ලාෆීර් මොහොමඞ් ඉන්සාර් සය හැවිරිදි දරුවෙකි. අක්කරෙයිපත්තුව ඔලූවිල් ප‍්‍රදේශයේ විසූ ඉන්සාර් ඔලූවිල් අල්  ජායිසා විදුහලේ දෙක වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත. පොඩි දරුවකු වූ ඉන්සාර්ට නිවස ආසන්නයේ කඩයටත් පියාගේ කුකුල් මස් කඩයටත් යෑම ආගන්තුක දෙයක් වූයේ නැත. පසුගිය දවසක දවල් 11ට පමණ ඉන්සාර් ඔහුගේ කුඩා බයිසිකලයේ නැගී කඩයට ගියේය. ඒත් වෙනදා සේ  ඔහු කඩෙන් බඩුගෙන ඉක්මනින් ගෙදර ආවේ නැත. ඒ ළඟම වූ තාත්තාගේ කුකුල් මස් කඩයටවත් ගොස් තිබුණේ නැත. ඉන්සාර්ගේ පැමිණීම පරක්කු වද්දී ගෙදර අය ඉන්සාර්ව හොයන්නට ගත්හ. ඒ දහවල් 2.00 ට පමණය.  නිවසේ සිට කඩයට ඒතරම් දුර නැත. ඒත් ඒ අතරමැද්දේ කොතැනකවත් ඉන්සාර් හිටියේ නැත. නමුත් ඔහුගේ කුඩා බයිසිකලය අතරමැද්දේ එක් තැනක තිබුණි.  බයිසිකලය ඉතුරු වෙද්දී ඉන්සාර් අතුරුදන්ව ගොසිනි. ඉන්සාර්ගේ මවුපියන් පුතුගේ අතුරුදන්වීම ගැන පල්ලියට දැනුම් දී පල්ලියෙන්ද ශබ්ද විකාශනයෙන් ඔහු අතුරුදන් බව නිවේදනය කළේය.

දරුවාගේ අතුරුදහන් වීමට කවුරුත් විස්සෝප වද්දී හවස 5 ට පමණ නැගෙනහිර විශ්වවිද්‍යාලේ විනය පාලක සේන සෙයියදු මොහොමඞ් බුහාරි මහතා ඔහුගේ මවගේ නිවසේ සිට පාරේ නවතා තිබූ සිය මෝටර් රථය වෙත ආවේය. ඉන්සාර්ගේ කුඩා බයිසිකලය තිබුණේ මේ කාරයට මීටර් සීයක් පමණ දුරිනි. උදේ මව බලන්නට පැමිණි ඔහු පාර අයිනේ මෝටර් රථය නවතා ඒ ආසන්නයේ වූ මවගේ නිවසට පැමිණ තිබුණි. මෝටර් රථය වෙත පැමිණ සෙයියදු මහතා එහි දොර අරිත්ම එතෙක් අභිරහසක්ව තිබූ ඉන්සාර්ගේ අතුරුදන්වීම හෙළිවුණේය.

සෙයියදු මහතාගේ මෝටර් රථයේ ඉදිරිපස අසුන ළඟ ඉන්සාර් වැටී සිටියේය. ඒ වනවිට ඉන්සාර්ගේ අතුරුදන්වීම දැනගෙන සිටි සෙයියදු මහතා ඉන්සාර්ගේ මවුපියන්ට ඒ ගැන දැනුම් දී වහා දරුවා අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කළේය.

ඒත් එ් වනවිටත් දරුවා මියගොස් සිටි අතර සිදුවීම පිළිබඳ පොලිසියට පැමිණිලි වන්නේ ඉන් පසුවය.

මේ ලෆීර් මොහොමඞ් ඉන්සාර් දරුවාගේ මරණයේ කෙටිම කතාවයි.
මේ කතාවේ හැම තැනකම  ඇත්තේ ඛේදවාචකය.

අවුරුදු හයක දරුවකු කඩයට ගොස් ගෙදර එන්නට පැය තුනක්  ප‍්‍රමාද වෙනතුරුත් දරුවා ගැන ගෙදර වැඩිහිටියන්ට මතක් නොවීම පුදුමය. එමෙන්ම දරුවා පැදගිය බයිසිකලය මග තිබියදී දරුවා ඒ අතර කොතැනක හෝ සිටින්නට ඉඩ ඇතැයි සිතා කිසිවකුටත් වාහන තුළට හෝ එබී බලන්නට නොසිතීමත් පුදුමය. දරුවා අතුරුදන් වී ඇතිබව කලින්ම පොලිසියට හෝ දැනුම් දුන්නා නම් පොලිසිය අවට කරන පරික්ෂාවේදී ඉන්සාර් කාරය තුළ සිටිනා බව දැන ගන්නට ඉඩ තිබුණි. අනෙක වාහනයේ හිමිකරු ඒතරම් වෙලාවකට වාහනයෙන් පිටව යන්නේ නම් වාහනය අගුලූ නොදා යෑමත් බරපතළ වරදකි.

පොඩි දරුවන්ගේ සිතුවිලිවලට සීමා මායිම් නැත. ඔවුන්ට හැමදෙයක් ගැනම ඇත්තේ ආසාවකි. කුතුහලයකි. ඉන්සාර්ටද වාහනය පසු කරද්දී වාහනයට නැග බලන්නට සිතෙන්නට ඇත. ඔහු බයිසිකලය එහි තබා ආපසු පැමිණ වාහනයේ දොරත් ඇර බලන්නට ඇත. සමහරවිට මේ වාහනය ඉන්සාර්ට ආගන්තුක වාහනයක් නොවන්නට ඇත. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා නිතර මහගෙදර එන යන අයෙක් නම් ඉන්සාර්ට මේ වාහනය හුරුපුරුදුය. කෙසේ හෝ වේවා ඉන්සාර්ගේ අවාසනාවට වාහනයේ දොර ඇරුණේය. ඔහු වාහනයට නගින්නට ඇත්තේ ආසාවෙනි. ඒ ළමයින්ගේ හැටිය.

”අද වාහනවලට විවිධ විදිහට වැටෙන අගුලූ එනවා. දරුවා වාහනයට නැග දොරවසා ගත් පසු කෙසේ නමුත් මොහොතකින් වාහනයේ දොරේ අගුල වැටී දරුවා වාහනය තුළ සිරවන්නට ඇති. ඒත් දරුවට ඒ බවක් දැනෙන්නත් නෑ. ඔහු ඒ ගැන හිතන්නත් නෑ. ඒ දරුවන්ගෙ හැටි. ඔහු සැප පහසු වාහනය ඇතුළේ දේවල් අතපත ගාමින් සිටිද්දී වාහනයෙන් පිටතට යන්නට උත්සාහ කරන වෙලාවක් එනවා. ඒ තමයි දරුවට හුස්ම ගන්න අපහසුබවක් දැනෙන වෙලාව. කාරය තුළ ඇති ඔක්සිජන් ප‍්‍රමාණය අවසන් වුණාම දරුවට  ඔක්සිජන් නැති වෙනවා. එතකොට ඔහුගේ මොළයේ ක‍්‍රියාකාරිත්වයටත්, හෘදයේ ක‍්‍රියාකාරිත්වයටවත් ඔක්සිජන් නෑ. හුස්ම ගන්න අමාරුවෙන් දඟලන්න ඇති. රුධිරයේ ඔක්සිජන් ප‍්‍රමාණය අඩුවුණම සිහි නැති වෙනවා. උගුර හිරවෙනවා. ශ්වසන මාර්ගය අවහිරවෙනවා. එතකොට කල්පනාවත් නැතිවෙනවා. මොකුත්ම කරගන්න බැරිවෙනවා. දරුවා සිහිවිසඥ වී මරණයට පත්වන්න ඇති.”

කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අරුණ  මුණසිංහ මහතා පවසන්නේ මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැක්කේ වාහනය වසා තැබීම නිසා ඔක්සිජන් හි`ග වී කාබන්ඩයොක්සයිඞ් වැඩි වී එක්තරා අවස්ථාවක මොළයට සහ හදවතට අවශ්‍ය ඔක්සිජන් ප‍්‍රමාණය නැතිවී සිහිවිසඥ තත්ත්වයට පත්වීමෙන් පසු බවයි.
”සාමන්‍ය පුද්ගලයකු සාමාන්‍ය පරිසරයේ හුස්ම අරන් පිට කරද්දී ඔක්සිජන් අවශ්‍ය ප‍්‍රමාණෙට ලැබෙනවා. නමුත් මේ වගේ විශේෂ අවස්ථාවකදී  හුස්ම ගන්න ලැබෙන්නෙ සීමිත වායු ප‍්‍රමාණයක.  හුස්ම ගන්න ප‍්‍රමාණයට  ඔක්සිජන් හි`ගවෙලා අපි පිට කරන  කාබන්ඩයොක්සයිඞ් වාතය වැඩිවෙනවා. ඔක්සිජන් සාන්ද්‍රණය අඩුවෙද්දී එන්න එන්නම හුස්ම ගැනීම. අපහසු වෙනවා. එතකොට තමයි මොළයට අවශ්‍ය, හෘදයට අවශ්‍ය, ඔක්සිජන් ප‍්‍රමාණය අඩුවෙලා සිහිවිසඥ වෙන්නේ. සිහිවිසඥ තත්ත්වෙට එනකොට මොකද්ද කරන්නෙ කියලා හිතන්න බැරි වෙනවා. කල්පනාව නැතිවෙනවා.”

වාහනයේ ඉදිරිපස උපකරණවලට හානි සිදුව ඇතිබව මරණ පරික්ෂණයේදී හෙළිවී තිබුණි. දරුවා වාහනයෙන් එළියට යන්නට අන්තිම මොහොතේ උත්සාහා කරන්නට ඇත.

වාහන තුළ මේ අයුරින් දරුවන් සිරවී මිය යෑම ලෝකයෙන් ද අසන්නට ලැබෙන්නකි. නමුත් මේ ලංකාවෙන් වාර්තා වූ දෙවැනි සිදුවීමයි. මින් පෙර අවස්ථාවකද ගෙදර පොඩි දරුවා අල්ලපු ගෙදරට සෙල්ලම් කරන්නට ගියායැයි මවුපියන් සිතා සිටියදී ගරාජයේ තිබූ වාහනයට නැගී මේ අයුරින්ම පිටතට එන්නට නොහැකිව මියගොස් තිබුණේය.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු හා විකලාංග අංශයේ අධ්‍යක්ෂිකා සමිදි සමරකෝන් මහත්මිය කියන්නේ දරුවකු ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන අවධියේ පටන්ම පාසලින් මෙන්ම ගෙදරින් ද මෙවන් අවදානම් තත්ත්ව ගැන දරුවා නිරන්තරව දැනුවත් කළ යුතු බවයි.

”මේ සිද්ධියේ  සම්පූර්ණයෙන්ම තියෙන්නේ වැඩිහිටියන්ගේ වැරැුද්ද ඔය වයසෙ දරුවෙක් කඬේ යවපු තැන ඉඳලා දරුවගේ පමාව පමාවක් කරලම හොයන්න පටන් ගත්ත එක කොයිතරම් ලොකු වැරැුද්දක් ද? දරුවා හොයන්න ගන්නෙ ගෙදරින් ගිහින් පැය තුනක් ගියාට පස්සෙයි. මම කියන්නේ අවුරුදු හතරෙ පහේ ඉඳලම ළමයිට කියලා දීලා තියන්න  ඕන, කාමරේක ඉන්නකොට දොරේ අගුල වැටුණොත් මොකද කරන්නේ, සෙල්ලමට අල්මාරිය ඇතුළට රිංගලා අල්මාරියේ දොර ඇරගන්න බැරි විදිහට වැහුණොත් මොකද කරන්නේ, නාන කාමරේ දොර වැහිලා නැත්තම් වැසිකිළියේ දොරට අගුලූ වැටුණොත් මොකද කරන්නේ. ඒ වගේම වාහනයක් ඇතුළෙ ඉන්නකොට දොර අගුලූ වැටුණොත් මොකද කරන්නේ කියලා. මේක ගෙදරින් කියලා දෙන්නත් පුළුවන්.. පාසලේදී කියලා දෙන්නත් පුළුවන්. වාහනයක හිරවුණොත් මොකද කරන්නේ කියලා දරුවන්ට කියලා දීලා දරුවන් හැමෝම දැනුවත් කරලා තිබුණොත් තවත් මේ වගේ ඛේදනීය කතාවක් අපිට අහන්න නොලැබෙයි. දැන් මේ වෙනකොට අනතුරු වැඩිවෙලා. අනතුරුවලට ප‍්‍රතිකාර කරනවට වඩා අනතුරු නිවාරණය කරන එකයි අපි කරන්න  ඕන. ඒකට අපි  පූර්ව ප‍්‍රසව වැඩසටහන් කරලා අම්මලා තාත්තලා දැනුවත් කරන වැඩමුළු තියනවා වගේ සෞඛ්‍ය වැඩසටහන් කරලා දෙමාපියන් දැනුවත් කරනවා නම් හොඳයි. ඒ වගේම පාසල් උදය රැුස්වීමෙදිත් දරුවන්ව මේව සම්බන්ධයෙන් දැනුවත් කරන්න පුළුවන් ”

නොදරුවන්ට කරන්නට නොහිතෙන දෙයක් නැත. ඔවුන් දකින හැමදේම හිතෙන හැම දේම අත්හදා බලන්නට යන වයසක් වේ. ඒ නිසා ඔවුන් ගැන ඇස ගසාගෙන සිටීම දෙමාපියන් සතු වගකීමකි. නොතේරෙන වයසට නොදරුවා කරන දෙය හොඳද, නරකද, අනතුරුදායකද, සුරක්ෂිතද කියා ඔහුට තේරෙන්නේ නැත. ඔහු හිතන්නේත් නැත. අල්මාරියක් තුළට රිංගා දොර වසා ගන්නේ, නාන කාමරය තුළට ගොස් දොර අගුලූ දමා ගන්නේ, එහේත් නැත්නම් නිදාගන්නා කාමරයට ගොස් අම්මාට අසු නොවන්නට දොර වසාගෙන හැංගී සිටින්නේත් මේ වයසේ දරුවන් ය. ඔවුන් එය වීරකමක් සේ සලකා කළද කිසියම්  කුතුහලයක් නිසා කළද ආසාවක් නිසා කළ ද එහි ඇති අනතුරුදායක තත්ත්වය ගැන වැටහීමක් නැත. ඒ නිසා එවන් දරුවන් ඇස් මායිමේ රඳවා ගන්නට දෙමාපියන් වගබලාගත ගත යුතුය. දරුවන් ඇස් මායිමේ පෙනෙන්නට නැත්තම් ඔවුන් සෙවිය යුතුය. එවිට මෙවන් සිදුවීම්වලට දරුවන් ගොදුරුවීම වළකා ගත හැකිය.

බියංකා නානායක්කාර

Untitled-19 Untitled-17 sgf