ලාංකීය දේශපාලන සන්දර්භය තුළ විවිධ කාලවල විවිධ දේ අසන්නට ලැබේ. වර්තමානයේ දේශපාලන ‍පොරපිටිය රත් වී ඇත්තේ බැඳුම්කර වංචාකාර සිදුවීම් දාමය හේතුවෙනි. එහි අලුත්ම ප්‍රවෘත්තිය රවි කරුණානායක අමාත්‍යවරයා තමා දැරූ අමාත්‍ය ධුරය අතහැර පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් ගැනීමය.

ලෝකයේ මෙවැනි දේ ඕනෑවටත් වඩා තිබේ. විශේෂයෙන්ම අපට ආසන්න රට වන ඉන්දියාවේද මෙවැනි තත්ත්ව දැකගත හැක. තම වරදකට හෝ අතපසුවීමකට දරන තනතුරු හා වගකීම් අතහැරීම යහපත් දෙයකි. ඒ අර්ථයෙන් සිතන විට මෙය ප්‍රශස්ත කරුණක් බව අවිවාදිතව පිළිගත යුතුය. මෙහි ඇතුළත වෙනත් සැඟවුණු අර්ථයක් තිබිමට ඉඩ ඇත. ඒ පිළිබඳව අපට වැටහීමක් නැතිවාද නොවේ. එහෙත් චෝදනාවක් එල්ල වූ සැණින්  දේශපාලකයාට ඉල්ලා අස්වන තරමේ සමාජ සන්දර්භයක් රට තුළ නිර්මාණය වීම දියුණු තත්ත්වයකි. පළමු වටයේ අප ජයගත යුත්තේ මේ තත්ත්වය බව තේරුම් ගත යුතුය. එය සැබැවින්ම ජයග්‍රහණයකි. එහෙත් එය විජයග්‍රහණයක් නොවේ. මේ ගමනේ කූට ප්‍රාප්තිය වන්නේ ජනතා දේ‍පොළ මංකොල්ලකෑ බව නිසි ලෙස ඔප්පු වන අයට එරෙහිව නිවැරදි ලෙස නීතිය ක්‍රියාත්මක කරන පසුබිමක් ඇතිකර ගැනීමය. එලෙසම මංකොල්ලකෑ සෑම සතයක්ම රටට අය කර ගන්නා ක්‍රමවේදයක් සැකසෙන දිනකය. එහෙත් පසුගිය කාලයේ මෙවැනි චෝදනා එල්ල වූ පුද්ගලයන් පවා නිහඬව සිටි බව රහසක් නොවේ. එවකට සිටි නායකයන්ද රූකඩ ලෙස බලා සිටියා මිස ඉන් එහා යමක් සිදුකිරීමට ගියේ නැත. සමාජය තුළ විසල් සක්‍රිය කතිකාවක්ද නොතිබිණි.

මල්වාන ප්‍රදේශයේ ඉදිකළ විසල් මන්දිරයට අදටත් අයිතිකාරයෙක් නැත. එපමණක්ද නොව තම ආදායම හා සමාන නොවන කෝටි ප්‍රකෝටි ගාණක මුදල් හා දේ‍පොළ හිමි උදවිය මේ සෑම පක්ෂයකම පාහේ සිටිති. විශේෂයෙන්ම පසුගිය රජය සමයේ එවැනි චෝදනා එල්ල වූ පිරිස දුසිම් දෙක තුනකි.

මූල්‍ය අක්‍රමිකතා චෝදනා පමණක් නොව මිනීමැරීම් හා වෙනත් අපරාධ රැසක් පිළිබඳව එකල කරළියේ සාකච්ඡා විය. ඊට පෙර රජයන්වලටද මීට අඩු වැඩි වශයෙන් චෝදනා එල්ල විය.

මේ අතර සුපතළ සිද්ධි ද ගණනාවකි. මර්වින් සිල්වා නම් හිටපු අමාත්‍යවරයා මහා දවා‍ලේ ජාතික රූපවාහිනියට කඩා වැදී යකා නැටූ ආකාරය අපට තවමත් අමතක නැත. එලෙසම ඔහු රාජ්‍ය සේවකයකු ප්‍රසිද්ධියේම ගස් බැන්දේය. එහෙත් ඒවාට අදාළව නීතිය ක්‍රියාත්මක වීමක් හෝ ඔහු දැරූ නිලතලවලින් විනිර්මුක්ත කිරීමක් සිදුවූ බවද පෙනෙන්නට තිබුණේ නැත. අද ඒකාබද්ධ විපක්ෂයේ සිට කෑමොර දෙන බොහෝ අය මෙවැනි දෑ පිළිබඳ එදා හඬ අවදි කළේ නැති තරම්ය. අප මෙය ජයග්‍රහණයක් කියන්නේ එවැනි තත්ත්වයක් මේ රට තුළ තිබූ බැවිනි.

අප ඉගෙන ගෙන තිබෙන්නේ දේශපාලකයා යනු ජනතා සේවකයෙක් කියාය. එහෙත් මේ කතාව පසුගිය දශක කිහිපය තුළම ලංකාවට අදාළ වූයේ ඡන්දෙන් දේශපාලකයන් පත් වනතුරු පමණි. ඉන්පසුව සිදුවූයේ ජනතාව දේශපාලකයාගේ සේවකයකු බවට පත් වීමය. අදටත් මේ කාලකණ්ණි සන්දර්භය රට තුළ පැලපැදියම් වී ඇත. මොන තරම් දූෂණ චෝදනාවක් එල්ල වුවද තම දේශපාලකයා සුජාත යැයි පැවසීමට ඇතැම් පක්ෂවලට වහල් වී සිටින පාක්ෂිකයෝ කටයුතු කරති. එපමණක්ද නොව එම දේශපාලකයා අදාළ වරදට අච්චු වුවද ඔහු වෙනුවෙන් කඩේ යන පාක්ෂිකයෝ සිටිති.

රට අගාධයට ගෙනි යන්නේ මේ දේශපාලකයන්ට වඩා එවැනි තක්කඩි දේශද්‍රෝහී පක්ෂ වහල්ලු බව අප කවුරු කවුරුත් තේරුම් ගත යුතුය. තම දේශපාලන ස්වාමියාගේ කන්දක් තරම් වරද නොදකින මේ වහල් පාක්ෂිකයෝ තම ප්‍රතිවාදී දේශපාලකයාගේ කෙන්ද ද දකිති. ඒ වෙනුවෙන් සටන් කරති. අප යෝජනා කරන්නේ මේ කෙන්දත් කන්දත් නිසි ලෙස දකින සමාජයකි.

ඡන්දයෙන් පත්වන බොහෝ දේශපාලකයෝ රටට කළ හැකි අනර්ථ රැසක්ම මහා දවා‍ලේම සිදු කළහ. ඇතැම්හු ජනතා මුදල් ප්‍රසිද්ධියේ කොල්ලකෑහ. නීතිය වෙනුවට අවනීතිය ගෙන ආවෝය. දශක ගණනාවක් තිස්සේ මේ සුදු කරපටි අපරාධකරුවෝ ලක් මව සූරා කෑහ. ඔවුන් විනාශ කරන ලද්දේ ඔබටත් ඔබේ දරු නිදහස් නිවහල් දියුණු අනාගතයක් මුනුපුරන්ටත් හිමිවීමට උරුමව තිබූ අදටත් මේ බොහෝ පක්ෂවල තක්කඩි එකී ක්‍රියාවලියේම නිරතව සිටිති. රට වනසන හා රට වැනසූ මේ සුදු කරපටිකරුවන්ව නිර්දය ලෙස සමාජයට නිරාවරණය කිරීමත් ඔවුන්ට නිසි දඬුවම් ලබාදීමත් වහාම සිදුවිය යුත්තකි.

ලංකාව මේ වන විට එක් කඩඉමක් පසුකර තිබේ. ඒ නමට හෝ දේශපාලකයන්ට සදාචාරවීමට ඉගැන්වීමෙනි. දැන් අවශ්‍ය වන්නේ එහි ඉදිරි පිම්ම පැනීමය. ඒ අප පෙර සඳහන් කළ ආකාරයට අදාළ වැරදිකරුවන්ට දඬුවම් කිරීමත් ඔවුන් ගිල්ල සෑම තඹ සතයක්ම නැවත රටට අය කර ගැනීමත්ය. එහෙත් එවැනි පරමාදර්ශී ගමනක් යා හැක්කේ රටේ සිටින ජනතාවගෙන් සබුද්ධික මැදිහත්වීම්වලින්ය. එවැනි මැදිහත්වීමක් නොමැතිව මේ සා විශාල ගමනක් යාම අසීරු කරුණකි. එහෙත් රට තුළ එවැනි පිබිදීමක් තිබෙන බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම සමාජ ජාලා වබේ අඩවි තුළ මේ සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය හා ඔවුන්ගේ ඇතැම් ජුගුප්සා ජනක ක්‍රියාකාරකම් තදින් ප්‍රතික්ෂේප වෙමින් ඇත. එම ක්‍රියාකාරකම්වලට එරෙහිව ස්වාධීන සමාජ මත හා කණ්ඩායම්ද සැලකිය යුතු සංඛ්‍යාවක් බිහිවී තිබේ. එම කණ්ඩායම් හා ගනුදෙනු කරන ප්‍රමාණය මේ වනවිටත් මිලියන හතරකට වඩා වැඩි බවද පෙනේනට ඇත. මෙම සංඛ්‍යාව වර්ධනය වීමත් ඔවුන් ක්‍රියාකාරීව සජීවි දේශපාලන තලයට මැදිහත්වීමත් මත බොහෝ වෙනස්කම් ඉදිරියේදී සිදුවීමට ඉඩ තිබේ.

හොරු රකින සමාජයක් වෙනුවට හොරු නැති සමාජයක් අප තැනිය යුතුව ඇත. එවැනි සමාජයක් තැනීමේ සුක්කානම ඇත්තේද මෙරට ජනතාව වන අප තුළය. දේශපාලකයන් මොන උප්පරවැට්ටි දැමුවද මේ ඉල්ලා අස්වීම රිදී රේඛාවක් බවට පෙරළා ගත යුතුය. එය බල පෙරළියකට වඩා රටට වැදගත් වන්නේ ඒ හරහාය.