රවි කරුණානායක මහතා විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග මේ දිනවල දේශපාලන තත්ත්වය තරමක් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. ජාතික ආණ්ඩුවේ සිටින ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් මේ දිනවල කඳවුරු දෙකක සිට ගනිමින් දෙපාර්ශ්වයටම චෝදනා කරමින් සිටී. ඇතැමුන් යහපාලන ආණ්ඩුව විවේචන කරමින් විවිධ මතභේදාත්මක දේශපාලන කතා වේදිකාවල කීමත් සමග මෙම තත්ත්වය තව තවත් උත්සන්න වෙමින් පවතී. තත්ත්වය එසේ තිබියදී ආණ්ඩුව මැතිවරණයකටද පෙර සූදානමක් පවතින බවට විවිධ ඉඟි පළ වේ.

තත්ත්වය එසේ තිබියදී පසුගිය බදාදා පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු කැබිනට් හමුවද උණුසුම් මුහුණුවරක් ගත්තේය. එහිදී පහුගිය ආණ්ඩුවේ දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගන්නා බවට පවසමින් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් ඊට පෙර දිනයකදී සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබඳවද ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.

“හරින් ඇමැතිතුමා කියලා තියෙනවා පහුගිය ආණ්ඩුව කා‍ලේ හිටපු හොරුත් මොන කොමිසමක් හරි දාලා අල්ලන්න ඕන කියලා. ඒක මට අයිති කාරණාවක් ‍නෙවෙයි. ඒ ඇමැතිවරු හිටපු අමාත්‍යාංශවල අද ඉන්නේ එජාපයේ ඇමැතිවරු. ඒ ගොල්ලො ළඟ තමයි ඔය ෆයිල් ටික තියෙන්නේ. ඒ ගොල්ලන්ට පුළුවන් ඔය කියන දූෂිත අයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න. එහෙම නැතිව මගේ පැත්තට ඇඟිල්ල දිගු කරලා වැඩක් නෑ. ඒක මට අයිති කාර්යයක් ‍නෙවෙයි. මම බැඳුම්කර කොමිසම දැම්මේ කොමිසමක් පත් කරන්න කියලා ඉල්ලීමක් තිබුණු නිසා. එහෙම නැතිව එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව දාපු කොමිසමක් ‍නෙවෙයි මේක.” ජනාධිපතිවරයා ඉතා දැඩිව කීවේය.

ඉන් අනතුරුව හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමේ ගිවිසුම සම්බන්ධයෙන්ද කතාබහක් ඇති විය. මේ අවස්ථාවේදී හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ අමාත්‍ය කමිටුවේ වාර්තාව ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

“ජනාධිපතිතුමනි, දැන් ගිවිසුම අත්සන් කරලා ඉවරයි. කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පලක් වෙන්නෙ නෑ. ගිවිසුම් අත්සන් කළ නිසා කමිටුව නිෂ්ප්‍රභ වෙනවා.” සරත් අමුණුගම ඇමැතිවරයා කීවේය.

ඒ අවස්ථාවේ සරත් අමුණුගම ඇමැතිවරයා, විජයදාස රාජපක්ෂ හා සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරු අදහස් දැක්වූහ.

“අපේ අමාත්‍ය කමිටුව ප්‍රධාන වශයෙන්ම වැදගත් යෝජනා හයක් ඉදිරිපත් කළා. නමුත් ඒවා ගිවිසුම් සකස් කිරීමේදී සලකා බලන්න අවස්ථාවක් ලැබුණේ නෑ. අපිට 15ක කොටසක් ලංකාවට හිමිවීම ගැන සතුටු වෙන්න බෑ. අපිට අවම වශයෙන් 51ක කොටසක් තියා ගන්න තිබුණා.” සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා කීවේය.
“ජනාධිපතිතුමාගේ උපදෙස් මත ඉදිරියේදී ගිවිසුම සංශෝධනය කරන්න පුළුවන්. ඒ විදිහට වගන්තියක් අපි ගිවිසුමට ඇතුළු කළා. ඒක අපි ලැබූ ජයග්‍රහණයක්.”  මහින්ද සමරසිංහ ඇමැතිවරයා කීවේය.

මේ අවස්ථාවේ සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයාට හොඳටම කේන්ති ගියේය.
“ඉදිරියේදී සංශෝධන ඉදිරිපත් කළ හැකියි කියා වගන්තියක් මේ ගිවිසුමට ඇතුළු කරපු බව ඇත්ත. නමුත් මම හිතන්නෙ නෑ ඒක ප්‍රායෝගිකයි කියලා. අත්සන් කරපු ගිවිසුමක් වෙනස් කරන්න නම් දෙපැත්තෙන්ම කැමැත්ත තියෙන්න ඕනෑ. ඒ නිසා ඔය කියන විදිහට සංශෝධන කිරීම ප්‍රායෝගික වෙන එකක් නෑ.” සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා කීවේය.

ඒ අතරවාරයේ වරාය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉංග්‍රීසි භාෂාවෙන් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාට යමක් කියන්නට උත්සාහ කළේය. ඊට පිළිතුරු දීමටද සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා ඉදිරිපත් වූයේ තරමක කෝපයෙනි.

“අපිත් ඉංග්‍රීසි දන්නවා. මම පාර්ලිමේන්තුවේ අවුරුදු ගාණක් හිටියා. අපිව ඉංග්‍රීසියෙන් බය කරන්න බෑ. අපි අපේ කමිටු වාර්තාවෙන් වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කළා. සියයට පහළොවක් ‍නෙවෙයි සියයට පනස් එකකට වඩා වැඩි ප්‍රමාණයක් අපිට තියෙන්න ඕනෑ කියලා අපි යෝජනා කළා.” යනුවෙන් සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා නොනවත්වා කියාගෙන ගියේය.

ඉන් අනතුරුව අර්ජුන රණතුංග මහතාද මේ ගැන අදහස් දක්වන්නට විය.
“වරාය ඇමැතිවරයා විදිහට මමත් කැබිනට් මණ්ඩලයට යෝජනා රැසක් ඉදිරිපත් කළා. ඒවායෙන් බහුතරය සලකා බලලා නෑ. හම්බන්තොට කළමනාකරණ සමාගමේ සේවකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් තියෙන වගන්තිය ගැනත් එකඟ වෙන්න බෑ. එතන තියෙන්නේ සුදුසුකම් මත බඳවා ගන්නවා කියලා. නමුත් සුදුසුකම් නැතත් ඔවුන්ට අසාධාරණයක් නොවන විදිහට රැකියා ලබාදීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුයි. ඒ වගේම වරාය සේවා සැපයීමේදි වරාය අධිකාරියට ලැබිය යුතු මුදල් ලබා ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා. වරාය අධිකාරි පනත උල්ලංඝනය වන කිසිදු දෙයක් කළ යුතු නැහැ.” අර්ජුන රණතුංග ඇමැතිවරයා දීර්ඝ විස්තරයක් කළේය.

“හම්බන්තොට වරාය චීන වරායකට පැවරීමෙන් රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වෙනවා. මේ නිසා කිසිම විදිහකින් රටේ ආරක්ෂාවට තර්ජනයක් වන දෙයක් කිරීමට ඉඩ දෙන්න හොඳ නෑ.” විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාද කතාබහට එක් විය.
උණුසුම් වූ මේ සාකච්ඡාවට ජනාධිපතිවරයාද මැදිහත් විය.

“අමාත්‍ය කමිටු වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න. ඒ අනුව අපිට පුළුවන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. තව වෙනස්කම් තිබුණොත් අපි ඒකෙදි කරමු.” ජනාධිපතිවරයා කීවේය.

මේ අතර ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7 මහගම සේකර මාවතේ පිහිටි නිවසේදී බ්‍රහස්පතින්දා රාත්‍රියේ රැස්වූහ. මේ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභිකයන්ට දැනුම් නොදීමද විශේෂත්වයකි. ඊට අමතරව  ශ්‍රීලනිපයේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතාටද මෙවර මධ්‍යම කාරක සභාව ගැන දැනුම් දී නොමැත.

මධ්‍යම කාරක සභාවේ අවධානය ප‍්‍රථමයෙන් යොමු කෙරුණේ සැප්තැම්බර් මස 02 වැනි දා රත්නපුරයේ පැවැත්වීමට නියමිත පක්ෂ සංවත්සරය සම්බන්ධයෙනි. ජනාධිපතිවරයාට අමතරව දුමින්ද සහ මහින්ද අමරවීර යන අය ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.

අනතුරුව නැගී සිටි ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා සමෘද්ධි කප්පාදුව ගැන අදහස් දක්වන්නට පටන් ගත්තේය.

”සමෘද්ධිය ගැන ලොකු ප‍්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මේ විදියට කරන්න ඉඩ දෙන්න බැහැ” ජෝන් කීවේය.

ඒ වන විට සමෘද්ධිය භාර එස්. බී මධ්‍යම කාරක සභාවේ නොසිටි බැවින් වහාම දුරකථන ඇමැතුමක් දී ඔහු ගෙන්වා ගන්නට ජනාධිපතිවරයාට සිදුවිය.එස්. බී පැමිණි පසු ජෝන් නැවතත් කතාව පටන් ගත්තේය.

”මේ වගේ වැඩ හින්දා ගම්වල මිනිස්සු අපි ගැන කලකිරිලයි ඉන්නේ” ජෝන් පැවසීය.
”මේක වැරැුදි තීරණයක්. මේ වගේ වැඩ හින්දා වෙන්නේ අපිට ගම්වලට යන්න බැරි වෙන එකයි” නිමල් ලන්සා කීවේය.
”එහෙම දෙයක් නැහැ. මේක පටන් ගත්තේ ලොකු අධ්‍යනයක් කරලයි. අපි හදන්නේ සමෘද්ධිය කපන්න නෙමෙයි” එස්. බී පෙන්වා දුන්න ද ජෝන් සහ ලන්සා ඊට එකඟ වූයේ නැත.
”එහෙනම් මොකටද සමීක්ෂණයක් කළේ?” ලන්සා ඇසුවේය.
ලන්සා එසේ අසත්ම කේන්ති ගිය එස්. බී  ”ඔයා දන්නේ නැති දේවල් නොකියා කට වහගෙන ඉන්න” කියා බැණ වැදුණේය.

ලන්සාගේ සහායට ජෝන් ඉදිරිපත් වූයේ ”එහෙම කියන්න එපා ඇමැතිතුමා. අපිට තේරෙන දේ තමයි අපි කියන්නේ. අපි දන්නේ නැහැ ඔබතුමා මොන අරමුණකින් මේක කළාද කියලා” කියමිනි.

”මේ සමීක්ෂණය කළේ ඉහළම ආයතනයකින්. මේක හින්දා කාටවත් සමෘද්ධිය නැතුව යන්නේ නැහැ” එස් බී කීවද ජෝන් සහ ලන්සා එය පිළිගැනීමට සූදානම් වූයේ නැත.
”මේ වගේ දේවල් හින්දා වෙන්නේ නැති ප‍්‍රශ්න ඇති වෙන එකයි. අපි මේ තේරුම් කරන්න හදන්නේ ඒකයි. අපි කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන ප‍්‍රශ්නයක්. ඒකට උත්තරයක් නොදුන්නොත් අපිට ගම්වලට ගිහින් වැඩ කරන්න වෙන්නේ නැහැ” ලන්සා කීවේය.

එහෙත් එස්. බී එය පිළිගත්තේ නැත. ඒ වෙනුවට ඔහු ජෝන්ට සහ ලන්සාට දෝෂාරෝපණය කරන්නට වූයේ වෙන වෙන ගේම් ගහන්න හදනවා කියමිනි. එම අවස්ථාවේ දී මධ්‍යම කාරක සභාවේ බහුතරය ගත්තේ ජෝන් සහ ලන්සාගේ පැත්තය. එස්. බී. එක පසෙක තනිව සිටිද්දී බහුතර මධ්‍යම කාරක සභිකයන් වරින් වර නැගිට එස්. බීගේ යෝජනාව විවේචනය කරන්නට පටන්ගත්හ.

”මේ වෙලාවේ අලූත් ප‍්‍රශ්න ඇති කරගන්න  ඕනේ නැහැ. අපට මේ තියෙන ප‍්‍රශ්න හොඳටම ඇති. ඔන්න ඔය වැඬේ අතහැරලා දාන්න” කී මෛත‍්‍රී සංවාදය නිමා කරන්නට කටයුතු කළේය. අනතුරුව කතාබහ ඇති වුණේ පළාත් සභා මැතිවරණය එකම දිනක පැවැත්වීමට හැකිවන පරිදි ඉදිරිපත් කරන්නට යන 20 වැනි සංශෝධනය සම්බන්ධයෙනි. බෝම්බය පත්තු කළේ අනුර යාපාය.

”පළාත් සභා මැතිවරණය එකම දවසක පවත්වන්න  ඕනේ කියලා ගේන්න යන යෝජනාවට මම නම් ඡුන්දේ දෙන්නේ නැහැ.  ඕක ලොකු ප‍්‍රශ්නයක් වෙනවා” අනුර යාපා කෙළින්ම කීවේය.

”ඔව් ඔව් ඒ කතාව ඇත්ත.  ඕක ලොකු ප‍්‍රශ්නයක් වෙයි. මටත්  ඕකට එකඟ වෙන්න බැහැ” අමුණුගම ද කීවේය.

”ඔය 20 වැනි සංශෝධනයට එරෙහිව අධිකරණය හමුවට ගියොත් අපි අනිවාර්යෙන්ම පරදිනවා. එහෙම වුණොත් අපිට ඡුන්දයට යන්න වෙන්නේ පැරැුදිලයි. එතකොට අපි ඡුන්දෙට ඉස්සෙල්ලම පරාදයි. අනික් එක මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෙමෙයි” සුසිල් ද පැවසීය.

පළාත් පාලන සහ පළාත් සභා ඇමැතිවරයා වශයෙන් ෆයිසර් මුස්තාපා කතාව ආරම්භ කළේ 20 වැනි සංශෝධනය හොඳ යෝජනාවක් බව සඳහන් කරමින් වුවත් අනුර සහ සුසිල් ඊට එරෙහිව අදහස් දක්වන්නට වූහ. අවසානයේ දී ෆයිසර්ට සිදුවූයේ අනුරලාගේ කතාවට එකඟවන්නටය.

”මම මැතිවරණ කොමිසමේ සභාපති එක්කත් මේ ගැන කතා කළා. එතුමත් කිව්වේ අධිකරණය හමුවට ගියොත් මේකවැරැුදියි කියලා කියන්න වෙනවා කියලයි. එහෙම වුණොත් අපට තුනෙන් දෙකෙන් සම්මත කර ගන්න වෙනවා. හැබැයි මේ තියෙන තත්ත්වය යටතේ තුනෙන් දෙකක් ගන්න අපට අමාරුයි. ඒ හින්දා හොඳම දේ තමයි මැතිවරණය තියන එක. ඒ හින්දා ඔයාලා ඡුන්දයට ලෑස්ති වෙන්න” මෛත‍්‍රී අවසානයේ දී කීවේය.

මේ අතර රෙජිනෝල්ඞ් කුරේ අදහස් දක්වන්නට වූයේ රවීගේ ඉල්ලා අස්වීම ගැනය. ”මම හරිම කාලකණ්ණි සතුටක් ලබනවා අද වෙච්ච දේ ගැන. ජනාධිපතිතුමා බලයට ආවේ ¥ෂිතයන්ට දඬුවම් දෙන්නයි. හැමදාම බල්ලට ගහන්න පොල්ල වන වන හිටියොත් අන්තිමට බල්ලා පැනලා පොල්ල හපා කනවා. තව ටිකක් හිටියා නම් අපිට වෙන්නෙත් ඒකයි. ඒ හින්දා මේ ගත්ත පියවර හොඳයි. කලින් කරපු හොරකම්වලටත් මේ පියවර ගන්න  ඕනේ” රෙජිනෝල්ඞ් කීවේය.

ශ‍්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම්වරයා මෙන්ම ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වන ලෙස්ලි දේවේන්ද්‍ර මධ්‍යම කාරක සභාවේ දී හැසිරුණු ආකාරය මධ්‍යම කාරක සභිකයන් බහුතරයකට එතරම් ඇල්ලූවේ නැත. කතාබහක් යන සෑම විටකම අතරමැදින් පනින ලෙස්ලි කියන්නට වූයේ ”වෘත්තීය සමිති අපි එක්ක ඉන්නවා. හැබැයි ඔක්කොම වෘත්තීය සමිතිකාරයෝ කැමැති මහින්දට” යනුවෙනි. ලෙස්ලි පාලනය කර ගැනීමට මධ්‍යම කාරක සභිකයන්ට බොහෝ වෙහෙසෙන්ට සිදුවූහ.

මේ අතර හිටපු කථානායකවරයකු හා අමාත්‍යවරයකු වූ දිවංගත එම්.ඒ. බාකීර් මාකාර් මහතාගේ 20වැනි ගුණානුස්මරණ දේශනය පසුගිය අඟහරුවාදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සමරු හ‍ලේ ලෝටස් ශාලාවේදී පැවැත්විණි.

මෙවර ගුණානුස්මරණ දේශනය පවත්වන ලද්දේ තුර්කියේ හිටපු අග්‍රාමාත්‍ය මහාචාර්ය අහමට් දවුටොග්ලු මහතා විසිනි. ඉතාමත් ශූර කථිකයකු වූ ඔහු ‘සාමය සඳහා බහු සංස්කෘතිකත්වයේ වැදගත්කම’ යන මැයෙන් ඉතා වටිනා දේශනයක් කළේ ජාත්‍යන්තරයේ වර්තමාන උදාහරණ රැසක්ම ගෙනහැරපාමිනි.

මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ජාතික සමගිය පිළිබඳව වටිනා අදහස් කීපයක් සභාව හමුවේ තැබිය.

“ජාතිවාදය ගැන අද විවිධ දේ අහන්න ලැබෙනවා. නමුත් රූපවාහිනියෙන් ක්‍රිකට් තරග නරඹන විට සියල්ලන්ම ශ්‍රීලාංකිකයෝය. එහිදී කිසිම පුද්ගලයකු සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි ලෙස වෙන් වෙන්ව හිතනනේ නෑ.” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ජාතික සමගියට උදාහරණයක් ගෙනහැරපාමින් සඳහන් කළේය.

අඟහරුවාදා පස්වරුවේ සිය දේශනය හමාර කළ හිටපු තුර්කි අගමැතිවරයා ඊළඟට ගියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමටය. ඉන් අනතුරුව එදින රාත්‍රියේ කථානායක කරු ජයසූරිය මහතාගේ ආරාධනයෙන් කථානායක නිල නිවසේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකටද දවුටොග්ලු මහතා හා මැතිනිය එක් වූහ. ඒ සඳහා දේශපාලනඥයන් වශයෙන් එක්ව සිටියේ මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා හා ඉම්තියාස් බාකීර් මාකාර් මහත්වරුන් පමණි.

ඒ වන විට ශ්‍රී ලංකාවේ දින හයක පමණ කාලයක් නැවතී සිටි මහාචාර්ය දවුටොග්ලු මහතා මල්වතු මහා නාහිමියන්ද හමුවී මහනුවර දළදා පෙරහරද නරඹා තිබුණි.
කෑම මේසයේදී ඔහු තුර්කි රජය දරුවන් බිහි කරන තරුණ අම්මාවරුන්ට දෙන තිළිණයක් පිළිබඳවද සඳහන් කළේය.

“අපේ රටේ පළමු දරුවා බිහි කරන අම්මා කෙනෙකුට රන් පවුමකුත් දෙවැනි දරුවාට පවුම් භාගයක් තුන්වෙනි දරුවාට පවුම් කාලකුත් ඇගයීමක් හැටියට රජයෙන් දෙනවා. ඊට අමතරව ඔවුන්ටම තවත් ප්‍රතිලාභ රැසක්ම ලැබෙනවා” යැයිද සඳහන් කළේය.
එය අසා සිටි කථානායක කරු ජයසූරිය මහතා මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා දෙස බලා මෙසේ කීවේය.

“බජට් එක හදන කොට එරාන්ට මංගලත් එක්ක මේවා ගැනත් සලකා බලන්න පුළුවන්.” යැයි කීවේය.

වරෙක කථානායකරවයා අතුරුපසට තිබූ අඹවල ගුණය ගැන තුර්කි අගමැතිවරයාට පැහැදිලි කළේය.

“කෑම දිරවන්න අඹ හොඳ උත්තේජනයක් ලෙසයි අපේ රටේ පුරාණයේ ඉඳන්ම පිළිගැනෙන්නෙ.”
“මට පාකිස්තානයේ නවාස් ෂෙරිෆ් හිටපු අගමැතිතුමාගේ සහෝදරයා දවසක් එහෙදී කිව්වා අඹ කන එක එච්චර හොඳ නෑ කියලා. ඔන්න එහෙනම් මම අද ඉඳලා ඔබ කියන දේ අහලා වැඩිපුර අඹ කනවා.” මහාචාර්ය දවුටොන්ලු කීවේය.

මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට පාර්ලිමේන්තුවේ මහ ‍ලේකම් ධම්මික දසනායක, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහත්වරුද ආරාධිතයන් ලෙස එක්ව සිටියහ.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් රවි කරුණානායක මහතා ඉල්ලා අස්වීමත් සමගම එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 25 දෙනකු පමණ පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට කඩා වැදුණහ. ඒ අතර හර්ෂණ රාජකරුණා, සිඩ්නි ජයරත්න, කාවින්ද ජයවර්ධන, චමින්ද විජේසිරි, අශෝක ප්‍රියන්ත, ශාන්ත අබේසේකර, තුසිතා විජේමාන්න, හෙක්ටර් අප්පුහාමි ඇතුළු පිරිසක් වූහ. ඔවුන් එහි යන විට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ සුජීව සේනසිංහ මහතා අගමැතිවරයා හමුවී ඉන් පිටතට පැමිණෙමින් සිටියහ.

“ආ මේ ගොල්ලො යන්නේ අගමැතිතුමා උස්සන්නද?” රාජිත සහ සුජීව සිනාසෙමින් කීවේය.

“නෑ, නෑ, ඇමැතිකමින් අස්කරන්න තවත් එක් කෙනෙක් ඉන්නවා. එයා ගැන අගමැතිතුමාට කියන්න මේ යන්නෙ.” මන්ත්‍රී පිරිස කීහ.

අනතුරුව ඔවුහු විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාට එරෙහිව අගමැතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

“සර්, විජයදාස රාජපක්ෂ කියන්නේ ඩීල්කාරයෙක්. එයා තමයි ඒකාබද්ධ විපක්ෂයේ හොරුන්ගේ ෆයිල් ටික හංගගෙන ඉන්නේ. එයා ඒකාබද්ධ විපක්ෂයේ කට්ටියව රකිනවා. ඒ ගොල්ලො හිතාගෙන ඉන්නේ මෙයාව ඊළඟ පාර ‍පොදු අපේක්ෂකයාව කරන්න. ඒ නිසා අපි මෙයාට විරුද්ධව විශ්වාසභංගයක් ගේනවා.”  මන්ත්‍රීවරු පිරිස කීහ.

“‍පොඩ්ඩක් ඉන්න. කලබල වෙන්න එපා. මං ඔය චෝදනා ගැන හොයලා බලන්නම්.” අගමැතිවරයා කීවේය.

ඉන් අනතුරුව මන්ත්‍රී පිරිස එළියට පැමිණ විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට අදාළ තොරතුරු සෙවීම ආරම්භ කළහ.

මේ අතර අඹ්වෛල කිරි ගොවිපළට නව තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර ලබා දීමෙන් පසු එය විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් එක්ව සිටියහ. ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු වූයේ රවි කරුණානායක ඇමැතිවරයාගේ සිද්ධියයි.

“අපේ ආණ්ඩුව හොරු ආරක්ෂා කරන්නෙ නෑ.” අගමැතිවරයා එහිදී කීවේය.
“අපි ආණ්ඩුවේ වගේම පක්ෂය ඇතුළෙත් හොරු ඉන්නවට විරුද්ධයි. ඒ වගේම රාජ්‍ය අංශයේ ඉන්න හොරුත් අල්ලන්න ඕනෑ.” නවීන් දිසානායක ඇමැතිවරයාද කතාබහට එක් විය.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා නවීන් දිසානායක ඇමැතිවරයාගෙන් විමසා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවයි.
“කොහොමද නවීන් නුවරඑළියේ වැඩකටයුතු?” අගමැතිවරයා විමසීය.

“ගැටලුවක් නෑ සර් කරගෙන යනවා. නුවරඑළියේ හෙක්ටයාර් දහසක් විතර බෙදලා දෙන්න තියෙනවා. පිටින් ඇවිත් නුවරඑළියේ පදිංචි කරනවාට මම නම් විරුද්ධයි. මේ ඉඩම් නුවරඑළියේ ජනතාවටම ලබා දෙන්න ඕනෑ.” නවීන් කීවේය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර තේ සම්මේලනය කොළඹදී ආරම්භ කෙරිණි. මේ අවස්ථාවට රටවල් හතළිහක් නියෝජනය කරමින් නියෝජිතයන් පැමිණ සිටීමද විශේෂත්වයකි. එම නියෝජිතයන්ට ශ්‍රී ලංකාවේ තේ වගාව පිළිබඳව පැහැදිලි නිගමනයක් ලබා දීමටද මෙවර සමුළුවේදී කටයුතු යොදා තිබුණි.

“තේ දලු අරගෙන කොළඹ ඉන්න ව්‍යාපාරිකයොයි ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ අයයි ලාභ ලබනවා. හැබැයි දලු කඩන කම්කරුවාට මොකුත් නෑ. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. අලුත් කළමනාකරණයක් යටතේ කම්කරුවන්ට මුදල් ලැබෙන ක්‍රමවේදයක් අපි සකස් කරනවා.” නවීන් දිසානායක ඇමැතිවරයා කීවේය.

“අපි වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය භාර දුන්නේ ඔබතුමා දක්ෂ ඇමැති කෙනෙක් කියලා දන්න නිසා. ඒ නිසා අපිට විශ්වාසයි ඔබතුමා මේ ක්ෂේත්‍රයේ වෙනසක් කරනවා කියලා.” අග්‍රාමාත්‍යවරයා කීවේය.

මේ අතර මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුවේදී 35 වැනි උදා ගම්මානය වන මානාභරණගම ජනතා අයිතියට පත් කිරීම සඳහා පැවති උත්සවයට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ඇරයුම පිළිගෙන පැමිණ සිටි විශේෂ අමුත්තන් දෙදෙනෙකු වූයේ වනජීවී හා තිරසර සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරිය. සමරු ඵලකය විවෘත කිරීමෙන් පසු ගම්මානයේ නිවාස 33 ටම මේ අමුත්තන් දෙදෙනා සජිත් සමඟ පැමිණීම විශේෂ සිද්ධියක් විය. අලුත් නිවාස පෙළ හා ගෙවතු වගා නිරීක්ෂණය කරමින් ඇවිද යද්දී සුමේධා කීවේ සජිත් ඔයා නම් තාත්ත වගේම උනන්දුවෙන් මේ වැඩේ කරනවා. අපි ඒ කාලෙම දැනගෙන හිටියා ප්‍රේමදාස ජනාධිපති තුමා මිනිස්සුන්ට ගෙවල් හදල දෙන්න ගත්තු වෙහෙස ගැන. දැනටමත් ඔයා තාත්තට නොදවෛනි වෙන්න වැඩ කියාය. සජිත් පිළිතුරු දෙමින් කීවේ මාව තාත්තට සම කරන්න නම් අමාරුයි. ඒත් මාව මේ තැන තියපු ජනාධිපතිතුමාගෙත්, අගමැතිතුමාගෙත්, රටේ ජනතාවගෙත් ගෞරවය රැකෙන විදියට මට කරන්න පුළුවන් දේ උපරිමයෙන්ම මම කරනවා කියාය.

වසර 1991 ජූලි 10 වැනිදා 5,000 ක පමණ කොටි ත්‍රස්තවාදීන් අලිමංකඩ හමුදා කඳවුර වටලා එහි සිටි 600 ක් යුද හමුදා සෙබලුන් සමූල ඝාතනය කර කඳවුර විනාශ කිරීම සඳහා අධිබල පිපුරුම් ද්‍රව්‍ය ඇසුරූ යුද ප්‍රහාරක රථයක් කඳවුර තුළට ඇතුළු කිරීමට තැත් කළ අවස්ථාවේ ඊට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර කඳවුර රැකගත් හසලක ගාමිණී කුලරත්න රණවිරුවා නමින් සදාවීර සෙන්පති ගාමිණී කුලරත්නගම නමින් උදා ගම්මානයක් තැනීම සඳහා සජිත් අතින් මුල්ගල් තැබුණේ ඉකුත් සෙනසුරාදාය. සජිත් එහිදී නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට විශේෂ උපදෙසක් දුන්නේය. යම් රණවිරුවෙකුගේ නමින් උදා ගමක් හදනවා නම් අනිවර්යයෙන්ම ඒ රණවිරුවාගේ පිළිරුවක් ඒ ගම්මානයේ විශේෂ තැනක ඉදිවෙන්න ඕනෑ. ඊට කලින් ඒ රණවිරුවාගේ පවු‍ලේ අය එක්ක සාකච්ඡා කරලා ඒ අයගේත් උපදෙස් ගන්න. උදා ගම්මානය විවෘත කරන දවසේ ඒ පිළිරුව ඉදිරියේ හමුදා උත්තමාචාරයක් පවත්වන්නත් කටයුතු සංවිධානය කරන්න.

මේ  අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය  සඳුදා රාත‍්‍රිය ගත කළේ ලොහාන් රත්වත්තේ මන්ත‍්‍රීවරයාගේ නිවසේය. මහනුවර ඇසළ පෙරහරේ දිය කැපීමේ මංගල්‍යයට සහභාගී වීමට මහින්ද රාජපක්ෂ මහතා පසුදින අලූයම 4.30ට ගැටඹේතොටට ගියේය. දියකැපීමේ චාරිත‍්‍රයට එක් වූ මහින්ද රාජපක්ෂ මහතා පෙරහැරේ ගිය නිලමෙලා ඇතුළු පිරිස සමග කතාබහක ද නියැළුණේය. එම ස්ථානය අසල පිහිටි විහාරස්ථානයක ඉදිකරන ලද ඝාණ්ටාර කුලූන විවෘත කිරීමේ අවස්ථාවට මහින්ද රාජපක්ෂ මහතා එක්විය.

මෙම ඝාණ්ටාර කුලූන ඉදිකර තිබුණේ බන්දුල ගුණවර්ධනය. ගන්නෝරුවේ සිට නන්දිකඩාල් කලපුව දක්වා සියලූ සටන්වලදී රට ජාතිය වෙනුවෙන් දිවි පි¥ විරුවන්ට පිං පිණිස බන්දුල මෙම ඝණ්ටාර කුලූන සිය වියදමෙන් ඉදිකර තිබුණි. කුලූන විවෘත කිරීමේ අවස්ථාවට බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, ලොහාන් රත්වත්තේ මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

මේ අතර මෙරට ප‍්‍රධාන මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදීන් කණ්ඩායමක් පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණහ. නෙළුම් මාවතේ කාර්යාලයේ දී පැවැති මෙම හමුව සම්බන්ධීරණය කර තිබුණේ ගාමිණි ජයලත් විසිනි. මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් මාධ්‍යවේදීන් පහළොවක පමණ කණ්ඩායමක් සමග ප‍්‍රසන්න රණතුංග ද මෙම හමුවට සහභාගී වී සිටියේය.

”මේ ඇවිත් ඉන්නේ සර් වෙනුවෙන් 2005 ඉඳලම පෙනී හිටපු ජනවාරි 08 වැනි දායින් පස්සෙත් සර්ව අතනොහැරපු කණ්ඩායමක්” ගාමිණි පිරිස හඳුන්වාදෙමින් කීවේය. මාධ්‍යවේදීන් පිරිස තමන්ගේ ආයතනවලින් සිදුව ඇති කෙනෙහිලිකම් මහින්ද රාජපක්ෂ මහතාට පැහැදිලි කළහ. මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් වීම මුල්කරගෙන සේවයෙන් පහකිරීම්, තනතුරුවලින් ඉවත් කිරීම් යනාදිය සිදු වූවත් කිසිවකුවත් ඊට විරෝධය පළ නොකරන බව ඔවුහූ පෙන්වා දුන්හ.

”මේ ආණ්ඩුවේ හැටි ඔහොම තමයි. පළිගැනීම විතරයි එයාලගේ එකම අරමුණ. ඉදිරියේ දී අපි ඔයාලට වෙලා තියෙන අසාධාරණකම් නිවැරැුදි කරනවා” මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

”මේ ආණ්ඩුවෙන් වගේම පහුගිය ආණ්ඩුව තියෙද්දිත් අපි ලොකු අසාධාරණයකට ලක් වුණා. ඒ කාලෙත් සර්ට හිතවත්ව හිටපු අපිව කපලා දාලා තනතුරු වරප‍්‍රසාද ගත්ත අයම තමයි මේ ආණ්ඩුවටත් ළං වෙලා ඉන්නේ” මාධ්‍යවේදීයෙක් පැවසීය.

”මම ජනාධිපති වෙලා ඉන්න කොට ආයතනයකට කාව හරි පත් කරන්නේ අපේ මිනිස්සුන්ට අසාධාරණයක් නොවෙන්න වගබලා ගන්නයි. ජනාධිපති විදියට මට හැමදෙයක් ගැනම හොය හොයා යන්න වෙලාවක් නැහැ. මම හිතන්නේ මම පත්කරපු කෙනා ඒක කරයි කියලා. හැබැයි ගොඩක් තැන්වල වෙලා තියෙන්නේ ඒකේ අනික් පැත්ත. සභාපතිවරුන් තමන්ගේ වැඩ ටික කරගන්නවා මිසක් අපේ මිනිස්සු ගැන හොයලා බලලා නැහැ. ඒක අපෙන් වෙච්ච ලොකු වරදක්. ආයේ නම් ඒ වගේ දේවල් වෙන්න මම ඉඩතියන්නේ නැහැ” මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

”සර්ගෙන් අපිට වරදක් වෙලා නැහැ. සර්ට ද්‍රෝහිකම් කළේ සර් ළඟ හිටපු අයමයි” මාධ්‍යවේදියෙක් පැවසීය.

”ඒක නම් ඇත්ත මම හැමෝම විශ්වාස කළා. මාව ජනාධිපතිකමෙන් එළවන කුමන්ත‍්‍රණය පටන් ගත්තේ 2011දී. 2010 ජනාධිපතිවරණය ඉවර වෙච්ච ගමන්ම මේ අය සංවිධානය වෙලා කුමන්ත‍්‍රණය කළා. රාජිතලා මං ළඟ ඉඳගෙනම තමයි  ඕවා කළේ. කට්ටියම දන්නවා මම විතරයි  ඕක නොදැන හිටියේ” මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

”චමල් ඇමැතිතුමත් කියලා තිබුණා සර්ට උදව් කරපු මිනිස්සු ඈතින් ඉන්න කොට අවස්ථාවාදියෝ ටිකක් වට වුණයි කියලා” ගාමිණී කීවේය.

”චමල් අයියගේ කතාව සීයයට සීයක් ඇත්ත. මට උදව් කරපු අය මගේ ළඟට ආපු නැති හින්දා තමයි අවස්ථාවාදියෝ ළං වුණේ. මට උදව් කරන අයගෙත් මතයක් තියෙනවානේ අපි මහින්දට උදව් කළා මහින්ද දැන් අපි ගැන හොයලා බලන්න  ඕනේ කියලා. එහෙම කරන්න පුළුවන් අවස්ථා වගේම බැරි අවස්ථාත් තියෙනවා” මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

”දේශපාලනඥයෝ විදියට ඉතින් අපිට  ඕවා අමුත්තක් නෙමේනේ සර්. මිනිසුන්ගෙන් බැණුම් අහන එකමනේ අපේ වැඬේ” ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා කීවේය.

”දැන් නාමල්ට වෙලා තියෙන්නෙත්  ඕකමනේ. සමහරු නාමල් එක්ක තරහා වෙනවා නාමල් ගෙදරට ගොඩවෙන්නේ නැහැයි කියලා. මම දවසක් එහෙම කියපු එක්කෙනෙක්ගෙන් ඇහුවා නාමල් ළඟට ඔයාලා යන්නේ නැත්තේ ඇයි කියලා, මිනිහා මට කියනවා මම මොකටද නාමල් ළඟට යන්නේ, මම නාමල්ගේ සීයටත් වැඩ කළා, තාත්තටත් වැඩ කළා. ඉතින් නාමල් මං ළඟට එන්න  ඕනේ කියලා. පස්සේ මං නාමල්ට කිව්වා ඔය හැම ගේකටම ගිහින් මිනිස්සු ගැන හොයලා බලන්න කියලා” මහින්ද රාජපක්ෂ මහතා කීවේ සිනාසෙමිනි.

”සර්ගේ හිත හොඳයි කියලා අපි කවුරුත් දන්නවා. සමහරු කියනවා සර් ජනාධිපති වෙලා ඉද්දි කාටවත් කතා කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ කියලා. හැබැයි මම අසනීප වෙලා ඉන්න වෙලාවක මම සර්ට කතා කළා. සර් මට කතා කළා විතරක් නෙමෙයි මට උපකාරත් කළා. අපිට ගැටලූවක් ආවාම සර්ට කතාකරපු අවස්ථාවක සර් කවදාවත් අහක බැලූවේ නැහැ” මාධ්‍යවේදියකු කීවේය.

”බලය නැහැයි කියලා නැහැ. මම මාධ්‍යවේදීන්ට කවදත් හිතවත්. ඔයාලට තියෙන  ඕනෙම ප‍්‍රශ්නයක් මට කියන්න. මගේ නම්බර් එකට  ඕනේ වෙලාවක කෝල් කරන්න.මට පුළුවන් දෙයක් තියෙනවා නම් උදව් නොකර ඉන්නේ නැහැ” කී මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් සියලූදෙනාගේ ජංගම දුරකථන අංක සටහන් කරගන්නැයි නිලධාරියකුට උපදෙස් දුන්නේය.

”සර්ව අපිට ඉඳහිටවත් හම්බවෙන්න අවස්ථාවක් ලැබෙනවා නම් හොඳයි” මාධ්‍යවේදියකු ඉල්ලීමක් කළේය.

”මාධ්‍යවේදීන්ට මාව හම්බවෙන්න ඇපොයින්ට්මන්ට්  ඕනේ නැහැ. සමහරු  හම්බවෙන්න දැන් ඇමැතිවරුන්ටත් බැහැ. එයාලා  ඇමැතිවරුන්ගෙනුත් ඇපොයින්ට්මන්ට් ඉල්ලනවා කියලයි ආරංචිය.  ඔය අනෙක් අය වගේ මම ජනාධිපති වෙලා ඉන්න කොට කවදාවත් ඇපොයින්මන්ට්වලට සීමාවෙලා වැඩ කරපු කෙනෙක් නෙමෙයි. ඔයාලට  ඕනේ වෙලාවක ඇවිත් මාව හම්බ වෙන්න” මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

”දැන් නම් සර් ඡුන්දේ දීපු අයටත් ආණ්ඩුව එපා වෙලයි තියෙන්නේ. අපේ ආයතනවල මිනිස්සු දැන් අහන්නේ කවද්ද මහින්ද මහත්තයා ආයේ රට භාරගන්නේ කියලයි” මාධ්‍යවේදියකු කීවේය.

”ආණ්ඩුව වැඩියෙන්ම එපා වෙලා තියෙන්නේ එයාලට ඡුන්දේ දීපු අයටම තමයි” ප‍්‍රසන්න රණතුංග පැවසීය.

”ඔහොම යමුකෝ. ඔහොම යමුකෝ” මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන්ට සමුදෙමින් කීවේ සිනාසෙමිනි.

මේ අතර ජුලම්පිටිය මංගල හිමියන් විසින් රචනා කළ දෙමළ ගැටපද විවරණය ග‍්‍රන්ථය එළිදැක්වීමට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාත් එක්ව සිටියහ. එහිදී මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධන්ට කීවේ ”රටේ මතයක් තියෙනවා විපක්ෂ නායකවරයා රටේ ප‍්‍රශ්නවලට මැදිහත් වෙනවා අඩුයි කියලා. මමත් විපක්ෂ නායක වෙලා හිටිය කෙනෙක්. විපක්ෂ නායක වුණාම ජනතාවගේ ප‍්‍රශ්න ගැනත් හොයලා බලලා මැදිහත් වෙන්න  ඕනේ” යැයි විපක්ෂ නායකවරයාට කීවේය. එහිදි සම්බන්ධන් මහතා ඊට ප‍්‍රතිචාර නොදැක්වීමද විශේෂත්වයකි.

මේ අතර පොදුජන පෙරමුණේ බදුල්ල සහ පස්සර ආසන සම්මන්ත‍්‍රණ පසුගිය ඉරිදා පැවැත්වුණේ කුමාර වෙල්ගම, ප‍්‍රසන්න රණතුංග, ඉන්දික අනුරුද්ධ සහ චාමික බුද්ධදාසගේ සහභාගීත්වයෙනි. පස්සර වයිට් හවුස් හෝටලයේ දී පැවැත්වෙන රැුස්වීමට සහභාගී වීමට යන අතරතුර මන්ත‍්‍රීවරුන් රැුගත් රිය පෙළ පස්සර නගරයේ දී වාහන තදබදයකට අසුවිය.

තදබදය අඩුවන තුරු නතරව සිටිය දී රථයේ සිටි ප‍්‍රසන්න දුටු පිරිසක් රථය වටකර ගත්හ. කිහිපදෙනෙක් වීදුරුවට තට්ටු කරනු දුටු ප‍්‍රසන්න වීදුරුව විවෘත කළේය.
”අනේ මන්ත‍්‍රීතුමා, පේනවා නේද අපට තියෙන කරදරේ. පුළුවන් නම් මේ පාර හදලා දෙන්නකෝ” පිරිස අතර සිටි අයෙක් ප‍්‍රසන්නගෙන් ඉල්ලීමක් කළේය.

”පාර හදා ගන්න නම් වෙන්නේ යහපාලනේ කට්ටියට කියලා තමයි. මොකද දැන් තියෙන්නේ අපේ ආණ්ඩුවක් නෙමේනේ” ප‍්‍රසන්න කීවේය.
”අපෝ එයාලට නම් කියලා වැඩක් නැහැ. පාරක් තියා බෝක්කුවක්වත් හදන අය නෙමේනේ දැන් ආණ්ඩු කරන්නේ. කයිවාරුව විතරයි” කිහිපදෙනෙක්ම කීහ.
”ඒක නම් ඇත්ත තමයි” ප‍්‍රසන්න ද අනුමත කළේය.

පස්සර සම්මන්ත‍්‍රණය නිමා වීමෙන් පසුව මන්ත‍්‍රීවරුන් පිරිස දිවා ආහාරය ගත්තේ ද එම හෝටලයේදීමය. ඒ අතරතුර පිරිස කතාබහ කළේ වෙල්ගම මන්ත‍්‍රීවරයා ගැනය.
”වෙල්ගම ඇමැතිතුමා බදුල්ලට ආවට පස්සේ ටිකක් පාට වැටිලා වගේ” ඉන්දික අනුරුද්ධ මන්ත‍්‍රීීවරයා සිනාසෙමින් කීවේය.

”අපි හිත හොඳ මිනිස්සුනේ මල්ලි. කොහේ ගියත් වරදින්නේ නැහැ” වෙල්ගම පැවසීය.
”අර ඩිලාන් මොකද වෙල්ගම පිටගම්කාරයා කියලා බැණ බැණ යන්නේ?” ප‍්‍රසන්න ඇසුවේය.

”ඩිලාන්ට තියෙන්නේ හීනමානය. ඩිලාන් ළඟට එන මිනිස්සු කවුරුවත් වැඩිකල් ඉන්නේ නැහැ. කාන්තාවක් ආවත් ටික දවසයි. අපේ ළඟට එන අය අපිව දාලා යන්නේ නැහැ. ඒකේ හිතේ අමාරුව තමයි ඩිලාන්ට තියෙන්නේ” වෙල්ගම සිනාසෙමින් කීවේය. සෙසු පිරිසටද මෙම කතාවට මහ හයියෙන් සිනා ගියේය.
”ඩිලාන්ලා එක්සත් ජාතික පක්ෂය එක්ක ආණ්ඩු කරන ගමන් අපිට වැදි බණ කියන්න එනවා” ප‍්‍රසන්න කීවේය.

”මං පිටගම්කාරයා නම් ඩිලාන් ගමේ මිනිහා වෙලත් ඇයි දන්නේ නැහැ ගිය පාර ඡුන්දෙ ඉල්ලූවේ නැත්තේ? ඉල්ලූවා නම් එස්. බීලට වෙච්ච දේම තමයි වෙන්නේ” වෙල්ගම කීවේය.

”වෙල්ගම ඇමැතිතුමාට නම් බදුල්ල දාලා යන්න හිතක් නෑ වගේ” ඉන්දික කීවේය.
”බදුල්ලත් එක්ක මට ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒක මං පස්සේ කියන්නම්” වෙල්ගම පැවසීය.

”ඒකාලේ වෙල්ගම ඇමැතිතුමා බස්වල, ලොරිවල එහෙම බදුල්ලට ආපු කාලේ පටන් ගත්ත එකක් වෙන්න ඇති” චාමික කීවේය.

ජාතික ආණ්ඩුවේ දේශපාලන තත්ත්වය මේ වන විට දැඩි නොසන්සුන් තත්ත්වයකට පත්ව තිබේ. විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාගේ විශ්වාසභංගය පිළිබඳවද මේ දිනවල දැඩි කතාබහකට ලක්ව තිබේ. යම් ලෙසකින් ඔහුටද විශ්වාසභංගයක් පැමිණියහොත් මෙම තත්ත්වය තව තවත් තීව්‍ර වනු නොඅනුමානය.

රුචිර දිලාන් මධුසංඛ
ruchiradmadushanka@gmail.com

 

Untitled-22
කසළ නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් පසුගිය කාලය තුළ ගැටලු රැසකට මුහුණදීමට සිදුවූ අතර ඒ සඳහා ස්ථිරසාර විසඳුමක් ලෙස කසළවලින් විදුලිය උපදවන ශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යාපෘති දෙකෙහි ඉදිකිරීම් ආරම්භ කිරීම කෙරවළපිටියේදී පසුගියදා (10) සිදු කෙරිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරු ඇතුළු පිරිස එම අවස්ථාවට පැමිණි අයුරු.ඡායාරූපය : කපිල ආරියවංශ (ජනාධිපති මාධ්‍ය අංශය)
Untitled-23
හෝමාගම, දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (10) සිදු කෙරිණි. එම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා විසින් සමරු ඵලකය විවෘත කළ අවස්ථාව. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ද ඡායාරූපයේ සිටිති.
Untitled-24
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ජුලම්පිටියේ මංගල හිමියන් විසින් රචිත දෙමළ භාෂාවේ ක්‍රියාපද විමර්ශන නමැති ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය පසුගිය (08දා) පැවැති අතර එම අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරු හමුවූ අවස්ථාව.