අනුබුදු මිහිඳු හිමියන් වැඩම කළ දා සිට ක්‍රි.ව. 1505 දක්වා ලක්දිව පැවතියේ එකම ආගමකි. එනම් බුදු දහමයි. සාමකාමී සුහද වාතාවරණයක් යටතේ එම දහම ලක්දිවට හඳුන්වා දෙන ලදී. එයට එරෙහි ව්‍යාපාරයක් පිළිබඳව අසන්නට නැත. ලක්දිවට පැමිණි පෘතුගීසි ජාතිකයෝ ආක්‍රමණකාරී දරුණු පිරිසක් වූහ. ඔවුන් පෙරදිගට පැමිණීමේ පරමාර්ථය වූයේ කුළුබඩු එකතු කිරීමත්, සිය ආගම පැතිරවීමත්ය.

ක්ව්රෝස් පවසා ඇති පරිදි ඔවුන් ආගම ප්‍රචාරය කළේ ආගමික නායකයන් මගින් නොවේ. ආයුධ අතින් ගත් සෙබළුන් මගිනි. ආගමික නිදහස පිළිබඳ කිසිම හැඟීමක් නැති මෙම යුද භටයෝ බලහත්කාරයෙන් අසරණ මිනිසුන් මත ආගම පැටවීමට උත්සාහ කළහ. පෘතුගීසීන් ලංකාවට පැමිණ වසර පන්සියයක් ගත වන මෙම වකවානුවේදී එම වේදනාකාරී අතීතය සිහිපත් කිරීම වටී.

මුහුදුබඩ ප්‍රදේශ යටත් කර ගත් පෘතුගීසී බුදුදහමට එතෙක් ලැබුණු රාජානුග්‍රහ නතර කළහ. බෞද්ධයා සිය රටෙහිම විදේශික පිරිසක් මෙන් විය. දුර්වල ධර්මපාල කුමාරයා උපක්‍රමශීලීව කතෝලික ආගමට හරවා ගැනීම නිසා බෞද්ධයාගේ තත්ත්වය තවත් අසරණ විය. පහතරට පෘතුගීසීන්ට යටත් වූ ප්‍රදේශයෙහි විහාරස්ථාන ගණනාවක් විනාශ කරන ලදී. භික්ෂූන් වහන්සේලාට මුහුණදීමට සිදුවූයේ ඉතාම අසීරු තත්ත්වයකටය.

ක්‍රි.ව. 1658 දී ලංකාවට පැමිණි ලන්දේසීහු රෙපරමාදු ආගම ප්‍රචාරය කළහ. කතෝලිකයන් සහ ඔවුන් අතර මතභේද ඇති විය. කෙසේ වෙතත් රෙපරමාදු කතෝලික යන නිකාය දෙකටම අයත් පිරිස් ලංකාවේ ඇති විය. ආණ්ඩුවේ තනතුරු දැරීමට නම් රෙපරමාදු ආගම වැලඳගත යුතු යැයි ඔවුහු ප්‍රකාශ කළහ.

ඉංග්‍රීසිහු මෙම පෘතුගීසි හා ලන්දේසි ජාතීන්ට වඩා සියුම් උපක්‍රම මගින් බුදුදහම වැනසීමට වෙර දැරූහ. 1796 ඔවුන්ගේ පාලනය ආරම්භ වූ අවස්ථාවේ සිට ආගම් ප්‍රචාරයට ද මුල් තැනක් දුන්හ. පාසල් හරහා ක්‍රිස්තියානිකරණය ඔවුන්ගේ ප්‍රධාන උපක්‍රමයක් විය. 1814 ලංකාවට පැමිණි වෙස්ලියන් මිෂනාරි සමාගම දැඩි උනන්දුවකින් ආගම් ප්‍රචාරය සිදු කළේය. පානදුරා මහාවාදය සිදුවූයේද මෙම වෙස්ලියන් පූජකවරුන් මූලික කරගෙනය.

වෙස්ලියන් සමාගම බුද්ධ චරිතය කෙළසමින්, බුදුදහමට නිගා දෙමින් පත්‍රිකා මුද්‍රණය කර ප්‍රචාරය කළේය. මේ ගැන සොයා බලා සාධාරණයක් ඉටු කරන්නැයි 1826 දී පානදුරේ ඇතුළු ගම් කිහිපයක වැසියෝ එඩ්වර්ඩ් බාර්න්ස් ආණ්ඩුකාරවරයාට පෙත්සමක් යැවූහ. මිෂනාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවට මෙයට පිළිතුරු එවා ඇතත් එය ඉටුවීදැයි පැහැදිලි නැත.

වර්ෂ තුන්සියයකටත් වැඩි කාලයක් සිදුවූ අසීමිත වේදනාවන් විඳදරා ගැනීමට නොහැකි වූ තැන බෞද්ධ භික්ෂූහු තිර අදිටනින් යුතුව සාමකාමී විරොධතාවක් පෑමට තීරණය කළහ. මේ වනවිට බෞද්ධ ක්‍රිස්තියානි දෙපක්ෂය අතර පත්‍රිකා සහ ‍පොත්පත් මගින් වාද පවත්වමින් පැවතිණි. පත්‍රිකා මගින් නොව මෙකී වාද මුහුණට මුහුණ ලා පැවැත්විය යුතු යැයි අදහසක් මතු විය. ඒ අනුව ප්‍රසිද්ධ වාද පහක් සිදුවිය. වරාගොඩ (1865), බද්දේගම (1865), උදන්විට (1866), ගම්පල (1871), පානදුරේ (1873)

පානදුරේ වාදයට ආසන්නම හේතුව වූයේ 1873 ජුනි 12 වෙනි දින පානදුරේ වෙස්ලියන් දේවස්ථානයෙදී දාවිත් ද සිල්වා දේවගැතිතුමා බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීම් වැරදි ලෙස අර්ථකථනය කරමින් දේශනයක් පැවැත්වීමයි. මේ පිළිබඳව දැනගත් රන්කොත් විහාරයේ ප්‍රධාන දායකයින් වන පී. ජෙරමියෙස් දියෙස් මැතිතුමා සහ කොර්නේලිස් ප්‍රේරා කරුණාරත්න මැතිතුමා වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණාන්ද මාහිමියන් වඩමවා රන්කොත් (ගල්කන්දේ) විහාරයේදී පිළිතුරු දේශනයක් පැවැත්වූහ. මෙසේ පන්ස‍ලේ සහ පල්ලියේ ප්‍රත්‍යුත්තර දේශනා කිහිපයක් පැවැත්විණි.

මේ අතර මුහුණට මුහුණලා වාදයක් පැවැත්වීමේ යෝජනාවක් ක්‍රිස්තියානි පක්ෂයෙන් පීතර් දානියෙල් නීතිඥ මහතාගේ සහ මත්තෙස් සුවාරිස් ගුණවර්ධන මහතාගේ අත්සන් සහිතව ලැබිණ. ඒ අනුව 1873 අගෝස්තු 26, 28 දෙදින පානදුරා මහාවාදය පැවැත්වීමට තීරණය විය.

බෞද්ධ පක්ෂය වෙනුවෙන් හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා නාහිමි, වැලිගම ශ්‍රී සුමංගල මහා නාහිමි, බුලත්ගම ධම්මාලංකාර නාහිමි, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමි, වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාත් ශ්‍රී දේවරක්ෂිත බටුවන්තුඩාවේ ප¾ඩිතුමාත් වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියන්ට සහාය වූහ.

ක්‍රිස්තියානි පක්ෂයේ ප්‍රධාන කථිකයන් වූයේ දාවිත්ද සිල්වා පාදිලිතුමා සහ සිරිමාන්න කතීසේරුතුමාත්ය. ගුණවර්ධන, ජයසිංහ, චාර්ල්ස්ද සිල්වා යන පාදිලිවරු සහාය වූහ.

වාදය ඉතා සාමකාමීව පැවැත්විණ. ගුණානන්ද හිමියන්ගේ චතුර වාග් ශක්තිය විශේෂයෙන් කැපී පෙනිණි. ඇස්. ලන්ග්ඩන් පියතුමා ලංකා මිත්‍ර සඟරාවේ මෙසේ සඳහන් කරයි. “මොහොට්ටිවත්තේ කතා කරන විට මට එංගලන්තයේ ඉතා දක්ෂ කථිකයෝ මතක් විය. මහජනයා කෙරෙහි බලයක් තිබෙන බවද උන්වහන්සේගෙන් ප්‍රකාශ විය. විරුද්ධකාරයා අභිභවනය වන අන්දමේ ස්වරයක්ද තිබුණි. සභාව ‍පොලඹවා ගන්න පුළුවන් උපන් කථිකයෙක් බැව්ද පෙනී ගියේය. වාදය අවසානයේදී දහස් සංඛ්‍යාත ජනයා මහත් සතුටු නාදයෙන් ප්‍රීති ඝෝෂා කළහ. කිසිම කලබලයක් නැතිවීම මගේ පුදුමයට කාරණයක් විය. එවැනි විශාල පිරිසක් මැද යුරෝපයේ කවර රටක කලබලයක් නැතිව එවැනි විවාදයක් කළ හැකිදැයි මම ප්‍රශ්න කරමි.”

පානදුරා මහාවාදයේදී ක්‍රිස්තියානි පක්ෂය බුදුදහමේ මූලික ඉගැන්වීම් වන පටිච්චසමුප්පාදය, පඤ්චස්කන්ධය, කර්මය, පුනරභවය විවේචනයට ලක් කර තිබුණි. වැරදි ආකාරයෙන් අර්ථකථනය කිරීම කැපී පෙනෙන ලක්ෂණයකි. මෙය උපක්‍රමශීලී පටලැවීමක්. පටිච්ච සමුප්පාදසිද්ධාන්තය බිඳ හෙළුවහොත් අනෙක් සියල්ලම බිඳ වැටෙන බව ඔවුහු දැන සිටියහ. සියලු ප්‍රශ්න සහ තර්ක විතර්කවලට ඉතා පැහැදිලිවම සරලව ගුණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිතුරු සැපයූහ. පටිච්චසමුප්පාදයේ සාමාන්‍ය න්‍යාය සහ විශේෂ න්‍යාය පටලවාගෙන ඇති බව පැහැදිලි කර දුන්හ. ඒ අනුසාරයෙන් පඤ්චස්කන්ධ විභාගයේ සාධාරණත්වය ඔප්පු කර තිබේ. ක්‍රිස්තියානි පක්ෂයේ තර්ක එකින් එක බිඳ වැටී තිබේ. ගුණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට ක්‍රිස්තියානි ආගම පිළිබඳ තිබුණේ ගැඹුරු දැනුමක්. විවිධ බයිබල් ඉදිරිපත් කරමින් ඒවායේ පරස්පරතා ඇති බව පැහැදිලි කළහ. උන්වහන්සේ නැගූ සමහර ප්‍රශ්නවලට අදත් පිළිතුරු ලැබි නොමැත. උන්වහන්සේගේ තර්ක එතරම් ප්‍රබලය.

පානදුරා වාදයෙන් අප ලබන ආස්වාදය කුමක්ද යනු වැදගත්ම ප්‍රශ්නයකි. බොහෝ විදේශිකයන් අපෙන් නගන ප්‍රශ්නය එයයි. එදා දැල්වූ පහන නොනිමා තබා ගැනීමට අපි සමත් වී සිටිමුද? එයින් මතු කර දුන් ධර්ම ශක්තිය අප තුළ පවතීද? මිහිඳු හිමියන් ලබා දුන් දායාදය අපට නැවත හිමි කර දුන්නේ ගුණානන්ද හිමියන්ය. එම උදාර දායාදය රැක ගැනීම අපේ පරම යුතුකමයි.

පානදුරාවාදයේ විස්තරයක් එඩ්වර්ඩ් පෙරේරා නීතිඥතුමා විසින් ‘ද සිලෝන් ටයිම්ස්’ පත්‍රයේ පළ කරවන ලදී. පසුව මෙය කුඩා ‍පොතක් ලෙස මුද්‍රණය කරවීය. එහි පිටපතක් පරමවිඥානාර්ථවාදීයකු වූ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ අතටද පත් විය.

බුදුදහම පිළිබඳ මහත් ප්‍රබෝධයක් එතුමා තුළ ඇති විය. ගුණානන්ද මාහිමියන් හමුවීමේ නොනිත් ආසාවෙන්ද පසුවිය. වසර කිහිපයකට පසු ලංකාවට පැමිණීමට එතුමාට එම අවස්ථාව ලැබිණ. ලංකාවේ ශ්‍රේෂ්ඨ සංඝ පිතෘෘන් වහන්සේලා සහ තරුණ ධර්මපාලතුමාද සමග බෞද්ධයන්ට හිතකාමී විවිධ වැඩපිළිවෙළ එතුමා විසින් දියත් කරන ලදී.පානදුර මහා වාදයේ එක් ප්‍රතිඵලයක් ලෙස ඕල්කට්තුමාගෙ ලංකාගමනය සැලකිය හැකිය.

පානදුරා මහාවාදය සිදුවන විට ධර්මපාලතුමා නව හැවිරිදි දරුවෙකි. කුඩා වියෙහිදීම ආගම සහ ජාතිය පිළිබඳ හැඟීමක් ඇති කර ගැනීමට මෙම වාදය හේතුවක් විය. ගුණානන්ද හිමියන්ගේ වාග් චාතූර්යය ධර්මපාලතුමා තුළද පිළිරැව් දෙන්නට ඇතැයි සිතිය හැකිය. එතුමාගේ ව්‍යාපාරයට මග හෙළි කළේ පානදුරා වාදයයි. ගුණානන්ද හිමියන් සමග සමීප ඇසුරක්ද ගොඩනගාගෙන තිබුණි.

මෙලෙස පානදුරා මහාවාදයෙන් එදා දිනාගත් අයිතිවාසිකම් මතු පරපුරටද උරුම කර දීම අපේ පරම යුතුකමයි. එදා දැල්වූ නැණ පහන නොනිමා ඉදිරියට ගෙන යාමට උත්සාහ කළ යුතුය.

පානදුරේ රන්කොත් විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය, රාජකීය පණ්ඩිත,
කහ‍පොළ සුගතරතන හිමි