උතුරේ යළි හිස ඔසවන සංවිධානාත්මක කණ්ඩායම්වලට එරෙහිව ‍පොලිසිය අළු ගසා දමා කරළියට එන්නට පටන් ගෙන ඇත.

සංහිඳියාව බිඳීයාමේ චෝදනාව තමන්ගේ කරමතට වැටෙතැයි බියෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට මැළිකමක් දැක්වූ ‍පොලිස් නිලධාරීන්ට යළි කරළියට එන්නට සිදුවූයේ දිගින් දිගටම ‍පොලිසිය ඉලක්ක කරගෙන සංවිධානාත්මක කණ්ඩායම්වල ප්‍රහාර දියත්වීම හමුවේය.

යාපනය පේදුරුතුඩුවේ දී වැලි ටිපර් රථයකට ‍පොලිසිය වෙඩි තැබුවේ ‍පොලිස් අණ නොතකා දිගින් දිගටම වැලි ජාවාරම ක්‍රියාත්මක වෙද්දීය. එම වෙඩි පහරින් වැලි ජාවාරමට සම්බන්ධ වූ අයකු මියගොස් පැය කිහිපයක් යන්නට පෙර උතුරේ සන්නද්ධ කල්ලිවල අවනීතිය රජ වූයේය.

වෙඩි ප්‍රහාරයට සම්බන්ධ වූ බව කියන දෙමළ ජාතික උප ‍පොලිස් පරීක්ෂකවරයාගේ යාපනයේ නිවස වෙත යතුරපැදි පෙරහරකින් ගිය උතුරේ යතුරුපැදි කණ්ඩායමක් අදාළ නිවස කුඩුපට්ටම් කරන්නට තරම් සැහැසි වූහ.

නීතිය වල්වද්දන්නට උත්සාහ ගන්නා තරුණ කල්ලිවලට එරෙහිව නැගී සිටින්නට උත්සාහ කළ එම ද්‍රවිඩ නිලධාරියාට නිවස පමණක් නොව වෙඩි තැබිමේ චෝදනාවට ජූලි 10 දා අත්අඩංගුවට පත්ව සිරබත් කන්නට ද සිදු විය.

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්ච්ෙලියන් මහතාට ආරක්ෂාව සපයමින් ගිය ‍පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර (මියගිය පසු උප ‍පොලිස් පරීක්ෂක) මහතා ඝාතනය වන්නේත් ජූලි 22 දාය. යාපනයේ  මහාධිකරණ විනිසුරුවරයාට ආරක්ෂාව සැපයූ ‍පොලිස් නිලධාරියාගේ ගිනිඅවිය උදුරා වෙඩි තබන්නට තරම් එල්ටීටීඊයෙන් පැනගිය සාමාජිකයකු හට හැකිවන්නේ අළුයට ගිනි අවුළුවන්නට ‍පොර බදන ඩයස්‍පෝරාවට ද ශක්තියක් වෙමිනි.

මේ සිදුවීම්වලින් පසුව යළි උතුරේ කතාබහ ඇති වූයේ ආවා කල්ලියට අයත් සාමාජිකයන් විසින් ‍පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුව යාපනය කෝපායි ‍පොලිස් වසමේ දී කපා කොටා බරපතළ තුවාල සිදු කිරීමත් සමගය.

සුරේන්ද්‍රන් (6946) හා ධම්මික (60581) යන ‍පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාව කොණ්ඩාවිල් හි දී කැපුම් කෙටුම් ප්‍රහාරයකට ලක්වන්නේ මෙම ජූලි 30 දාය.
මෙම සිදුවීමත් සමග ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාත් අගෝස්තු 01 දා උතුරට යන්නේ ‍පොලිසියට එරෙහිව ක්‍රියාත්මක වන සන්නද්ධ කල්ලි ගැන සොයා බැලීමටය.
ත්‍රස්තවාදය සහමුලින්ම අවසන්ව නොමැති බවත්, එල්ටීටීඊ සංවිධානය මුලින් ඇරඹුණු ආකාරයට නැවත හිස ඔසවන්නට ගන්නා උත්සාහ නැවැත්විය යුතු බවටත් ‍පොලිස්පතිවරයා පවසන්නේ උතුරට ගිය මොහොතේදීය.

මෙම සිදුවීමත් සමග ‍පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, රාජ්‍ය ඔත්තු සේවාව, ‍පොලිස් විශේෂ කාර්ය බළකාය ද යොදවා යාපනය හෙල්ලූ ‘ආවා ගෲප්’ කල්ලිය කොටුකරන මෙහෙයුම ඇරඹෙන්නේය.

මෙම ප්‍රහාරය පසුපස ආවා කල්ලිය සක්‍රියව මෙහෙයවන ‘වික්ටර් නිශා’ ගේ කල්ලිය සිටින බවත්, ප්‍රහාරය සඳහා දොළොස් දෙනකු පැමිණ සිටින බවත් අනාවරණය වන්නේය.

ඒ ඔස්සේ විමර්ශනය කළ යාපනය ‍පොලිසිය හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ප්‍රහාරයට පැමිණි බවට කියන සැකකරුවන් දෙදෙනකු යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගන්නේය. ඉන් පසුව තවත් ආවා කල්ලි සාමාජිකයන් දෙදෙනෙක් කොටු වෙති. තිවරාසා මධුෂන් (20), විජයරත්නම් කනගසබේ (23) මුලින්ම කොටු වූ දෙදෙනාය. යෝගරාසා සගිස්, පැට්‍රික් දිනේෂ් නමැති දහඅට හැවිරිදි තරුණයෝ ඉන් පසු කොටු වුණහ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය ‍පොලිස්පති නාලක ද සිල්වාගේ මෙහෙයවීමෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය යළිත් මෙහෙයුම් අරඹන්නේ ප්‍රහාරයේ නායකයා සොයාය.

මේ වනවිට යාපනය අර්ධද්වීපයේ ආරක්ෂාව ‍පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත පැවරෙන්නේ මතෛක් රාත්‍රී කාලයේ දුන් ආරක්ෂාවට අමතරව දවස පුරා ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නටය.

‍පොලිස් විශේෂ කාර්ය බළකාය ‍පොලිසිය සමග එක්ව පසුගිය 04 දා අලුයම සිට දින තුනක් තිස්සේ යාපනයේ ‍පොලිස් බල ප්‍රදේශ පහක සිදු කළ සෝදිසි මෙහෙයුමක් සමගින් ප්‍රහාරයට සම්බන්ධ  කෙරුම්කාරයෝ උතුරෙන් පැනගනිති.

උතුරේ කලකට පසු කළ මෙහෙයුමෙන් අනන්‍යතාව තහවුරු කරගත නොහැකි යතුරුපැදි 31ක් හා සැකකටයුතු පුද්ගලයන් සිය දෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.

මේ වන විට ‍පොලිස් ප්‍රහාරයට සම්බන්ධ වික්ටර් ඇතුළු කණ්ඩායමේ ප්‍රධාන සිව්දෙනා මුලතිව්වලට පැන සැඟවී සිටියහ. මෙම කණ්ඩායමේ ‍පෝල් කොළඹ සිටින තම ඥාතියකු ලවා වෑන් රථයක් ගෙන්වාගෙන කොළඹ බලා එන්නේ මේ අතරේය.

වික්ටර් ඇතුළු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබලයින්ගේ ඡායාරූප මේ වනවිටත් ‍පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත ලැබි තිබුණේය.

වික්ටර් නිශා හෙවත් සත්‍යවේල් කාදන් නිශාන්තන් උතුරේ ප්‍රහාර රැසකට සම්බන්ධ වූවකු බව අනාවරණය වන්නේය. වික්ටර් නිශාගේ පියා යාපනයේ වෙළෙඳසලක් හිමි ව්‍යාපාරිකයෙකි. වැඩිමල් සහෝදරිය දෙමළ පුවත්පතක මාධ්‍යවේදිනියකි.
විසිතුන් හැවිරිදි තරුණයකු වූ වික්ටර් නිශා ආවා කල්ලිය සමග කරළියට එන්නේ මීට වසර තුන හතරකට පෙරය.

ආවා කල්ලියේ නායක විනෝදන්ගේ පටන් එහි නායකත්වයට පැමිණි කණ්ඩායම් පසුගිය වසරේ දී ‍පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු යළි හිස ඔසවන්නේ වික්ටර් නිශාය. ඔහු යටතේ ආවා ගෲප් කල්ලිය වික්ටර් ගෲප් ලෙස ද හැඳින්වූයේය. පැට්‍රික් දිනේෂ් (18) නිශාගේ දෙවැනියාය.

වික්ටර් නිශා කරළියට එන්නේ පාසල්වල සාමාන්‍ය පෙළ, උසස් පෙළ සිසුන් අතරේ චණ්ඩි පාට් දමන වීරයකු ලෙසිනි. යතුරුපැදිවලින්  පාසල් අසලට ගොස් වැඩ දමන්නටත් රණ්ඩු බේරන්නටත් පමණක් නොව ආදර සබඳතා නිසා ඇතිවන ගැටුම්වල දී කොන්ත්‍රාත්කරුවන් ලෙස ප්‍රහාර එල්ල කරන්නටත් මොවුහු ඉදිරිපත් වූහ.

යාපනය, කිලිනොච්චිවල පාසල් ළමයින් මෙම කණ්ඩායමට බඳවා ගැනීම ඇරඹෙන්නේත් අමුතුම දාමරික පිරිසක් ලෙස කරළියට ආ නිසාය. යාපනයේම අණසක පතුරුවා සිටින දරුණුම මන්නා කල්ලිය ලෙසින් දකුණු ඉන්දියානු ද්‍රවිඩ සටන් චිත්‍රපට නළුවන් ලෙස කරළියට එන වික්ටර් කරළියට එන්නට හදන්නේ ‍පොලිසිය සමග හැප්පෙමිනි.

තම ෆේස්බුක් පිටුවෙන් යාපනයේ සිටින ‍පොලිස් නිලධාරීන් ඉදිරියේ හෙල්මට් නොදමා නීතිය ගණනකට නොගන්නා අයුරින් යන කණ්ඩායම්වල ඡායාරූප ඇතුළු ඡායාරූප අන්තර්ජාලයට මුදාහරිමින් තරුණයන් අතරේ වීරයා වන්නට ද වික්ටර් කටයුතු කරන්නේය. කඩු කිනිසි සමග ගොස් කපා කොටන්නට, තරුණියන්ට අඩන්තේට්ටම් කරන්නට ‍පොලිසිය සමච්චලයට පත් කරන්නට මේ රැල්ල බිහිවන්නේ දකුණු ඉන්දියානු චිත්‍රපටවල ආභාෂයෙනි. දකුණු ඉන්දියානු සටන් චිත්‍රපටවලින් බහුතරයක් ඇත්තේ ‍පොලිසිවලට පහරදෙන ජවනිකාය.

උතුරේ දැන් ඇරඹුණු අලුත් රැල්ලත් ‍පොලිසිය ගණනකට නොගෙන ‍පොලිසියට පහර දෙන මානසිකත්වයක සිටින තරුණ කණ්ඩායම්වල වැඩකි.

වික්ටර් නිශාට එරෙහිව කරළියට එන සන්නද්ධ කණ්ඩායම වූ මනිප්පායි හි රොක් ධනුගේ කල්ලිය (පද්මරාසා ධනුෂ්) ‍පොලිසියට ඔත්තු දෙන බවට ඇති සැකය නිසා වික්ටර් නිශා එම කල්ලියට එරෙහිව සටන දියත් කරන්නේ ජූලි 29 දාය.

වික්ටර් නිශාගේ ප්‍රහාරයෙන් රෝහල්ගත කළ රොක් ධනුට එල්ල කළ ප්‍රහාරයේ පළිය ගන්නට ධනුගේ කණ්ඩායම් වික්ටර්ගේ කල්ලියට තොරතුරු දෙන නිවසකට පහරදෙන්නේ ජූලි 30 දාය. එම ප්‍රහාරයෙන් පසුව දොළොස් දෙනකුගේ පමණ කණ්ඩායමක් යළිත් රොක් ධනුගේ  කල්ලියට පහරදීමට කෝපායිහි වැවක් අසල දී මධුවිත පානය කර ගොස් එන අතරේ ‍පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාට කොටුවන්නේ හිස් ආවරණ නොමැතිව පැමිණි නිසාය.

එම ‍පොලිස් නිලධාරීන් දෙදෙනා වික්ටර් නිශාගේ කල්ලිය නතර කරන්නට ගිය නිසා මෙම ප්‍රහාරය එල්ල කළ බව මේ වනවිට හෙළිවන්නේය. වික්ටර්ගේ සෙසු සාමාජිකයන් කොටුකරන මෙහෙයුම් ද මේ වනවිට ඇරඹී ඇත්තේය.

නිශා වික්ටර්ට එරෙහිව දැනට චුන්නාකම්හි දී 2014 වසරේ දී දෙදෙනකු කපා කොටා දැමූ සිද්ධියකුත් 2015 දී කෝපායි නිවසකට පහරදීම, 2016 දී චුන්නාකම්හි දී බුද්ධි නිලධාරීන් දෙදෙනකුට පහරදීම, කෝපායිහි දී විශ්වවිද්‍යාල සිසුන් තිදෙනකු කපා දැමීම, වෙළෙඳසලකට පැට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම ඇතුළු චෝදනා එල්ල වී තිබේ.

දැනට ඇති තොරතුරු අනුව නිශා වික්ටර් කල්ලියට මුදල් ලැබෙන්නේ යුරෝපා රටවලිනි. ඒ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ හා දෙමළ ඩයස්‍පෝරාවෙනි.
යාපනයේ යතුරුපැදි කල්ලි බිහිකරන ඩයස්‍පෝරා මෙහෙයුම පසුපස සන්නා නමැති ස්විට්සර්ලන්තයට පැනගිය කොටි හිතවාදියකු සිටින බව හෙළි වී ඇත. සන්නා, දේවා, ප්‍රකාශ්, ලකී යන සාමාජිකයන් සමග රටින් පනින්නේ පසුගිය වසරේ නොවැම්බරයේදීය.

සන්නා ඇතුළු කණ්ඩායම පසුපස සිටින්නේ යුද සමයේ කොටින්ගේ යාපනය බුද්ධි අංශ ප්‍රධානියා වූ ප්‍රදීපන් මාස්ටර්ය. ප්‍රංශයේ සිට ප්‍රදීපන් මාස්ටර් විසින් පසුගිය වසරේ සන්නාගේ මෙහෙයවීමෙන් ආවා කණ්ඩායම කරළියට එන්නේය. සන්නා රටින් පැනගත් පසුව වික්ටර් නිශාගේ කණ්ඩායම අලුත්ම ආවා කණ්ඩායම ලෙස කරළියට ගෙනෙන්නේය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය දැනට හෙළි කරන තොරතුරු අනුව වික්ටර් නිශාගේ කල්ලියට යාපනය, කිලිනොච්චිය ප්‍රදේශවල පාසල් ළමයින් බඳවාගැනීම ඉලක්කය වී ඇත. මේ වනවිටත් එම කණ්ඩායමේ අවුරුදු විසිපහට අඩු තරුණයින් තුන්සියයක් පමණ බඳවාගෙන ඇතැයි අනාවරණය වන්නේය.

මේ සියලු දෙනා දකුණු ඉන්දියානු චිත්‍රපටවලින් ඇති වූ මානසික ව්‍යාකූලතාව නිසා කරළියට පැමිණෙන අය බව ද හෙළිවන්නේය.

හැත්තෑ ගණන්වල දී වේලුපිල්‍ලේ ප්‍රභාකරන් නමැති වැල්වැටිතුරෙන් කරළියට ආ තරුණයා තිස්තුන් වසරක සාපලත් ඊළාම් යුද්ධයට මුලපිරූ කොටි ත්‍රස්තවාදි නායකයා බවට පත්වනු ඇතැයි එදා ආරක්ෂක අංශවලට වැටහුණා නම් මෙවැනි තත්ත්වයක් උදා වන්නේ ද නැත.

යළිත් එවැනි තරුණයින් නැගී සිටින්නේ ද ඊළාම් මතවාද සමගය.
යාපනයට යන ‍පොලිස් නිලධාරීන්ගේ හැසිරීම ද මෙම කල්ලි සමග ගැටෙන්නට හේතු වී ඇත්තේය. යාපනයට යන බොහෝ ‍පොලිස් නිලධාරීන් දඬුවම් ලබා යාපනයට යන අය නිසා ඔවුන්ගේ රාජකාරි ස්වභාවය යාපනයේ දී දුර්වලය. නීතිය ක්‍රියාත්මක කර වැටලීම් කර වසර ගණනක් තනිවම උසාවි ගානේ යාමට වඩා ඔවුන් යාපනේ සිටින කාලය තුළ රස්සාව රැකගෙන සිට යාමට හුරුවීම රාජකාරි ස්වභාවය දුර්වල වීමට හේතු වී ඇත්තේය.

යාපනයේ ‍පොලිසිය යන්නේවත් නැති ප්‍රදේශවල මන්නා කල්ලි රජ කරති. ඔවුන්ට වෙනම නීතියක් ක්‍රියාත්මක වන ආකාරයෙන් හැසිරෙති. මේ අතරේ පගාවට බර වූ ‍පොලිස් නිලධාරීන් නිසා ‍පොලිසිය ගැන උතුරේ ඇති ජනමතය ද වෙනස්ය.
උතුරේ මහ ඇමැතිවරයාගේ සිට බහුතරයක් ශ්‍රී ලංකා ‍පොලිසිය ප්‍රතික්‍ෂේප කරමින් ස්වයං පාලනය, ‍පොලිස් බලතල ඉල්ලද්දී උතුරේ නැගී එන සන්නද්ධ කල්ලිවලට ද ඒවා නියම සටන් පාඨ වී ඇත.

මේ තත්ත්වය තුළ ප්‍රභාකරන්ගේ ඡායාරූප හා වීඩියෝපට නරඹමින් ඊළාම් මතවාද වපුරන්නන් මේ කල්ලි සමග එක්වෙමින් කරළියට එන්නේ ද වෙනත් ආකාරයකටය.
‍පොලිසිය නීතිය හා සාමය හරිහැටි ක්‍රියාත්මක කරන්නේ නම් මෙම කල්ලි හිස ඔසවන්නේ ද නැත. පසුගිය සතියේ සිට ‍පොලිස් මෙහෙයුම් අරඹා ‍පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමත් සමග තත්ත්වය සමනය වෙමින් ඇත්තේය.

යුද සමයේ හමුදාවටත්, එල්ටීටීඊයටත් ඇති බිය නිසා සන්නද්ධ කල්ලි කරළියේ සිටිය ද ස්ත්‍රීන් දූෂණය කළේවත්, අපරාධ කළේවත් නැත. අද හමුදාව කඳවුරු තුළය.

එල්ටීටීඊය ද නොමැත. නමුදු එල්ටීටීඊ සෙවණැලි මතින් කරළියට එන්නන් අහිංසක තරුණියන් දූෂණය කරමින් යළි සැරසෙන්නේ උතුරේ ජන ජීවිතය අඩාළ කරවන්නටය.

හමුදාව අත්‍යවශ්‍ය මොහොතක එළියට දැමීමට සූදානමින් ඇත. එදා විශේෂ බළකා යතුරුපැදි කණ්ඩායම් හා යුද ටැංකි කඳවුරකින් පිටතට ආ විගස කොටි ත්‍රස්තයෝ බියෙන් වෙව්ලා ගියෝය. අද නිකමටවත් ඒවා දකින්නට නොමැති නිසා දකුණු ඉන්දියානු ආභාෂය ලත් කඩු  මන්නා කල්ලි කරළියට ඇවිත් ඇත්තේය.

අනාගතයේ දී මෙම කල්ලි හිස එසවුවහොත් මර්දනය කිරීම ද ‍ලේසි පහසු නොවන්නේ ඔවුන් ෆේස්බුක්, අන්තර්ජාලය ඇතුළු නවීන තාක්ෂණ පහසුකම් හරහා තම පණිවුඩ හුවමාරු ජාලය ක්‍රියාත්මක කරවන නිසාය. මෙවන් අභියෝගයක් ජය ගැනීමට නම් කල්තියාම බැටන් ‍පොල්ලට, නිල ඇඳුමට බියවන සමාජ තත්ත්වයක් ඇතිකර නීතිය හා සාමය වහාම ක්‍රියාත්මක කළ යුතුය.


ආවා කල්ලියේ සුල මුල

සන්නා මනිපායි හින්දු විද්‍යාලයේ ඉගෙනුම ලබා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තේරුණු තරුණයකු වන අතර සන්නා සම්සින් නමින් පෙනී සිටින්නේය. ඔහු දකුණු ඉන්දියානු සටන් චිත්‍රපට නරඹා ඇති වූ මානසික ව්‍යාකූලතාව මත ආවා කල්ලිය සමග එක්වී ඇත. ආවා සිරගත වූ පසුව ආවා වෙනුවට කරළියට එන්නේ සන්නාය.

මෙම තරුණ කණ්ඩායම් තරුණ රැල්ලත් සමග කරළියට ආව ද මේ වන විට ඔවුන්ට දෙමළ ඩයස්‍පෝරාව මැදිහත් වී උදව් සපයන බව අනාවරණය වී තිබේ.
යුරෝපා රටවල දේශපාලන රැකවරණ ලබා සිටින උතුරේ මුල් පදිංචිය හිමි දෙමළ ඩයස්‍පෝරා සාමාජිකයන් හට යළි ශ්‍රී ලංකාව වෙත යාමේ වටපිටාවක් නිර්මාණය වෙද්දී උතුරේ කලබල ඇති කරවීමේ නව සැලසුම් ද ක්‍රියාත්මක වන බව හෙළි වී තිබේ.

කඩු, මන්නා කල්ලිවලින් බිහි වූ මෙම කණ්ඩායම්වල ඉතිහාසය බලද්දී මෙය වසර කිහිපයකට පෙර ඉන්දියාවේ සිට බෝට්ටුවකින් පැමිණි නිමලන් නමැත්තා බ්‍රසීලයේ සිට රැගෙන ආ කඩුවක් කම්හලකට දී කඩු පහළොවක් සාදාගෙන විනෝදන් කුමරේෂ් හෙවත් ආවා සමග නව කල්ලිය බිහිකරගෙන ඇත.

නිමලන් ඉන්දියාවට පැනගිය පසුව කරළියට පැමිණි විනෝදන් ආවා ගෲප් නමින් උතුරේ ඇති කළ භීතිය ආවා හිරේ ගියත් තවමත් පවතී.

තිස් වසරක යුද්ධයෙන් පීඩාවට පත්ව සිටින උතුරේ වැසියන් යුද්ධය නිමාවත් සමග නිදහසේ ජීවත් වුව ද මේ වන විට දෙමළ තරුණයන්ගෙන් සැදුම්ලත් සන්නද්ධ කල්ලිවලට බියෙන් ජීවත් වන බව පැහැදිලිය. ඔවුන්ට අද පාරක තොටක රන් ආභරණ පැලඳගෙන යා නොහැකිය. ආවා කල්ලියට බියෙන් ව්‍යාපාරිකයෝ ද කප්පම් ගෙවමින් සිටිති.

යුද්ධයේ දී සැමියා මියගිය හෝ සැමියා විදේශගතව සිටින ඇහැටකනට පෙනෙන කාන්තාවන් පමණක් නොව තුරුණු වියේ පසුවන දෙමළ තරුණියන් ද ජීවත් වන්නේ මර බියෙනි. ඒ නිරන්තරයෙන් ඔවුන් සන්නද්ධ දෙමළ කල්ලිවල අතවරයට ලක්වන නිසාය.

උතුරෙන් හමුදාව එළවා දමන්නට වෙරදරන ඊළාම්වාදීන් රජයේ හමුදාවන් උතුරේ කාන්තාවන්ට අඩන්තේට්ටම් කරන බවට මානව හිමිකම් උල්ලංඝනය කරන බවට වැරදි මත ජාත්‍යන්තරයට රැගෙන ගිය ද අද උතුරේ කාන්තාවන්ට අත්විඳින්නට වී ඇති ඉරණම ගැන කතා කරන්නේ නැත. රජයේ හමුදාවන් උතුරෙන් පලවා හරින්නට වෙර දරන උතුරේ මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මැතක දී පැවසුවේ උතුරේ කලහකාරී තත්ත්වය මැඬපවත්වන්නට ජාත්‍යන්තර මැදිහත්වීමක් අවැසි බවය.

උතුරේ මහ ඇමැති ඇතුළු කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටින දෙමළ සන්ධාන දේශපාලනඥයන් හා බටහිර ගැත්තන් ජාත්‍යන්තර බලපෑම් කර රජයේ හමුදාවන් කඳවුරු තුළට ගාල්කර දමා මේ චෝදනාව නගන්නේය. යුද්ධය අවසන් වූ පසුව ආරක්ෂක අංශ ගෙනගිය ආරක්ෂක වැඩපිළිවෙළ හමුවේ කිසිදු සංවිධානයක් එළිපිට හිස එසවූයේ නැත.

හමුදා බුද්ධි අංශයේ ක්‍රියාකාරිත්වය නිසා මීට පෙර යාපනයෙන් හිස ඔසවන්නට ගිය කොටි සෙවණැලි මුලදීම හඳුනාගන්නට හැකි වූයෙන් ත්‍රස්තවාදී ක්‍රියා ඇතිවීම නැවතී ගියේය.

එහෙත් දැන් උතුරේ තත්ත්වය වෙනස්ය. ආරක්ෂක හමුදා සිටින්නේ කඳවුරු තුළ සීමා කරය. හමුදා මුර සංචාර, මාර්ග සෝදිසි කිසිවක් නැත.

‍පොලිසිය යොදවා සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කරන්නට ගිය ද උතුරේ ‍පොලිසිවල සිටින ද්‍රවිඩ ‍පොලිස් නිලධාරීන් මෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ප්‍රධානීන් ද දෙමළ සන්නද්ධ කල්ලිවලට ආවඩති.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com

Untitled-2