අගනුවර ඉපිද කොළඹ රාජකීය විද්‍යලයයෙන් අධ්‍යාපනය ලැබූ මාලින්ද සෙනෙවිරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයයෙන් ඉගෙනුම ලබා සමාජ විද්‍යා විශේෂ උපාධිය අවසන් කරන්නේ අමෙරිකාවේ හාවඞ් විශ්වවිද්‍යාලයෙනි.

මාර්ග ආයතනයේ පර්යේෂණ නිලධාරී,  පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ඉංග‍්‍රීසි ආචාර්ය, ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීම් ආයතනයේ ප‍්‍රකාශන සංස්කාරක වැනි කෙටිකාලීන රැුකියා කීපයක් කළ මාලින්ද 2000 වසරේදී පුවත්පත් කලාවට පිවිසෙමින් මාධ්‍යවේදියකු ලෙස සන්ඬේ අයිලන්ඞ් පුවත්පතට සම්බන්ධ විය.

අනතුරුව ෆීනික්ස් දැන්වීම් ප‍්‍රචාරක ආයතනයේත්, ද නේෂන් නියෝජ්‍ය කර්තෘ, සාම මහලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය ඒකකයේ උපදේශක අධ්‍යක්ෂ වැනි රැුකියා රැුසක් විටින් විට කර ද නේෂන් පුවත්පතේ කර්තෘ තනතුරටද පත්විය.

ඉංග‍්‍රීසි, සිංහල බසින් ලිවීමේ දක්ෂ හැකියාවක් උරුම මාලින්ද සෙනෙවිරත්න මහතා ඉංග‍්‍රීසි ලේඛකයකු  වේ. ඔහු ඉංග‍්‍රීසි බසින් කෘතී ගණනාවක් ලියා පළ කර ඇති අතර 2013 වසරේ පළවූ කාව්‍ය කෘතියට ගේ‍්‍රෂන් සම්මානය හිමි වුණේය. එමෙන්ම 2011 වසරේ හොඳම පර්වර්තන කෘතියට හිමි  එච්.ඒ.අයි. ගුණතිලක සම්මානයද ප‍්‍රවීණ මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්නට හිමිවූ අතර ඔහු 2020 වසරේ ජනාධිපති අපේක්ෂකයෙක් ද වෙයි.

 උප්පැන්න සහතිකයෙන් ඔබට ලැබුණ නම?
මාලින්ද චන්න පීරිස් සෙනෙවිරත්න. උප්පැන්නෙට නැති මාලවල නිශ්ශංග රාළහාමිලාගේ කියලා කොටසකුත් පරම්පරා නමේ තියෙනවා.

 අද ඔබව කවුරුත් හඳුනන්නේ ?
මාලින්ද සෙනෙවිරත්න

 උපන් ගම් පළාත?
කොළඹ.

 උපන් දිනය කවදද?
1965 සැප්තැම්බර් 23.

 පවුලේ කී වැනියා විදිහට ද උපන්නේ ?
දෙවැනියා. මට ඉන්නේ අර්ජුන අයියයි, රුවනි නංගියි.

 අම්මා තාත්තා කවුද කියමුද ?
අම්මා ඉන්ද්‍රානි සෙනෙවිරත්න, අප්පච්චි ගාමිණී සෙනෙවිරත්න. අද අම්මා ජීවතුන් අතර නෑ.

 ඒ කාලේ ඔවුන්ගේ වෘත්තිය වුණේ ?
අම්මා ඉංග‍්‍රීසි සාහිත්‍ය ගුරුවරියක්. අප්පච්චි පරිපාලන සේවයේ හිටියේ. අප්පච්චි විශ‍්‍රාම ගත්තේ පොල් සංවර්ධන අධිකාරියේ සභාපති හැටියට.

 කොහොමද ළමා කාලෙ මතකය ?
මගෙ මුල්ම මතක තියෙන්නේ පේරාදෙණියේ. මට අවුරුදු තුනේ හතරෙ කාලේ අපෙ අම්මා පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවට ඉගෙන ගත්තා. එතකොට සිරි ගුණසිංහ මහත්තයා සප්ත වාර්ෂික නිවාඩුවට විදෙස් ගතවෙලා හිටපු හින්දා අපි හිටියේ සිරි ගුණසිංහ මහත්තයාගේ ගෙදර.

 ඊට පස්සෙ ?
හැම ඉස්කෝලෙ නිවාඩුවකටම අපි කුරුණෑගල අත්තම්මලගේ ගෙදර යනවා. මුළු නිවාඩු කාලෙම එහේ. අත්තම්මා තමයි අපිව බලාගන්නේ. මගෙ පොඩිකාලෙ ජීවිතේ වැඩිපුරම ආදරේ කරපු චරිතය අත්තම්මා. එයාගෙ විශේෂ මෘදු ගති ලක්ෂණවලට මං ගොඩක් ආදරේ කළා.

 ඔහොම කාලෙ ගෙවෙද්දි ?
ඉස්කෝලෙ යන කාලෙ වෙනකොට අපි රාජකීය විද්‍යාලය ළඟ එක කාමරයක් තියෙන චූටිම ගෙදරක හිටියේ. අපේ තාත්තා රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වුණාට අම්මට සැක හිතිලා තියෙනවා අපිව රෝයල් එකට දාගන්න පුළුවන් වෙයිද කියල. අම්මා මහන්සිවෙලා  සල්ලි එකතුකරලා රෝයල් එක ළඟින් චූටි ගෙයක් අරන් තියෙන්නෙ ඒකයි. ඒ කාලෙ ගොඩක් පොතුත් කියෙව්වා.

 කියවන්න පොත් ලැබුණේ ?
අපේ ගෙදරත් පොත් තිබුණා. ඊට අමතරව සෝවියට් සංගමයෙ පොත් ප‍්‍රදර්ශනවලින් අම්මා රුසියානු ළමාකතා ගෙනත් දෙනවා. පොඩි කාලේ ඉඳන් වැඩිපුර කියෙව්වෙ ඉංග‍්‍රීසි සාහිත්‍යය.

 ඔබ ඉගෙනගත්තෙ ?
ජොයිස් ගුණසේකර මොන්ටිසෝරියට ගියේ. මොන්ටිසෝරියේ මට ඉගැන්නුවේ රංජනී මඩුගල්ල ගුරුතුමිය. මම කොළඹ රාජකීය විද්‍යාලයට යන්නේ 1971 දී.

 කොහොමද ඉතින් ඉස්කෝලෙ කාලෙ ?
ඉගෙනගන්න එක මට ලොකුවට දැනුණෙ නෑ. මං ඉස්කෝලෙ ගියෙ සෙල්ලම් කරන්න. පන්ති කාමරෙන් පරිබාහිරව පුදුම ලස්සන ලෝකයක් මං දැක්කා. අයියා වැඩිමලා නිසා එයාගේ අධ්‍යාපනය ගැන අම්මා උනන්දු වුණත් මගේ අධ්‍යාපනයට එච්චර උනන්දු වුණේ නෑ.

 ඒ කියන්නෙ ඉගෙනගන්න දක්ෂ වුණේ නෑ ?
පන්තියේ පැවරුම් තියෙන දවස් මට කරුම. හොඳම ශිෂ්‍යයා කියන අහලකවත් මං හිටියේ නෑ. හැබැයි විභාගවලින් ලකුණු තිබ්බා. ගණන්වලට නම් හැමවිටම ලකුණු 100ක් විතර ගත්තා. ඒත් පහේ පන්තියේදි ඉඳලා දිගටම තුන්වැනි වාරෙදි ලෙඩ වෙන්න ගත්තා.

 ඒ කිව්වේ ?
හෙපටයිසිස් හැදුණා. කකුල කැඩුණා. ඔළුව පැළුණා වගේ හැම අවුරුද්දෙම අකරතැබ්බයක්. ඒ නිසා එච්චර හො`ද ලකුණු ගත්ත ගණිතය මට තේරෙන්නෙම නැති විෂයක් බවට පත්වුණා. ඒත් 8 පන්තියේදි උපාලි මුණසිංහ සර් මට ගණිතය ආයෙමත් ආසකරන විෂයක් කළා. මම ටිකක් හරි හොඳ ශිෂ්‍යයෙක් බවට පත්වුණේ 10 පන්තියේදි.

 කොහොමද ඒ ?
මගේ ඉගෙනීමේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ හරින්ද්‍රානි වීරසූරිය ගුරුතුමිය. ඇය 10 පන්තියේදි මට බුද්ධාගම ඉගැන්නුවේ. ධම්මපදය ගාථා 10ක් ලස්සනට ඉගැන්නුවා. මමත් ආසාවෙන් ඉගෙන ගත්තා. ඒ තුළින්  මං ඉගෙනීමේ සුන්දරත්වයක් දැක්කා. අනිත් විෂය දිහාත් ඒ ඇහෙන් බැලූවා. 10 අවසන් වාර විභාගෙට හැම විෂයකටම මට ලකුණු 75න් ඉහළ තිබුණා.

 විෂය බාහිර වැඩත් කළා ?
අවුරුදු 9 ඉඳලා චෙස් ක‍්‍රීඩාව කළා. කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ චෙස් කණ්ඩායම් නියෝජනය කළා. ජ්‍යෙෂ්ඨ චෙස් කණ්ඩායමේ නායකයා වෙලා 1983 දී සමස්ත ලංකා තරගාවලිය ජයගත්තා.

 ඊට පස්සෙ ?
එක දිගට අවුරුදු හයක් හතක් රාජකීය විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ චෙස් කණ්ඩායම සමස්ත ලංකා ජයගත්තා. මම ඒ කාලෙ කනිෂ්ඨ චෙස් කණ්ඩායමේ පුහුණුකරු හැටියට හිටියා 1988 විතර වෙනකල්. 1986 වෙද්දී ශ‍්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායමට සම්බන්ධ වුණා. අද මම රාජකීය විද්‍යාලේ වයස 11න් පහළ දරුවන්ට චෙස් ක‍්‍රීඩාව නොමිලේ උගන්නනවා. ඒ වගේම මම මේ වෙනකොට පදිංචි  කොට්ටාව කුඩමාදුව ගමේ  කුඩා දරුවන්ටත් නොමිලේ චෙස් ක‍්‍රීඩාව උගන්නනවා.

 ඔබ චෙස් විතරයි කළේ ?
ක‍්‍රිකට් සෙල්ලම් කළා. මම දක්ෂ ක‍්‍රීඩකයෙක් නෙවෙයි. මම හොඳ ක‍්‍රීඩා ලෝලියෙක්. පාසලේ ක‍්‍රිකට්, රගර්, බොක්සින් ක‍්‍රීඩා තරග බලන්න ආසාවෙන් ගියා. ඊට අමතරව බාලදක්ෂ කණ්ඩායමේත් හිටියා. මම සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්තත් ඔය කාලේ වෙන කොට ඉංග‍්‍රීසි සාහිත්‍ය ගැනත් හොඳ හැකියාවක් තිබුණා

 ඒ කිව්වේ ?
ඉස්කෝලෙදි ඉංග‍්‍රීසි සාහිත්‍යයට ලැබෙන සියලූම ප‍්‍රධාන තෑගි මට ලැබුණා. ඊට අවුරුදු 24 කට කලින් මේ තෑගි සියල්ල අපේ අප්පච්චිටත් ලැබුණා.

 සිංහලෙන් ඉගෙනගෙන ඔය තරමට ඉංග‍්‍රීසිවලට දක්ෂ වුණේ ?
අපේ අම්මා ඉගැන්නුවේ ඉංග‍්‍රීසි සාහිත්‍යය. අම්මයි අප්පච්චියි දෙන්නම පේරාදෙණිය විශ්වවිද්‍යාලෙන් විශේෂ උපාධි ලබාගත්තෙත් ඉංග‍්‍රීසි සාහිත්‍යයෙන්. අපේ අප්පච්චි ඉංග‍්‍රීසි කවි ලියන කෙනෙක්.

 ඉතින් එහෙම වෙනකොට ?
අපේ ගෙදර අපි හැදුණේ ද්වීභාෂිකව. ගෙදර වැඩියෙන් තිබුණෙ ඉංග‍්‍රීසි සාහිත්‍ය පොත්. අපි වැඩිපුර ඇසුරු කළේ ඉංග‍්‍රීසි සාහිත්‍යය. මගෙ නංගිත් ඒ ඇසුරින් ඉංග‍්‍රීසි නවකතා ලියන්න ගත්තා. වසර කීපයකට කලින් ඇයට ලැබුණා  අමෙරිකාවේ  හොඳම  නවකතාකාරිනියට ලැබෙන කෆ්කා සම්මානයත්.

 අම්මාගෙන් හොඳට ඉංග‍්‍රීසි සාහිත්‍යය  ඉගෙන ගන්න ඇති?
අම්මා අපට විශේෂයෙන් ඉගැන්නුවේ නෑ.    ඉංග‍්‍රීසි භාෂා භාවිතය නිවැරදිව කරන්න කියලා අම්මා අපිව ලක්ෂ්මි ජෙගනාදන් කියලා ගුරුතුමියකට යොමුකළා. ඇය මගෙ ජීවිතේ ගොඩාක් බබළවපු කෙනෙක්. මගෙ ජීවිතේ සාහිත්‍ය සහ භාෂාවේදි ඇගෙන් ලැබූ දේ බොහොමයි කියලා අද මට තේරෙනවා.

 ඉතින් ඔහොම කාලෙ ගෙවෙද්දි ?
ඒ කාලේ අම්මා අපිව  පියානෝ සහ වයලින් වාදනය ඉගෙන ගන්නත් දැම්මා. මිසිස් නයිල්ස්ගෙන් පියානෝ වාදනයත් අයිලින් ප‍්‍රින්ස්ගෙන් වයලින් වාදනයත් ඉගෙන ගත්තා. අවුරුදු 15ක් විතර වෙනකල් සංගීතය ඉගෙනගත්තා.

 ඔබ උසස් පෙළ කරන්නේ ?  
මගේ කැමැත්තෙන්මයි ගණිත අංශය තෝරගත්තේ. ඒත් පළවෙනි අවුරුද්ද ඉවරවෙනකොට මට හිතුණා  මේවට වැඩිය මම ආස කලා විෂයයන්ට කියලා. විෂයන් මාරුකරන්න  ඕන කියලා අම්මට කිව්වත් අම්මා කිව්වෙ එකපාරක් විභාගෙ කරලා ඉන්න කියලයි.

 ඊට පස්සෙ ?
විභාගෙ කළා. සී දෙකකුයි එස් දෙකකුයි තිබුණා. විශ්වවිද්‍යාලෙට තේරෙන්නත් තිබ්බා ඉල්ලූම් කළා නම්. මම ඉල්ලූවේ නෑ. මම දෙවැනි වතාවෙ කලා අංශෙන් උසස් පෙළ කරලා විභාගෙ පාස් වෙලා 1985 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලෙට තේරුණා.

 කොහොමද විශ්වවිද්‍යාල ජීවිතේ ?
මම සමාජ විද්‍යා විශේෂවේදී උපාධිය හැදෑරුවේ. පළමු වසර අවසානේ විභාගෙන් මට තිබ්බ හොඳ ප‍්‍රතිඵලවලට මාස තුනකට අමෙරිකාවේ කාල්ටන් විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒ මාස තුන එහෙ ඉගෙනගෙන ආයෙත් පේරාදෙණිය විශ්වවිද්‍යාලෙට ආවා.

 ඊට පස්සේ ?
87 ජූලි මාසෙන් පස්සේ විශ්වවිද්‍යාල වැහෙන්න ඇරෙන්න පටන් ගන්නවා. ඒ කාලේ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව තක්කඩි විදිහට රට පාලනය කරමින් හිටියේ. විශ්වවිිද්‍යාල ඇතුලේ ජේවීපී දේශපාලනයත් හිස එසෙව්වා

 එතකොට ඔබේ දේශපාලනය වුණේ ?
මම සමසමාජ පක්ෂෙට සම්බන්ධ වුණේ. අපේ ගෙදර තිබුණ මාක්ස්වාදී පොතපත මං කියවා තිබුණා. අප්පච්චි එක්ක මං  ගොඩක් දේශපාලනික දේ සාකච්ඡුා කළා.

මාක්ස්වාදයේ සමහර දේවල්, අප්පච්චිගෙන් තරම් පැහැදිලිව කාගෙන්වත් ඉගෙනනගෙන නෑ.  ඒ  නිසා ජේවීපී එක මාක්ස්වාදී පක්ෂයක් හැටියට මං දැක්කෙ නෑ. හැබැයි ශිෂ්‍යයින්ගේ බොහෝ  උද්ඝෝෂණවලට මම  සම්බන්ධ වුණා. ඒ උද්ඝෝෂණ කරපු බොහෝ අවස්ථාවල කාරණා පිළිබඳව මට එකඟතාවයක් තිබ්බ නිසා.

 ඔහොම කාලය ගෙවෙද්දි ?
1988 වෙනකොට මුළු රටම අරාජික තත්ත්වයකට පත්වෙනවා. මගෙ අම්මා, අප්පච්චි, නංගි අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක ශිෂ්‍යත්වයක් ගන්න මාව උනන්දු කළා.    හාවඞ් විශ්වවිද්‍යාලෙන් සම්පූර්ණ ශිෂ්‍යත්වයක් හම්බවෙනවා. 1988 දෙසැම්බර් මාසෙ මම හාවඞ් විශ්වවිද්‍යාලයට යනවා. මගේ සමාජ විද්‍යා විශේෂ උපාධිය අවුරුදු දෙකහමාරෙන් අවසන් කළා.

 ඒ වෙනකොටවත් ජීවිතේ අරමුණක් ඇතිවෙලා තිබ්බද ?
මට වුවමනාව තිබ්බෙ ආචාර්ය උපාධිය කරලා විශ්වවිද්‍යාලයක උගන්නන්න. 1991 ඉඳලා මං විවිධ විදෙස් විශ්ව  විද්‍යාලවල ආචාර්ය උපාධීන්ට ඉල්ලූම් කළා. හැම අවුරුද්දෙම මාව තෝරගත්තට ඒ එකකටවත්  ශිෂ්‍යාධාර හම්බවුණේ නෑ. ඒ හින්දා මම ගියෙත් නෑ.

 ඊට පස්සේ මොකද කළේ ?
1994 පොඩි ශිෂ්‍යත්වයක් හම්බවෙනවා  ශාස්ත‍්‍රවේදී උපාධියක් සඳහා. දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට. එතන අවුරුද්දයි හිටියේ. කලින් ඉල්ලූම් කළ ශිෂ්‍යත්වයක් ලැබිලා නිව්යෝර්ක් හි කෝර්නෙල් විශ්වවිද්‍යාලයට ගියා.

 කොහොමද මේ කාලේ ?
2000 වසර වෙනකල් එහෙ හිටියා. ඒ කාලෙ  ප‍්‍රගතිශීලී දේශපාලන පත්තරයක් කළා මගේ අදහස්වලට සමාන අදහස් තියෙන පිරිසක් සමග. සමාජ විද්‍යාවෙන් ආචාර්ය උපාධිය සඳහා තිබ්බ සියලූම පාඨමාලා මං අවසන් කළා. මම මගේ ආචාර්ය උපාධිය අවසන් කරන්න පර්යේෂණ නිබන්ධය කළේ  නෑ.

 ඇයි ඇත්තටම එහෙම වුණේ ?
ඒ වෙනකොට සමාජවිද්‍යාව පිළිබඳ මුලින් තිබුණු උනන්දුව මට ක්ෂය වෙලා තිබුණේ. ඒ වෙනකොට මම කැමැතිම විෂය ධාරාව වෙලා තිබුණෙ සාහිත්‍යය සහ දර්ශනය.

 ඊට පස්සෙ ඔබ මොකද කළේ ?
තේරුමක් නැති වැඩක් මං කරන්නෙ කියලා ලංකාවට ආවා. ඒ ආවාම මණික් ද සිල්වා මහත්මයා මට ආරාධනා කළා සන්ඬේ අයිලන්ඞ් පත්තරේ දෙවැනියා හැටියට වැඩ කරන්න පුහුණු වෙන්න කියලා.

 ඒ ඔබේ පළමු රැුකියාව ?
ඊට කලින් වරින්වර රැුකියා කීපයක් කළා. 1987 දී මාර්ග ආයතනයේ පර්යේෂණ නිලධාරියෙක්, 1992 පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ඉංග‍්‍රීසි ගුරුවරයෙක්, 93-94 කාලයේ ගොවි කටයුතු පර්යේෂණ  හා පුහුණු කිරීම් ආයතනයේ ප‍්‍රකාශන සංස්කාරක හැටියට වැඩ කරලා තියෙනවා. 2004 දී අයිලන්ඞ් පත්තරෙන් මම අයින් වුණා,

 ඊට පස්සෙ මොකද කළේ ?
2004 දී ෆීනික්ස් ආයතනයට සම්බන්ධ වෙනවා. එදා ඉඳලා අද දක්වා විටින් විට අර්ධකාලීනව රස්සා නැති කාලවල ෆීනික්ස් ආයතනයේ පිහිට තිබුණා. අර්වින් වීරක්කොඩි මහත්තයාට මං ගොඩක් ණයගැතියි රස්සාවක් නැතිකාලෙට මට අනාත වෙන්න නොදී මාව බලාගත්තා.

 ඔහොම කාලෙ ගෙවෙද්දි ?
2006 රිවිර ආයතනයට බැඳෙනවා. නේෂන් පත්තරේ නියෝජ්‍ය කර්තෘ හැටියට. 2007  එතැනින් අයින් වුණා ඊට පස්සේ සාම මහලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් හැටියට මාස තුනක් වැඩ කළා.

 ඒ ඉවත්වෙලා මොකද කළේ ?
ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය ඒකකයේ උපදේශක අධ්‍යක්ෂවරයෙක් හැටියට වසරක් වැඩ කළා. එතැනින් අයින් වෙලා මම තීරණය කළා ආයතන සහ මට එකට යන්න බෑ කියලා.

 එහෙම තීරණය කරලා ?
නිදහස් මාධ්‍යවේදියෙක් හැටියට පුවත්පත් 6 කට සතියට ලිපි 11 ක් ලියමින් අමාරුවෙන් පොඩි ආදායමක් උපයාගත්තා. ඒ ඉන්න අතරේ ගයිරික පේරුසිංහ මහත්තයාගේ ආරාධනයකට අනුව 2011 දී නේෂන් පත්තරේ කර්තෘ වෙනවා. නේෂන් කර්තෘ කාලේ තමයි මගේ වෘත්තීය ජීවිතේ සුන්දරම කාලෙ වුණෙත්, වේදනාබරම කාලය වුණෙත්.

 එහෙම කියන්නේ ?
මගේ පත්තරේ, මගේ සලකුණ, මගේ හැඩය, මගේ අභිමතයට අනුව නිර්මාණය  කරන්න පුළුවන් වුණා. ඒ කාලේ දුක හිතෙන දේවල් ටිකකුත් වුණා. රුක්ෂාන් අබේවංශ, රවීන්ද්‍ර ධර්මතිලක තරුණ ඡුායාරූප ශිල්පීන් දෙදෙනාත් දයාවංශ විතානච්චිත් අපිට අහිමි වුණා.
 මේ වෙනකොට ඒ කාලේ ඔබ දැරූ දේශපාලන මතිමතාන්තර වෙනස්වෙලා ?
1990 ඉඳන් චම්පික රණවක, අතුරලියේ රතන හාමුදුරුවෝ සමග දේශපාලන ගමනක් තිබ්බා. ඒ අතරෙ නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර වැනි මහත්තුරුන්ගේ අදහස් ගැන උනන්දු වුණා. රටවැසි පෙරමුණ, ජනතා මිතුරෝ,  ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය සහ 2000 වසරේදී සිහළ උරුමයට සම්බන්ධ වෙනවා.

 දිගු දේශපාලන ගමනක්?
2000 වසරේදි යාපනෙන් ඡුන්දෙ ඉල්ලූවා. 2000න් පස්සෙ කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වුණේ නෑ. ඒ මාධ්‍යවේදියෙක් වුණ නිසා. ඒත් ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයට දිගටම සම්බන්ධ වුණා. 2007-2008 ඉතාම ක‍්‍රියාකාරීව කටයුතුත් කළා.

 මාධ්‍යවේදියකුට අමතරව ඔබ ලේඛකයෙක් ?
2000 සිට 2014 දක්වා එල්ටීටීඊ ත‍්‍රස්තවාදය හා බෙදුම්වාදයට එරෙහිව පොත් 14ක් විතර මම ඉංග‍්‍රීසි බසින් ලියලා තියෙනවා. ඒ පොත් ලිව්වෙ මතයක් ප‍්‍රකාශ කරන්න මිසක් සල්ලි හම්බ කරන්නවත් මගෙ නම සන්නාමයක් කරගන්නවත් නොවන හින්දා ඒ පොත් දෙකකට ඇරෙන්න අනිත් එක පොතකවත් මගේ නම නෑ.

 එතකොට ඔබේ කවි පොත් ?
මම කවිපොත් හතක් ලියා පළ කර තියෙනවා. ඒ පොත් 2007 සිට 2013 දක්වා වසර හයක කාලයක් ගේ‍්‍රෂන් සම්මානය සඳහා ඉදිරිපත් කළා. එයින් පස්වතාවක් ගේ‍්‍රෂන් සම්මානයේ අවසන් වටයට නිර්දේශ වුණා. 2013 දී මගේ කවි පොතට ගේ‍්‍රෂන් සම්මානය හිමිවුණා. ඒ වගේම 2011 දී හොඳම පරිවර්තනය සඳහා එච්.ඒ.අයි. ගුණතිලක සම්මානය සංසාර ආරණ්‍යයේ දඩයක්කාරයා පොතේ පරිවර්තනයට ලැබුණා.

 ඔබ කවි ලියන්න පටන්ගන්නෙ ?
අප්පච්චි දවසක් පියානෝ එකෙන් එහෙන් මෙහෙන් තනුවක් ගහලා ඒකට තනුවක් ලියන්න කිව්වා. මම කවියක් ලිව්වා. ඊට පස්සෙ දිගට හරහට මම කවි ලියන්න ගත්තා. උසස් පෙළ කරන කාලෙදි ගොඩක් කවි කියවන්නත් අධ්‍යයනය කරන්නත් ඉගෙනගත්තා.

 ඊට පස්සෙ ?
මට දැනෙන දේ කියන්නත්, මට මාව අවබෝධකරගන්නත් හොඳම ප‍්‍රවේශය කවිය කියලා මට වැටහුණා. එහෙම තමයි මං කවි ලියන්න පටන් ගත්තේ. මා පරිවර්තනය කළ  සංසාර ආරණ්‍යයේ දඩයක්කාරයා පොතත් ප‍්‍රබුද්ධ පොතත් කොහොමහරි එළිදක්වනවා කියලා බලාපොරොත්තුවක් තියෙනවා.

 තවත් බලාපොරොත්තු ඇති ?
2020  ජනාධිපති මමයි. 2020 මම ජනාධිපතිවරණයට ඉල්ලනවා. මම,  නාගානන්ද කොඩිතුවක්කු වැනි අපි වගේ අය ජනාධිපතිවරණයට නොඉල්ලීමේ පලවිපාක තමයි අපි මේ දැන් අත්විඳින්නේ.

 ඔබට ජනාධිපති වෙන්න  ඕන කියලා හිතෙන්නේ ?
මේ රටේ දේශපාලකයා කියන පුද්ගලයා මිනිස්සුන්ට දැන් තිත්ත වෙලා. දේශපාලනය තිත්ත වෙලා. ඒ වෙනුවට මනුස්සයෙක් සහ මනුස්සකම සඳහා දැවැන්ත ඉල්ලූමක් නිර්මාණය වෙලා තියෙනවා. ප‍්‍රධාන පක්ෂ සහ සන්ධානය  ගැන මිනිස්සුන්ට කිසිම විශ්වාසයක් නැති මොහොතක තිරසර හෙටක් නිකසළ රටක්, නිකසළ ජනතාවක් අපි නිර්මාණය කළ යුතුයි. මේ නිකසළ  කියන වචනෙ  මම ගත්තෙ අපේ නයනක රන්වැල්ලගෙන්.

 ඔබට ඒ ගැන විශ්වාසයක් තියෙනවා ?
තිරසර හෙටක්, නිකසළ රටක්, අපේ දරුවන් ආරක්ෂාවෙන වටපිටාවක් සහිත රටක් නිර්මාණය කරන්නට නම් අපිට නිකසළ ජනතාවක් අවශ්‍යමයි. ඒ නිකසළ  ජනතාව නිර්මාණය කළ යුතුයි. ඒ නිර්මාණ කිරීම පටන් ගන්න  ඕන මගෙන්. එතැනදී අපට වෙනම දේශපාලන ගමනක් තිබිය යුතුයි. දැක්මක් තිබිය යුතුයි. ඒ දැක්ම ප‍්‍රකාශනයට පත් කළ යුතුයි. මම එයින් එක ප‍්‍රකාශකයකු පමණයි. අපට එවන් ප‍්‍රකාශකයන් දහදාහක් අවශ්‍යයි.

 ඔබ විවාහ වෙන්නේ ?
1994 දී මම මුලින්ම විවාහ වෙනවා. ඒක කෙටිකාලීන අසාර්ථක විවාහයක්. ඉන් පස්සෙ මම විවාහ වෙන්නෙ 1998 දී. ඒ සාමදානි කිරිවන්දෙණිය සමග. එතකොට ඇය පශ්චාත් උපාධිය හදාරන ශිෂ්‍යාවක්. අද ඇය සණස සංවර්ධන බැංකුවේ සභාපතිනියයි.

 ¥ දරුවෝ ?
දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව මිත්සඳී සවින්‍යා. පොඩිදුව දයාදි සුචර්යා. දෙන්නම ඉගෙනගන්නෙ කොළඹ කාන්තා විද්‍යාලෙ. ලොකු දුව සාමාන්‍ය පෙළ පන්තියෙත් පොඩි දුව 9 වසරෙත් ඉගෙන ගන්නවා.

 ගෙවීගිය කාලෙ ගැන මොකද හිතෙන්නෙ ?
බුද්ධ දේශනාවට අනුව අටලෝ දහමට අදාළ උච්ඡුාවචනයන් අත්වින්දා. ඒ පිළිබඳව උපේක්ෂා සහගතව සිටීමට එදත් අදත් උත්සාහ කරනවා.

 ඔබට ලියනවා නම් කතාකරනවා නම් ?
malindasenevi@gmail.com ඊමේල් ලිපිනයටත්, www.malindawords.blogspot.com සහ www.malindapoetry.blogspot.com බ්ලොග් අඩවිවලට ලියන්නත් 0777807556 දුරකථන අංකයට කතාකරන්නත් පුළුවන්.

බියංකා නානායක්කාර
ඡුායාරූපය : චතුර එස්. කොඩිකාර

Untitled-10 Untitled-9 Untitled-8 Untitled-7 Untitled-6

SHARE

5 COMMENTS

  1. ඔබ පිබඳ ලිපිය කියවීමි..ඔබ ජනපති තරඟයට එනවනම්..එය අප රටේ වාසනාවකි..නුගත්,කට්ට කයිරාටික ,සාම අතින්ම අපත චරිත දේශපාලනය බදාගෙන සිටිනවා පමණක් නොව,උන්ගේ බලය තහවරු කරගැනීමට නොකරන වලත්ත කමක් නැත.ලොකුම ඛේදවාචකය නම් ,මුන්ට චන්දය දෙන මිනිසුන් රැලක් මුන් විසින් නිර්මාණය කර තිබීමයි.මෙම නිර්මාණය සුනු විසුනු කල හැක්කේ ඔබ වැනි ජාතියේ සම්පත් වැනි උගතුන්ටය…ඔබට මගේ හදපිරි සුබ පැතුම්.

  2. Well I wish you good luck. I your policy and how you are going to to do the most important changes are briefly explained our support can be given. Mind you we need new heads.

  3. මා වටහාගෙන ඇති පරිදි මාලින්දගෙ හැකියාවන් වගේම වටිනාකම් හුඟක් තිබෙනවා.
    ඔහු ලේඛකයෙක්, හොඳ පත්ර කලාවේදියෙක්, කතා රචකයෙක්, කවියෙක්, මෙන්ම
    පැහැදිළි මනසක් ඇති බුද්ධිමතෙක්. එසේම ඔහු රට, දැය, සමය ගැන නිබඳව සිතන
    අවංක දේශප්රේමියෙක්. අද ලංකාවේ දේශපාලනයට බැහැලා ඉන්න බොහෝ දෙනෙක් ළඟ
    ඉහතින් සඳහන් කළ වටිනාකම් බින්දුවක්වත් නැහැ.
    ඉතින් ලංකාවට වගතුවක් වෙන්නෙ කොහොමද?
    මාලින්ද වගේ කෙනෙක් රටක නායකයෙක් වුනොත් ඇත්තටම ඒ රටට සෙතක්ම වේවි.

    දයා ආනන්ද රණසිංහ
    එක්සත් රාජධානිය

LEAVE A REPLY

Previous articleහැම ගුප්ත දේටම වඩා ගුප්ත දේ පිරුණු බටහිර විද්‍යාව
Next articleමරණාසන්නව පාරේ වැටී සිටි බලුපැටියෙකුට ජීවිතය දුන් මානුෂීය මෙහෙයුම