බැඳුම්කර සිද්ධියට අදාළව හිටපු මුදල් ඇමැතිවරයාගේ ඉල්ලා අස්වීම හා රටේ දේශපාලන වාතාවරණය පිළිබඳව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සමග කළ කතාබහකි.

ප්‍ර – රවි කරුණානායක මහතා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන ජවිපෙ අදහස?
පි – හොඳයි. දේශපාලනඥයන් අරබයා රටේ ජනතාවට තීන්දුගත හැකි බවට පූර්වාදර්ශයක් ලබාදී තිබෙනවා. ඔහු ඉල්ලා අස්වූයේ විශ්වාසභංගයක් ඉදිරිපත් කළ නිසයි. එසේ නොමැතිව චෝදනා එල්ල වූ නිසා නොවෙයි. විශ්වාසභංගයක් යනු පාර්ලිමේන්තුවේ මහජන සංයුතියේ බලපෑමක්. එම අභියෝගය ඉදිරියේ ඉල්ලා අස්වීම එක් පැත්තකින් බලන විට ආදර්ශයක් නමුත් එපමණකින් මේ ගැටලුව විස¼ෙදන්නේ නැහැ. රජයේ මුදල් අවභාවිතාව, මංකොල්ලකෑමට අදාළ බැඳුම්කර ගනුදෙනුව එහෙමමයි. රවි කරුණානායක ඉල්ලා අස්වීම එහි අතුරුඵලයක් පමණයි.

ඔහුට එල්ල වූ චෝදනාව මුදල් විශුද්ධිකරණය ක්‍රියාවලියක් ගැනයි. එය ‍පොලිසිය මිනීමරුවකු අත්අඩංගුවට ගැනීමට යන විට අල්ලපු ගෙදර ස්ත්‍රී දූෂකයකු කොටු වුණා වගේ වැඩක්. ස්ත්‍රී දූෂණ ක්‍රියාවලිය නිසා මිනීමැරුම සාධාරණීයකරණය වන්නේ නැහැ. රවි සමස්ත ක්‍රියාවලියේ වැරදිකරුවා හෝ චූදිතයා ‍නෙවෙයි.

ප්‍ර – එසේ නම් මේ සිද්ධියට අදාළව ඉදිරි කටයුතු මොනවාද?
පි – බැඳුම්කර වංචාව හරහා රටට සිදුවූ පාඩුව රවි කරුණානායක මහතා නොදන්නා බවට ප්‍රකාශිත ඉලක්කමට සාපේක්ෂව ඔහුගේ ඉලක්කම ඉතා කුඩා එකක්. සමස්ත ක්‍රියාවලිය මේ හරහා නැවතිය යුතු නැහැ. මේ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය රටට පෙන්වූ බව ආණ්ඩුව පවසනවා නම් ඒක වරදක් සිදුකර එය හසුවූ වූවාට පසු ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීම යහපාලනයවත් ප්‍රජාතන්ත්‍රවාදයවත් නෙවේ. වැරදි නොකර සිටිය යුතුයි. අනෙක් අතට මෙය තමන් ලැබූ විශාල ජයග්‍රහණයක් හැටියට ඒකාබද්ධ විපක්ෂය සිතා සිටිනවා නම් ඒක එහෙම ‍නෙවෙයි. ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමටත් මීට ඩවා ප්‍රබල චෝදනා එල්ල වී තිබෙනවා. විශ්වාසභංගය ගෙනා අයත් සුපිරිසිදු නෑ. කොමිසම් හමුවට එන්න බෑ නයි දෂ්ට කරනවා. හෙළි කළ නොහැකි වංචා මේ අයට තිබෙනවා.

ප්‍ර – ඉල්ලා අස්වන අවස්ථාවේ රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය ගැන ඔබ මොකද හිතන්නෙ?
පි – ඉල්ලා අස්වීම ගැන ආඩම්බර වන බවට ඔහු පැවසූ නමුත් ඇත්තටම ලජ්ජාවිය යුතුයි. ඔහු සාමාන්‍ය ඇමැති ධුරයක් දැරූ කෙනෙක් ‍නෙවෙයි. ධුරයෙන් ඉල්ලා අස්වූයේ රටේ විදේශ ඇමැතිවරයායි. බැඳුම්කර ගනුදෙනුව සිදුවූ වකවානුවේ රටේ මුදල් ඇමැතිවරයා වූයේද ඔහුයි. මෙහිදී හිටපු මහ බැංකු අධිපතිවරයාට නැගූ චෝදනාව වූයේ බෑනනුවන්ට අයත් ආයතනයට තොරතුරු ලබාදීම හා එයට විශේෂයක් සිදුකිරීමයි. අර්ජුන ඇලෝසියස් සමග රවිගේ පවු‍ලේ අයට ඇති සම්බන්ධතාවට අනුව මුදල් ඇමැතිවරයා වශයෙන් ඔහු මීට වඩා කල්පනාකාරීව හා ප්‍රවේසම් සහගතව හැසිරිය යුතුව තිබුණා. නිවස මිලට ගන්න කාගෙන්ද කුලිය ගෙවන්නේ කවුරුන්දැයි යන්න ඔහු දැනගත යුතුව තිබුණා. එහෙම නම් ඉල්ලා අස්වීම ආඩම්බරයට කරුණක් නොවෙයි. ලෝක ජනතාව මේ ප්‍රවෘත්තිය දකිනවා බලනවා.

ඔවුන් මෝඩයන් නොවේ. ලංකාවේ විදේශ ඇමැති දූෂණ චෝදනා මත ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන රටක් හැටියට අපට ආඩම්බරවිය හැකිද?

ප්‍ර – ඔහු ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවෙන් පිටතට එන විට නම් එවැන්නක් දක්නට ලැබුණේ නැහැ. ජය ඝෝෂා මධ්‍යයේ මාධ්‍යවලටත් කතා කළා?
පි – අපේ ජනතාවගේ හැටිත් එහෙමනේ. ඉල්ලා අස්වන විට අත්‍පොළසන් දෙන මන්ත්‍රීවරුන් සිටිනවා පමණක් නොවෙයි. මල්මාලා පලඳවා පිළිගැනීමට ආධාරකරුවන්ද සිටිනවා. මෙය එවැනි සමාජයක්. අපි රටේ ජනතාවට කියන්නේ රටට අවශ්‍ය හොරු අල්ලන ආණ්ඩුවක් නොව හොරකම් නොකරන, හොරු නැති ආණ්ඩුවක්. චෝදනාවලට ලක්වී ඉල්ලා අස්වෙන ඇමැතිවරුන් නිසා ආඩම්බර වන්නට එපා. හොරකම් නොකරන ආණ්ඩුවක් පිහිටුවා ගන්න පාලනයක් හදන්නේ ජනතාවයි. වරද මේ පාලකයන්ගෙයි.

ප්‍ර – කරුණානායක මහතා ඉල්ලා අස්වන අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගැබේ ඇතිවූ තත්ත්වය පිළිබඳව කතා කළොත්?
පි – එය විශේෂ අවස්ථාවක් ‍නෙවෙයි. අපි යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය මේ යැයි ආණ්ඩුව හුවා දක්වනවා නම් ඒක තේරුමක් නැති ක්‍රියාවක්. නාස්තිය දූෂණය වළක්වන බව කියමින් බලයට පත්වූ රජයේ ප්‍රබල ඇමැතිවරයකුට එජාපයේ උපනායකයාට දූෂණ හෝ අල්ලස් චෝදනාවක් ඉදිරිපත් වී තිබේ නම් එය ඉතාම බරපතළයි. මින් කියැවෙන්නේ ජනවරමට අනුව කටයතු කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බවයි. ජනවරම නියෝජනය නොකරන බවයි.

ප්‍ර – නමුත් අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පකාශ කළේ කොමිසමේ කටයුතු පිළිබඳව ආණ්ඩුව මැදිහත් නොවන බව මේ මගින් රටට ඔප්පු කළ බවයි?
පි – එය අගය කරනවා. නමුත් මෙවැනි ගනුදෙනුවක් සිදුවූ බව සිද්ධිය කොමිසම හමුවට එනවිටම මුදල් ඇමැතිවරයා දැන සිටියා. එහෙමනම් ඉල්ලා අස්විය යුතුව තිබුණේ ඒ දිනවලදීමයි. චෝදනා විමර්ශන කරන විට නොවෙයි. විශ්වාසභංගය පරාජය කිරීමට හැකිය යන තක්සේරුව ආණ්ඩුවට තිබුණා නම් ඔය වගේ තර්ක අදහස් ඉදිරිපත් වන්නේ නැහැ. විශ්වාසභංගය පරාජය වන බව නියත වශයෙන්ම දැනගත් පසුව එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් නොකර ඉල්ලා  අස්වූවා.

ප්‍ර – ඇමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වූ පමණකින් සිද්ධිය නිමා වන්නේ නැහැ නේද?
පි – ඉල්ලා අස්වීම සහ බැඳුම්කර මගඩිය සිද්ධීන් දෙකක්. නමුත් එකිනෙකට සම්බන්ධයි. රවිගේ අස්වීම හරහා බැඳුම්කර වංචාවට ගෑවුණු කිසිවකු නිදහස් වන්නෙ නෑ.

ප්‍ර – මෙය දඩමීමා කරගෙන ඒකාබද්ධ විපක්ෂයේ උදවිය ඔවුන්ට එල්ල වී තිබෙන දූෂණ වංචා චෝදනාවලින් ගැලවීමට මාන බලන බව කියැවෙනවා නේද?
පි – ඒක තමයි පුදුමේ. නැව් ගිලපු අය බෝට්ටුවක් පෙරළුණු විට කෑ කෝ ගහනවා. මහා පරිමාණ වංචාවන්ට වගකිව යුතු අයත් මේ හරහා ශුද්ධවන්ත වීමට දඟලනවා.

මෙහි වගකීමත් ආණ්ඩුවටයි. ජනවරමට අනුව කටයුතු කරනවා වෙනුවට හොරු හුරතල් කළ සහ මෙවැනි තත්ත්වයක් උද්ගත වුණා. අද සිටි ආණ්ඩුව යනු ‘හොරු රකින හොරු’ හොරුන්ට විරුද්ධව කටයුතු කරන බවට පුරසාරම් දොඩවන්නේ තවත් හොරු රැළක්.

ප්‍ර – විමර්ශන කොමිසමේ කාර්යභාරය පිළිබඳවත් රවි කරුණානායක මහතාගේ ප්‍රකාශයේ සඳහන් වූවා නේද?
පි – කොමිසමේ කටයුතු ගැන විවේචනය කිරීමට ඔහුට හැකියාවක් නැහැ. බැඳුම්කර වංචාව පිළිබඳව විමර්ශනය කිරීම පමණක් කොමිසමේ කාර්යභාරය නම් ඊට අදාළ කරුණු කෝප් කමිටුව විසින් ලබාදී තිබෙනවා. ඒ වාර්තාව හොඳටම ප්‍රමාණවත්. ඉන් එහාට ගොස් කෝප් සීමාවට වඩා දේවල් සොයා බැලීමට කියලයි ජනාධිපති විමර්ශන කොමිසම පත් කළේ. ඒ කෙසේ වෙතත් ප්‍රශ්න කිරීමේ අයිතියක් චූදිතයන්ට නැහැ. ඒ කොමිසමේ ස්වාධීනත්වයයි. සීමා ඉක්මවා යන බවට ප්‍රකාශ කරන්නේ කරුණුවල සත්‍යතාව හෙළිදරව් වන විටයි.

ප්‍ර – වත්මන් තත්ත්වයට අනුව රජයේ මෙන්ම රටේ උනන්දුවත් බැඳුම්කර සිද්ධියට පමණක් සීමා වෙලාද?
පි – නමුත් දූෂණ වංචා සම්බන්ධයෙන් ජවිපෙ විසින් පමණක් ඉදිරිපත් කළ තවත් පැමිණිලි රැසක් තියෙනවා. ඒවාද විමර්ශනය කළ යුතුයි. හෙජින් ගනුදෙනුව, ලොතරැයි මණ්ඩලයේ අක්‍රමිකතා, වී අලෙවි මණ්ඩලය වී මිලට ගැනීමේදී සිදුකළ වංචා මින් කීපයක්. මේ අවභාවිත කර තිබෙන්නේ රටේ ජනතාවගේ මුදල්.

තිලක් පුෂ්පකුමාර
thilakpushpakumara7@gmail.com