත් උපාධිධාරීන් බිහිකිරීම දක්වා වූ දියුණු කාර්මික අධ්‍යාපනයක් අද ලංකාවේ ක්‍රියාත්මකය. ලංකාව පුරා විසිරී ඇති කාර්මික විද්‍යාල ජාතික ආධුනිකත්ව මණ්ඩලය, වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව ආදී ආයතන මගින් මෙසේ කාර්මික අධ්‍යාපනය දරුවන්ට ලබාදීමේ කාර්යයක නිරතය.

කාර්මික විද්‍යාල ආශ්‍රිතව ලබා දෙන වෘත්තීය පුහුණුව නොමි‍ලේ ලබාගත හැකි අතර අධ්‍යාපනය ලබන දරුවන්ට මාසික ශිෂ්‍යාධාර මුදලක් හා ආර්ථික දුෂ්කරතාවන්ගෙන් යුත් පවුල්වල දරුවන්ට සුවිශේෂවූ ශිෂ්‍යාධාර ක්‍රමයක්ද ක්‍රියාත්මක වේ.

එබැවින් ගෙදරට බරක් නොවී තම අනාගතය සුරක්ෂිත කරගැනීම පිණිසත් එතෙර මතෛර රැකියාවක් කිරීමට යෝග්‍යතාවක් සපුරා ගැනීම පිණිසත් මෙවැනි තීරණයක් තම ජීවිතය සකස් කර ගැනීම සඳහා ක්‍රියාවට යොමු කිරීමට අවශ්‍ය මගපෙන්වීම ලබාදීමත් මගින් රටට වැඩදායී කාර්යක්ෂම තරුණයින්ගේ දායකත්වය ඵලදායීව ලබාගත හැකි වන බවද තවදුරටත් පෙන්වා දිය හැකිය.

චතුරංගනී තෙන්නකෝන්,
වෘත්තීය උපදේශිකා,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය