ඇමැති රවි කරුණානායකගේ ඉල්ලා අස්වීම මේ වනවිට දේශපාලනිකව හා සමාජීය වශයෙන් විවිධ අර්ථකථනවලට ලක්ව තිබේ. අගමැතිවරයා නම් ප්‍රකාශ කළේ රවි කරුණානායකගේ ඉල්ලා අස්වීම අලුත් දේශපාලන සංස්කෘතියක ආරම්භය සනිටුහන් කරන බවය. නීතියෙන් වරදකරුවකු නොවුණත් ඇමැතිවරයාගේ ඉල්ලා අස්වීම ප්‍රශංසනීය කරුණක් බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පැවසීය. රවි කරුණානායක ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරමින් තරමක දීර්ඝ කතාවක් කළේය.  පාර්ලිමේන්තුව හා තම දේශපාලන පක්ෂය පිළිබඳ සිතා ඉල්ලා අස්වීමේ තීන්දුව ගත් බව ඔහු අවධාරණය කළේය. එසේම ඉතිහාසය විසින් තමන්ට හිමි තැන තීරණය කරනු ඇතැයි ද රවි විශ්වාසය පළ කළේය. එපමණක් නොව ඔහු ආගමික පාඨ රැසක් ද උපුටා දැක්වීය.

ඉකුත් 10 වැනිදා මෙසේ රවි කරුණානායක විදෙස් ඇමැති ධුරයෙන් ඉල්ලා ඉස්වී පාර්ලිමේන්තුව පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස ඉඳ ගත්තද ඊට පෙර සිට පැවතියේ ඒ ගැන දැඩි අවිනිශ්චිතතාවකි. ඉකුත් සතියේ අවසානය වන විට රවි ඉල්ලා අස්වෙනවා ද නැද්ද යන්න පිළිබඳව මාධ්‍ය මගින් පළකළේ යම් අනියත අදහසකි. රවි කරුණානායක මුහුණු‍පොත මගින් තම ඉල්ලා අස්වීම පිළිබඳ මාධ්‍ය මගින් දක්වා තිබූ වාර්තා යම් යම් ආරංචි මාර්ග ප්‍රතික්ෂේප කර තිබුණි. එපමණක් නොව ඔහු අවධාරණය කර තිබුණේ තමන් කිසිසේත්ම ඉල්ලා අස් නොවන බවය. එහෙත් රවි කරුණානායක පිළිබඳ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යම් එකඟතාවකට පැමිණි බව පෙනේ.

අගමැතිවරයා රවි කරුණානායක සමග ජනාධිපතිවරයා හමුවූ අතර එහිදී ඇති වූ කතාබහ ඉතා උණුසුම් එකක් වූ බව වාර්තා වේ. එම කතාබහේදී ජනාධිපතිවරයා රවි කරුණානායකට ඉල්ලා අස්වෙන්නැයි තදින් කරුණු දක්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඉල්ලා අස්වීමට පෙර පැවති කැබිනට් හමුවට ද සහභාගි නොවීමෙන් පෙනෙන්නේ ඇමැතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව ඒ වන විට ද යම් අවිනිශ්චිතතාවක් තිබුණු බවය.

කොහොම නමුදු ඇමැතිවරයාගේ ඉල්ලා අස්වීම සඳහා තීරණාත්මක වශයෙන් බලපෑවේ බැඳුම්කර ගනුදෙනුව සිදුවන සමයේ ඔහු මුදල් ඇමැති ධුරය දැරීම යන කරුණට වඩා අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම මගින් බදු ගෙවනු ලැබූ නිවසක ඔහු පදිංචිව සිටි බව විනෝදනී නමැති සාක්කිකාරියගේ කරුණු දැක්වීමෙන් හෙළිවීමය. ඒ සමග ප්‍රබල දේශපාලනික හා සමාජීය විරෝධයක් මතුවිය. එකී විරෝධය ජන මාධ්‍ය මගින් පැහැදිලිව ඉස්මතු කර තිබුණි. මෙකී විරෝධය ඇමැතිවරයාගේ ඉල්ලා අස්වීමට ඉතාම තීරණාත්මකව බලපෑ බව පෙනේ. ඉකුත් ආණ්ඩුව සමයේද මෙසේ චෝදනාවට ලක්වූ මැති ඇමැතිවරුන් රැසක් වූහ.  එසේ වුවද ඔවුන් නිදහසේ සිටියේ එම ආණ්ඩුව එක්තරා ආකාරයක ශක්තිමත් එකක් වූ නිසාය. යහපාලන ආණ්ඩුව දේශපාලනිකව එබඳු ශක්තිමත් එකක් නොවේ. මෙරට දේශපාලන ඉතිහාසය දෙස බලන විට හවුල් ආණ්ඩුවක් ඉතා ශක්තිමත්ව ගමන් කළ ආකාරය දැකගත නොහැකිය. යහපාලන ආණ්ඩුවට ද එම සාධකය ‍පොදුය.

මෙයට පෙර රවි කරුණානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ ආණ්ඩුව රැකගැනීම සඳහාය. එම අවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවා නොහැරියේ නම් බොහෝ විට ආණ්ඩුව බිඳ වැටීමට ඉඩකඩ තිබුණි. මෙවර ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව  පෙරට වඩා  වෙනත් මුහුණුවරක් ගත් බව පෙනේ. එයට හේතුව ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය නොකරන දේශපාලන කණ්ඩායම්වල සහයෝගය ලැබිමේ ප්‍රබල ඉඩකඩක් නිර්මාණය වීම නිසාය. ඒකාබද්ධ විපක්ෂය විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කළේ රවි කරුණානායකට එරෙහිව ගොඩනැගුණු ප්‍රබල සමාජ දේශපාලන විරෝධය මැනවින් තක්සේරුකර බව පෙනේ.

එවැනි පසුබිමක ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැතිඇමැතිවරුන්ටද විශ්වාස භංගයට සහයෝගය නොදී නොසිටිය හැකි පසුබිමක් නිර්මාණය විය. යම් හෙයකින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැතිඇමැතිවරුන් විශ්වාස භංගයට සහයෝගය නොදෙන ස්ථාවරයකට ගියේ නම් ඔවුන් දැඩි සමාජ විරෝධයකට ලක්වීමේ ඉඩකඩ තිබුණි.

එපමණක් නොව එසේ බහුතර සහයෝගයකින් ජයග්‍රහණය කළේ නම් එය ආණ්ඩුවේ පැවැත්මද බිඳ දැමීමට හේතුවීම නොවැළැක්විය හැකිය.  එනිසා රවි කරුණානායක ගේ ඉල්ලා අස්වීම පිළිබඳ පුළුල් දේශපාලන ප්‍රවේශයකින් බලන කල ආණ්ඩුව ගියවර පාර්ලිමේන්තුව විසිරුවා හැර ආණ්ඩුව රැකගත්තද මෙවර රවි කරුණානායක බිලි දී තම පැවැත්ම ස්ථාවර කරගත් බවය. රවි පිළිබඳ ගැටලුව කෙතරම් උග්‍ර තැනකට පත්වූයේ ද යත් එය රවි ද? ආණ්ඩුවද? යන තීරණාත්මක විවාදයට මගපෑදීය.

අවසානයේ රවි වෙනුවට ආණ්ඩුව ජයගත්තේය. රවි කරුණානායකගේ ඉල්ලා අස්වීම දෙස බැලිය යුත්තේ මෙකී දේශපාලන පසුබිම අනුවය. ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් රවි කරුණානායකට පසුපෙළ මන්ත්‍රීවරයකු සේ පාර්ලිමේන්තුවේ ඉඳගැනීමට සිදුවිය. එපමණක නොව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් රවි හමුවී අවධාරණය කර තිබුණේ පක්ෂය ගැන හිතා තීන්දුවක් ගන්න කියාය. බොහෝ කාලයක් පරාජිත පිල නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂය හාපුරා කියා මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්කරගෙන ආණ්ඩුවක් හැදූ අවස්ථාවක මෙබඳු තත්ත්වයන් පැනනැගීම කිසිසේත්ම දේශපාලනිකව ගුණදායක නැති බව කිසිසේත්ම අමුතුවෙන් කිව යුතු නැත. එය එක්සත් ජාතික පක්ෂයේ ජන පදනම දෙදරීමට හේතුවිය හැකිය.

විශේෂයෙන් නව ඡන්දදායකයන්ගේ ආකර්ෂණය අඩුවීමට එය බලපෑම නොවැළැක්විය හැකිය. බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ගැටලුවත් සමග ආණ්ඩුව පත්වූයේ පුදපු ගමන් කාපි යකා යැයි කියන ආකාරයේ තත්ත්වයකටය. මෙකී ගනුදෙනුව පිළිබඳ පාර්ලිමේන්තු ‍පොදු ව්‍යාපාර කාරකසභාව ඉදිරිපත කළ ඉතා ශක්තිමත් වාර්තාව පදනම් කරගෙන ආණ්ඩුව මුලින්ම අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවූයේ නම්  මෙබඳු ආකාරයේ අර්බුදයකට මුහුණ නොදෙනු ඇත. එසේ මුලින් විසඳිය යුතු ගැටලු විවිධ හේතු නිසා කල් දැමීම ආණ්ඩුව අර්බුදයට යාමට හේතු වූ බව පෙනේ.

ජනාධිපතිවරයා ද මුල් අවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවාහැරියේ යහපාලන ආණ්ඩුව රැකගැනීම සඳහා විය හැකිය.  ඔහු අගමැති රනිල් වික්‍රමසිංහ සමග ඇතිකරගත් එකඟතාව අනුව ඔහුට නිදහසේ ආණ්ඩුව කරගෙන යාමට ඉඩදී බලාසිටියේය. එනිසා මුල් වටයේදී ජනාධිපතිවරයා විවේචනයට ලක්වූයේ ඔහු ආණ්ඩුවට ප්‍රමාණවත් පරිදි මැදිහත් නොවේයැයි කියාය.  ඒසේ නමුදු මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීම ඉකුත් මැයි මාසයේ කැබිනට් සංශෝධනයේදී රවි කරුණානායකගේ මුදල් ඇමැතිකම ගැලවීම, පසුගිය 10 දා ඔහුගෙන් විදෙස් ඇමැති ධුරයද ඉවත් කිරීම ආදියෙන් පෙනෙන්නේ ජනාධිපතිවරයා දැන් බලන් සිටීමේ ප්‍රතිපත්තිය වෙනුවට වැඩට බැස ඇති බවය. අපට පෙනෙන පරිදි ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් මහජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය කෙරෙහි  ජනාධිපතිවරයා ඉතා ප්‍රමුඛ අවධානයක් දක්වයි. ඔහු එයට ගරු කර තීරණ ගැනීමට පෙලඹෙන බව පෙනේ.

එහෙයින් රවි කරුණානායකගේ ඉවත්වීම ජනාධිපතිවරයා තම ජන මතයට ගරු කර ජු ස්ථාවරයක සිටීමේ ප්‍රතිඵලයක් සේ සැලකිය හැකිය. එක් පැත්තකින්  ආණ්ඩුවේ මුල් අවධියේ දී සේ නොව මෑත කාලයේ සිට ජනාධිපතිවරයා වටා යම් කණ්ඩායමක් එකතුව ආණ්ඩුවේ දේශපාලන ගමන් මග පිළිබඳ කතාබහක් ඇතිවීම එයට එක් හේතුවකි. කෙසේ වුවද රවි කරුණානායක පමාවී හෝ ඇමැති ධුරයෙන් ඉවත්වීම අගය කළ යුතුය. එමගින් අනෙක් දේශපාලනඥයන්ට නිලධාරීන්ට ලැබෙන පණිවිඩය සුළුපටු එකක් නොවේ. වැරදිවලට යොමුවන දේශපාලනඥයන්ට වරක් නොව සිය වරක් කල්පනා කිරීමට එය හොඳ පූර්වාදර්ශයකි.   ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී ඉතා නිවැරදිව ප්‍රකාශ කළ පරිදි රවි කරුණානායකගේ ඉල්ලා අස්වීමෙන් බැඳුම්කර මගඩිය පිළිබඳ ප්‍රශ්නය විසඳෙන්නේ නැත. සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළ පරිදි නිධානයට බිල්ල වුණේ රවි කරුණානායක වුණාට නිධානය මංකොල්ල කෑවේ කවුරුද කියා රටට විධිමත්ව හෙළිවී නැත. අනෙක් අතට රවි කරුණානායක ඉල්ලා අස්වූ පමණින් රටට සාධාරණය ඉටු වන්නේ ද නැත. එයට හේතුව කොමිසමෙන් හෙළිවන කරුණු අනුව අධිකරණ ක්‍රියාමාර්ගයක් ද ගතයුතු නිසාය. එබඳු අධිකරණ ක්‍රියාමාර්ගයක් සඳහා ඉතා ශක්තිමත් පදනමක් දැන් ගොඩනැගී තිබේ.

කෝප් කමිටු වාර්තාව සහ ඉදිරියේදී එළිදැක්වෙන ජනාධිපති කොමිසම් සභාවේ වාර්තාව එබඳු ශක්තිමත් පදනමක් සඳහා හේතුවේ. එවැනි සාධාරණ ක්‍රියාමාර්ගයක් සඳහා රවි කරුණානායක ඇමැති ධුරයක් දැරීම බාධාවක් වීම ඔහුගේ ඉවත්වීමෙන් වැළකේ.

රවි කරුණානායකගේ ඉවත්වීමෙන්  අගමැති රනිල් වික්‍රමසිංහට තම ප්‍රබල සගයෙක් අහිමිවිය. මෙසේ ඔහුගේ ප්‍රබල සගයකු චෝදනාවට ලක්වීම අගමැතිවරයාගේ ඉදිරි දේශපාලන ගමනට  ද නිශේධනීය ආකාරයෙන් බලපෑ හැකිය. ඉකුත් ආණ්ඩුව කාලයේ මැති ඇමැතිකම් දැරූ අයගේ දූෂණ වංචා තේරීම සඳහා ද ජනාධිපති කොමිසම පත්කරන්නැයි හරීන් ප්‍රනාන්දු වැනි අය ඉල්ලා සිටින්නේ එනිසා විය හැකිය.

රවි කරුණානායකගේ ඉල්ලා අස්වීම සමග ආණ්ඩුවේ අර්බුදය එකවිට විසඳේයැයි සිතිය නොහැකිය. එයට හේතුව මේ වනවිට ආණ්ඩුවේ තවත් ප්‍රබල ඇමැතිවරයකු වන විජයදාස රාජපක්ෂට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සූදානම් වන නිසාය. ඉකුත් දින පැවති මාධ්‍ය හමුවකදී ඇමැති රාජිත සේනාරත්න ද, ඇමැති විජයදාස රාජපක්ෂ විවේචනය කළේය. මේ සියලු දෙනා ප්‍රකාශ කරන්නේ විජයදාස රාපක්ෂ ආණ්ඩුවේ සාමූහික වගකීම නොතකා කටයුතු කරන බවය.  එයට දැක්විය හැකි ආසන්නම නිදර්ශන චීනයට පැවරූ හම්බන්තොට වරාය යළි ආපසු පවරා ගන්නේ යැයි ඔහු ප්‍රකාශයක් කිරීමය.  මෙය පැහැදිලිවම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම නොතකා හැරීමකි. එසේම විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා අභියෝගයට ලක්කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවය.

සමහර ප්‍රකාශ ඔහු ඉදිරිපත් කළේ ජනාධිපතිවරයාද ඒවා අනුමත කරනු ඇතැයි කියමිනි. එයට දැක්විය හැකි නිදර්ශනය ලක්ෂාන් ඩයස් නමැත්තා පිළිබඳ විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා දැරූ දැඩි ස්ථාවරයයි. මේ අතර රවි කරුණානායකගේ ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයකු වන  සුසිල් ප්‍රේම්ජයන්ත තමන් ආණ්ඩුවේ ගමන පිළිබඳව කලකිරීමෙන් සිටින බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවද විකිණීමට පෙර ජනතාව පියවර ගත යුතු බව ඔහු අවධාරණය කර තිබුණි. මෙමගින් පෙනෙන්නේ ආණ්ඩුව කරන  පාර්ශ්ව දෙක අතර දේශපාලන පරස්පරයන් ප්‍රබලව ඉස්මතුවී තිබෙන ආකාරයයි. ඉදිරියේදී ආණ්ඩුවේ පාර්ශ්ව දෙක අතර ගැටුම රවි කරුණානායක සිදුවීම මුල්කරගෙන ඉතා ප්‍රබල තැනකට පත්විය හැකිය.

හිටපු මහබැංකු අධිපතිවරයා, රවි කරුණානායක වැනි  අය මුල්කරගෙන ඇතිවූ සිදුවීම්වලින් අගමැති රනිල් වික්‍රමසිංහ මුල්කරගත් ආණ්ඩුව පිළිබඳ යම් තක්සේරුවක් ඇති කරගැනීමට ජනතාවට  අවස්ථාවක් ලැබි තිබේ. එහෙයින් ඉදිරියේ ඇතිවන දේශපාලන කාරණා අනුව ජනාධිපතිවරයා හා  අගමැතිවරයා අතර එකඟතාව කෙබඳු ස්වරූපයක් ගනීද යන්න තේරුම් ගත හැකිය. රවි කරුණානායකගේ ඉල්ලා අස්වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය තුළද  යම්  බලගැටුමක් ඇතිවිය හැකිය. රවි සහ සජිත් ප්‍රේමදාස අතර එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි නායකත්වය සඳහා ප්‍රබල අරගලයක් තිබුණු බව රහසක් නොවේ. එය යම් දුරකට යටපත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීම නිසාය. එහෙයින් රවි කරුණානායකට මුහුණදීමට සිදුවූ  අර්බුදය හේතුවෙන් සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ඉඩකඩ පුළුල්වී තිබේ. ඉකුත් දිනවල සජිත් ප්‍රේමදාස මාධ්‍යවලින් දැක්වූ අදහස්වලින් පෙනෙන්නේ ඔහු රවිට අත් වූ ඉරණම පිළිබඳ එක්තරා ආකාරයක සතුටට පත්ව ඇති බවය. කෙසේ වුවද ඉදිරියේ මෙරට දේශපාලන සිතියම බෙහෙවින් වෙනස්වනු ඇත. ඉදිරි මැතිවරණවලදී ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් ශක්තිමත් දේශපාලන බලවේගයක් සේ ඉස්මතුවීමට ඉඩ තිබේ.

 වරුණ අබේසේකර