අප සිටියේ  කතරගම සිට බුත්තල යන මාර්ගයේය. රාත්‍රී අඳුර අපට අසීරුවුවද එය මාර්ගය අසල සිටින බොහෝ  වනසතුන්ට නම් හුරුපුරුදුය. ඔව්හු මාර්ගයේ රිසිසේ ගමන් ගනිති. එක් විටම  වනයෙන් මාර්ගයට පැමිණි අලියකුගේ ශරීරය බේරා අප ධාවනය කළේ අනූනවයෙනි.

‘තේ එකක් බිව්වානම් මරු’ ඒ අපේ අයෙකි.

‘මේ වනාන්තරේ මැද තේ එකක් බොන්න වෙන්නේ අඳුරන අලියෙක් හිටියොත් තමයි. ‘ ඒ තවත් චසකි.

ඒ අපූරු? වන මාවත පසු කොට අප බුත්තලට පැමිණෙන විට රාත්‍රිය  මෝරා ගොස් අවසන්ය.

“රෑ කඩයක් තිබුණොත් තමයි ඉතින් දැන්නම්,
අරුමයකි අඳුරු බුත්තල එළිය කරන අපුරු කඩයකි.  අපි ක්ෂණිකව එහි නතරවීමු.
“මේක කඩයක් නමෛයි බස් එකක්”

“ඕව් ඇත්ත නේන්නම් නොම්මරයකුත් තියෙනවා”
“නිකන් නොම්මරයක් නමෛයි ඉංග්‍රීසි අකුරු නොම්මරයක්”
“කරන්ට් එකත් තියෙනවා”

බස් එකේ එක පැත්තක තහඩුව උස්සලා තමයි ….ඉඩ හදලා තියෙන්නේ
“පුටු විස්සකට වඩා තියෙනවා”

“බස් එක ඇතුළ හැම කෑමක්ම සකසන්න පුළුවන් වෙන්න හදලා”
මේ අපූරු බස් රථය පිළිබඳව අපේ අය විවිධ දේ පවසති. සැබැවින්ම එය අපූරු බස් රථයකි.

එවැනි පාළු අඳුරු රාත්‍රියක එය තරු හතේ හෝටලයකි. හොඳින් සප්පායම් වූ අපි බස් රථයේ කතාන්දරය පිළිබඳවද විමසා සිටියෙමු.

හඬ අවදි කළේ  හිමිකරුගේ බාල සොහොයුරකු වන උපුල් අබේසිංහය.
“බස් එක අයිති අයියාට. අයියා දැන් ඉඳලා ගියා. අපි එළිවෙනකං මෙතන ඉන්නවා. උදේට එළිය වැටෙන කොට බස් එක ස්ටාට් කරන් අපි යනවා. මේ විධියට අපි විවිධ තැන්වලට යනවා” ඒ උපුල්ය.

මේ ව්‍යාපෘතියේ නිර්මාණකරුවා වන්නේ අජිත් අබේසිංහය. ඔහු තිස්තුන්වැනි වියේ පසුවෙයි. බස් රථයේ කතාව ඔහු ආරම්භ කළේ මේ ආකාරයෙනි.

“අපිට ඉස්සර ‍පොඩි කඩයක් තිබුණා. නමුත් විවිධ ප්‍රශ්න ඇවිත් අපේ කඩේ සෙනග එන්නැති උඩ තට්ටුවකට දැම්මා. ඒකට මන් හිතන්නේ විවිධ හේතු බලපෑවා. ඒ පාර අපි ඒ කඩය අත්හැරියා. ජීවත් වෙන්න ඕන නිසා අපි පේමන්ට් එකේ ‍පොඩි රෙද්දක් ගහගෙන කඩයක් පටන් ගත්තා. නමුත් ඒකත් නීතිවිරෝධිය කියලා ඉවත් කළා. ඊට පස්සේ  අපට ආර්ථික වශයෙන් අමාරු කාලයක් උදා වුණා.”

“මොනවාද ඒ කා‍ලේ අජිත්ලාගේ කඩේ තිබුණේ” එය පැනයකි.
“ආ කියන්න බැරි වුණානේ. තාත්තට තිබුණා ‍පොඩි රසකැවිලි ව්‍යාපාරයක්. ඒක  තමයි දියුණු කළේ”

අජිත්ගේ තාත්තා මාතර ගාර්දිස්් අබේසිංහය. ඔහු කුඩාවට රසකැවිලි ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. එය තරමක් කලඑළි වී එනවිටම  හදිසියේ අබේසිංහ රෝගාතුර විය. ඒ අදින් වසර 17 කට පෙර දිනයකි. හඳුනානොගත් එම ස්නායු ආබාධය උත්සන්න වීමෙන්ම ගාර්දිස් අබේසිංහ නොයන ගමන් ගියේය. අබේසිංහ පවුලට දැනුණේ කොඳු නාරටිය කඩා වැටුණු බවකි.  අබේසිංහ පවු‍ලේ  කොල්ලන්ම අට දෙනෙකි. තාත්තා මියයන විට හිරිමල් වියේ සිටියද ඔවුහු වෙහෙසවී වැඩ කළා. අබේසිංහ රස කැවිලි ව්‍යාපාරය නැවතත් හිස ඔසවන්නේ ඒ පුංචි උන්ගේ දහඩිය කඳුළු මතිනි.

අද රසකැවිලිවලින් එහාට ගොස් සියලුම වර්ගයේ ආහාරපාන එම බස් රථය තුළ ඇත.
“කඩේ නැති වුණාට පස්සේ මම විවිධ දේ හිතුවා. තැනින් තැනට යන  බස් එකක් ගැන සිහිනය ආවේ ඔය කා‍ලේ. අතේ සල්ලි තිබුණේ නැහැ. යහළුවෝ මට බස් එකක් ගන්න උදව් කළා. මම මුලින්ම හිතාගෙන හිටියේ ලොරියක් ගන්න. නමුත් ලොරියකින් වහලයක් හදන්න අමාරු වෙයි කියලා හිතුණා. ඊට පස්සේ මම බස් එකක් ගත්තා. පැද පැද තිබුණ බස් එකක් ගත්තේ. සීට් පවා තිබුණා.  ඒවා අයින් කරලා සම්පූර්ණයෙන්ම බස් එක වෙනස් කරලා මේක හැදුවේ. උත්සවවලට යන්න තමයි හැදුවේ. ඒ කියන්නේ කතරගම පෙරහර කාලෙට කතරගමට ගෙනියනවා. වෙන කොහේ හරි උත්සවයක් සර්කස් එකක් තියෙනකොට ඒ ඒ තැන්වලට යනවා. මේ සේරම කරන්නේ නැගිටින්න. අපේ පවු‍ලේ හැමෝම මේකට උදව් කරනවා”

තමන්ගේ නිවසේ ආර්ථිකය ගැනවත් නොදන්නා මුදල් ඇමැති කෙනෙක් හිටපු රටක එවැනි පවුල් එක්ව සිය ආර්ථික නංවන්නට ගන්නා වෙහෙස අති මහත්ය. මේ ලිපිය පළවනවිට  ඔවුන් බොහෝවිට කතරගම සිටිනවා විය හැක.

රජයෙන්ම යැපෙන්න සිහින දකින ලක්ෂ ගණනක් සිටින රටක අබේසිංහ පවුල රටට දෙන්නේ එසේ මෙසේ ආදර්ශයක් නොවන බව කිව යුතුය.

සටහන හා ඡායාරූප
රුක්මල් පුලසිංහ රණවක

Untitled-6 Untitled-5