ප්‍ර: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මොකක්ද මේ උද්ගතවෙලා තියෙන අර්බුදය?
පි: පක්ෂය තුළ මතවාදී අරගලයක් තියෙනවා. නමුත් ඊට එහා ගිය ලොකු අර්බුදයක් නෑ. ඒක කිසිසේත්ම පක්ෂය තුළ බෙදීමක් නොවේ. මතවාදී අර්බුදයක් පමණක් කියලයි  මා දකින්නේ.

ප්‍ර: ඒක පක්ෂයේ බෙදීමක් දක්වා යන ලකුණු නේද තියෙන්නේ?
පි: නෑ.  මම හිතන්නේ නෑ. අද තියෙන්නේ  මතවාදී අරගලයක්. මොකද වර්තමාන  පාලන තන්ත්‍රය තුළ  පක්ෂය තුළ පවතින  ප්‍රජාතන්ත්‍රවාදී පසුබිම තුළ දරන අදහස් පක්ෂයේ පහළම ශාඛා සමිතියේ සිට මධ්‍යම කාරක සභාව දක්වාම ඉදිරිපත් කිරීමේ  ඉඩ ප්‍රස්ථාව අද ලැබි තියෙනවා. ඒනිසා එකිනෙක  දේශපාලන ප්‍රශ්න  ගැටලු  පිළිබඳව එක්  එක් මතවාදයන් පක්ෂය අතුළේ තියෙනවා.  ඉතින් ඒවා දකිද්දී පක්ෂය ඇතුළේ මහා විශාල ගැටුමක් ලෙස පේනවා ඇති. නමුත් අපි හිතන්නේ පක්ෂයක් විදිහට අවසානයේ  පක්ෂයේ මත අදහස්වලට අනුව තමයි  පක්ෂයේ සාමාජිකත්වය කටයුතු කළ යුත්තේ එසේ නොමැතිව පෞද්ගලික  මතවාදයන්ට අනුව කටයුතු නොකළ යුතුයි.

ප්‍ර:  මේ ආණ්ඩුව ගැන ඔබ මොකක්ද හිතන්නේ.
පි: ඇත්තටම වත්මන් ආණ්ඩුව මීට කලින්   පැවැති ආණ්ඩුවලට  වඩා වෙනස් ස්වරූපයේ ආණ්ඩුවක්. අපේ රටේ මේ වගේ  ආණ්ඩුවක් තිබුණට ලෝකෙම මේ වගේ  ආණ්ඩු  නෑ. රටවල ජාතික ප්‍රශ්නවලදී කෙටි කාලීනව එකතු වෙලා ඇති. නමුත් මැතිවරණයකින් පසුව මේ වගේ ආණ්ඩුවක් මේ ආකාරයට පිහිටුවලා තියෙන්නේ අපේ රටේ විතරයි. ඒක ඉතිං  අපේ රටේ  සියලු දෙනාටම නුහුරු නුපුරුදු දෙයක්. ඒ නිසා වෙනස්ම ප්‍රතිපත්ති දරන පක්ෂ  දෙකක් එකට එකතු වුණු අවස්ථාවක යම් යම්  ගැටලු ආරවුල් වියවුල් ඇතිවෙන්න පුළුවන්. ඒවා සමථයකට පත් කරගෙන තමයි ජනාධිපතිතුමත්, අගමැතිතුමත් මේ ගමන යන්නේ.

ප්‍ර: හැබැයි ශ්‍රී ලංකාවේ ප්‍රබල ඇමැතිවරු මේ  ආණ්ඩුව ගැන  අද ඉතාමත් කලකිරීමෙන් කියලා ඔවුන්ම කියනවා.
පි: ඇත්තටම සමහරවිට  අපට ඒ වගේ  කලකිරීම් ඇති. ඒක ඉතිං එක එක්කෙනාට දැනෙන විදිහට අනුවනේ නේද?

ප්‍ර: ඔබට කලකිරීමක් නැද්ද?
පි: නෑ. මට තාම එවැනි කලකිරීමක් නෑ.සමහර අය ‍පොදුවේම ප්‍රතිපත්තිමය කරුණු කතා කරනවා ඇති. තවත් අය පෞගලික  පුද්ගලානුබද්ධ සාධක මත කතා කරනවා ඇති. මට කියන්න කෝ  මේ පවතින ක්‍රමය තුළ මොන පක්ෂයේ මොන සාමාජිකයන්ට ද කලකිරීම් නැත්තේ කියලා.  සියලු දෙනාම යම් යම් හිත් රිදීම් බිඳීම් කලකිරීම් තුළ තමයි ඉන්නේ.  හැම පක්ෂයක් තුළම ඒක එහෙමයි. අද ආණ්ඩු  පක්ෂය තුළ පමණක් නොවෙයි විරුද්ධ පක්ෂය තුළත් ඒ ඉන්න අය යම් යම් කලකිරීම්වල ඉන්නේ. මේක ඉතිං කාටත් ‍පොදු  දෙයක් මේකෙත් සමහර කැබිනට් ඇමැතිවරුත් ඇති සමහර නියෝජ්‍ය ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු,  මන්ත්‍රීවරු ඇතුළු බොහෝ අයට විවිධ  හේතු මත කලකිරීම් ඇති. ඒ අය කලින්ට වඩා ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු වීම නිසා එවැනි අදහස් ප්‍රසිද්ධියේ කියන්න අද ඉදිරිපත් වෙලා ඉන්නවා.

ප්‍ර: මේ සම්මුතිවාදී ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය හිතුමතේ කටයුතු කරනවා කියලයි ශ්‍රීලනිප ඇමැතිවරු චෝදනා කරන්නේ.
පි: ඒක මම නම් හිතන්නේ  දෙපැත්තේම  තියෙනවා. මේ චෝදනාව සමහර වෙලාවට  එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් යටතේ ඉන්න අයට සිතුසේ වැඩ කරන්නන බෑ. ඒ ඇමැතිවරු සිතුසේ වැඩ කරනවා. සලකන්නේ ඒ විදිහට. කිසිම බලතලයක් රාජ්‍ය ඇමැතිට, නියෝජ්‍ය ඇමැතිට හා ඒ වගේම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විෂයන්  භාර ඇමැතිටත් අර පැත්තෙන් ඔය චෝදනාවම තියෙනවා.  ඒනිසා මම කීවේ මේක නිකං නුහුරු නුපුරුදු ගමනක් යන පාලන රටාවක්. ඉතිං ඒකෙදි ඔය කියන  ප්‍රශ්න ගැටලු  ඇතිවීම ස්වභාවිකයි කියලයි මට හිතෙන්නේ.

ප්‍ර: මෙතන  තියෙන්නේ රාජ්‍ය දේපළ විකිණීමේදී එජාපය හිතුමතේ කටයුතු කරනවා.  ශ්‍රීලනිපය මත ගණන් ගන්නේ නෑ කියලා.
පි: මමත් ‍පොදුවේ දරන  මතයමයි. රටේ රාජ්‍ය දේ‍පොළ විකිණීමට මමත් එකඟ නෑ. නමුත් එතනදී මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. යම් පුද්ගලයෙක් පවු‍ලේ කටයුතු සඳහා විශාල ප්‍රමාණයකින් ණය අරගෙන ඒ ණයට ‍පොලී වෙලා දැන් විශාල මුදලක් ‍පොලී ගෙවන්න වෙලා නම් ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා තම දේ‍පොළක් හරි විකුණලා බදුදීලා හරි ඒකෙන් ගැලවෙන්න නැතිනම් මුළු පවුලම  අනතුරේ වැටෙනවා. සමහර ඒවාට අද රටෙත් ඒ තත්ත්වය ඇති වෙලා. මම කීවේ උදාහරණයක්. රටක සංවර්ධනයට ණය ගත යුතුයි. නමුත් ඒක අපිට ඔරොත්තු දෙන ආකාරයට කළ යුතුයි.

ඔරොත්තු නොදෙන ආකාරයට ආවාම  අමාරුයි. අපිට පෙර ආණ්ඩු කරපු අය  කරපු දේවල් නිසා කියලා ඇඟ බේරගන්න  බෑ. අලුත් ආණ්ඩුව එද්දි ඒ හොඳ නරක සියල්ල බාර ගත යුතුයි. දැන්  එවැනි විශාල  ණය බර තියෙද්දී ඒවා ගෙවාදැමිය යුතුයි.  ඒකට  ඉබේම විවිධ ක්‍රමවේද අනුගමනය කළ යුතුයි. නමුත් අපි ‍පොදුවේ පිළිගන්නවා රාජ්‍ය දේ‍පොළ සම්බන්ධයෙන් අවසානය දක්වාම හොඳ කළමනාකාරීත්වයක් තුළ ඒවා පාලනය කරමින් උපරිම උත්සාහය දැරිය   යුතුයි.  නමුත් සමහර ආයතනයන් තියෙනවා තිබෙන තත්ත්වය අනුව ගොඩ ගන්නම බැරි ඒවා.

ප්‍ර: මේ අණ්ඩුව මේ වෙනකොටත් දෙදරා ගිහින් තියෙන්නේ?
පි: දෙදරීමක් නැතුව තියාගන්න පුළුවන් ඒකාධිපති ලෙස ආණ්්ඩුව කරගෙන යනවා නම්  අන් අයගේ මත පිළිබඳව ඇහුම්කන් නොදී ඉඳලා. නමුත් එහෙම නොවී ප්‍රජාතන්ත්‍රවාදීව ඉන්න අමාත්‍ය මණ්ඩලයක් යම් යම් මත ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළත් පවතින ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගය නිසාමත් පක්ෂය ඇතුළෙත් ආණ්ඩුව තුළත් බොහෝ  දෙනා  විවිධ මත දරනවා. ඒ මත ප්‍රකාශකරනවා ඉතිං ඒවා දකින අහන අයට කියන්න පුළුවන් යම් දෙදරීමක් තියෙනවා කියලා.  නමුත් මොන තත්ත්වයේ යටතේ වුණත් මේ දේවල් අවසානයේ සාකච්ඡා සම්මුති මාර්ගයෙන් විසඳගෙන ඉදිරියට යයි කියලා මම හිතනවා.

ප්‍ර: රවි කරුණානායක ඇමැතිවරයා ඉල්ලා අස්වීම පිළිබඳ ශ්‍රීලනිපය දරන්නේ කෙබඳු මතයක්ද?
පි: වරදක් කළොත් කව්රු මොන තරාතිරමේ ඉඳලා කළත් වරද වරදමයි. ඔහු තාම උසාවියකින් හෝ විනිශ්චාධිකරණයකින් වරදකරුවකු කරලා නෑ. නමුත් රටේ ජනතාව තුළ යම් මතයක් තිබුණා ඒ ගැන. එනිසා ඔහු ප්‍රමාද වෙලා හරි අවසාන මොහොතෙදී  හරි යම් තීන්දුවක් ගත්තා. නමුත් ඒ තීන්දුව ගැනීමෙන් ඔහුට එල්ල වුණු චෝදනාවලින් නිදහස් වෙන්න පුළුවන් කමක් නෑ. ඒක මේ රටේ නීතිය වගබලා ගනීවි.

ප්‍ර:  මේ වගේ කොමිෂන් ඕන තරම් පත් වුණා මීට පෙර. මේ කොමිසම  මගින් වැරදිකරුවන්ට දඬුවම් දේවි කියලා විශ්වාස කළ හැකිද?
පි: අනිවාර්යයෙන්ම අපි විශ්වාස කරනවා  දඬුවම් දේවි කියලා.  අතීතය යමක් වූයේ නෑ කියලා යළිත් ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වේවි කියලා කියන්න බෑ. මීට සම්බන්ධ මහ බැංකු හිටපු ජනාධිපතිවරයා පිළිබඳව බොහෝ දෙනා කීවේ ඒ හිටපු කෙනාම යළි පත්වේවි වෙනසක් වෙන්නේ නෑ කියා. නමුත් ජනාධිපතිවරයා  ජුවම මැදිහත් වෙලා තීන්දුවක් ගත්තා. පසුගිය ඇමැති මණ්ඩල සංශෝධනයේදී බොහෝ දෙනා හිතුවේ මුදල් ඇමැති ධුරයේ  වෙනසක්  ඇති නොවෙයි කියලා. නමුත් ඒක සිද්ධ වුණා මෙතනදී යමක් සිද්ධ නොවේවි කියලා කීවා. නමුත් ඇමැතිවරයා ඉල්ලා අස්වුණා. ඒනිසා  මගේ දැඩි විශ්වාසයක් තියෙනවා මේ කොමිසමේ නිර්දේශ පදනම්කරගෙන ඉතාම නිවැරදි වූත් යුක්ති සහගත වූත් තීන්දුව ගනීවි.

ප්‍ර: ඇයි ආණ්ඩුව මැතිවරණ කල් දාන්නේ?
පි: පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඡන්ද ක්‍රමය වෙනස් කරන්න කටයුතු කළා.  මේකට පසුගිය රජය යටතේත් සීමා නිර්ණය කටයුතු කරන්න යම් පියවර ගත්තා. නමුත් ඒ පියවර යුක්ති සහගත සාධාරණ පියවරයන් නොවේ.  ඒ නිසා තමයි යළි එම සීමා නිර්ණය කරන්න වුණේ. ඒකට කාලයක්  ගතවුණා දැන් සියල්ල  හරි.

සාකච්ඡා කළේ – සුජිත් කෝනාර
sujithkona@gmail.com