ප්‍ර – කලකට පෙර කරළියේ පෙරළි කරපු නිර්මල කොතලාවලට මොකද වුණේ?
පි – මොකුත් නෑ. දේශපාලන අවබෝධය තුළ දේශපාලන කටයුතු ඒ විදිහටම කරගෙන යනවා. නමුත් මැතිවරණයට ඉදිරිපත් වුණේ නැහැ.

ප්‍ර – ඇයි ඔබ මැතිවරණයට ඉදිරිපත් නොවුණේ?
පි – මෙහෙමයි. දේශපාලන සිදුවීම්වල නිසි අවබෝධයක් ලබාගන්න හැකියාව ලැබුණා. ඒ තුළ පවතින දේශපාලන තත්ත්වය ගැන හිතේ ඇතිවුණ යම් අප්‍රසාදය නිසා මම යම් තීන්දුවක් ගත්තා කියලා හිතනවා.

ප්‍ර – ඇත්තටම ඔබ මැතිවරණයට ඉදිරිපත් නොවුණේ ලිස්සලා ගියේ දිනන්න බැරිවෙයි කියන බයටද?
පි – දිනන එක පරදින එක ජනතාව තීන්දු කරන දෙයක්. ඒ මැතිවරණයට ඉදිරිපත් නොවී කාගෙවත් මතවාදවලට තීන්දු ගන්න තරම් මම ලදබොළඳ පුද්ගලයෙක් නෙවේ. අපිව පරාජය කරපු අපිව බෙදපු කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙන්න බැරි නිසා මම දේශපාලන තීන්දුවක් ගත්තා කියලයි මම කියන්නේ.

ප්‍ර – ජනතාව අතර හිටපු දේශපාලනඥයෙක් වෙලත් ඇයි ඔබ මැතිවරණය අත්හරින්නේ එතැන යම් ප්‍රශ්නයක් තියෙනවා නේද?
පි – හරි, එතකොට අර ඉස්සරලා අහපු ප්‍රශ්නය මෙතැනදි නිශේධ වෙනවා. මම පෞද්ගලික කාලසටහනකින් නෙවේ ‍පොදු කාලසටහනකින් තමයි දේශපාලනය කළේ. නමුත් 2015 ජනවාරි 08 වැනිදායින් පස්සේ ගමන් කරන දේශපාලන මතවාදය දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳව කාරණාවලට එකඟ වෙන්න බැරි නිසා මම මේ තීන්දුවට ගියා එච්චරයි.

ප්‍ර – හරි, මට මේක කියන්න. ඔබ දැන් දේශපාලනය අතහැරලද?
පි – මම මැතිවරණ දේශපාලනයෙන් සමු අරගත්තා. නමුත් මට සම්බන්ධතාව ඇති හිතට එකඟව කටයුතු කළහැකි දේශපාලන මතවාදයක් තියෙනවා. ඒක වාමාංශික දේශපාලන මතවාදය. මම ඒකේ නියැළෙමින් පවතිනවා.

ප්‍ර – ඉදිරියේදි මැතිවරණයට ඉදිරිපත් වෙනවා?
පි – ඡන්දය ඉල්ලනවා කියන එකම නෙවේ දේශපාලනය කියන්නේ. ඡන්දය ඉල්ලන්නේ නැතුව දේශපාලනය කරන අය ඕන තරම් ඉන්නවා. අපේ රටෙත් ඉන්නවා. වෙන රටවලත් ඉන්නවා. ඒ නිසා ඡන්දය ඉල්ලීම කියන එකෙන් බැහැරව යම්කිසි දේශපාලන වැඩපිළිවෙළක නිරත වෙනවා.

ප්‍ර – වත්මන් දේශපාලන පසුබිම ගැන ඔබට තියෙන්නේ කෙබඳු කියවීමක්ද?
පි – ජනතාව දිනාගත්තු සියලු ජයග්‍රහණ ජනතා අයිතිවාසිකම් නැවත යටවෙමින් පවතිනවා කියන එක තමයි මම කියන්නේ.

ප්‍ර – ඔබ කියන්නේ මේ යහපාලන ආණ්ඩුව තුළින් ජනතාවට දිනා දුන්නු දෙයක් ඇත්තෙම නැද්ද?
පි – යහපාලන ආණ්ඩුවෙන් දිනාගත්තු දේවල් ගැන කතා කරන්න ඕනෑ වෙන්නේ යහපාලන ආණ්ඩුවට පෙර ජනතාව දිනාගත්ත දේවල් දිහා බලලයි. එසේ ලබාගත් දේවල් හොඳ නැත්නම් තමයි ඊට වඩා වැඩි දෙයක්නේ දිය යුත්තේ. ඉතින් ඊට වඩා වැඩි දේවල් ලැබිලා තියෙනවාද නැද්ද කියන එක මම කියනවාට වඩා රටේ ජනතාව අද අත්විඳලා තියෙනවා. අද රට පාලනය කරන පාලක පන්ති දෙකම හිතන්නේ තාමත් එයාලා ආණ්ඩුවක් පිහිටුවලා නෑ කියලයි. මොකද ඒ අය කියන්නේ අපි 2020 දී තමයි අපේ ආණ්ඩුවක් හදන්නේ කියලා. ඉතින් ඒ අය මානසිකව ආණ්ඩුවක් පිහිටුවලා නෑ. එහෙම ආණ්ඩුවකින් ජනතාවට ප්‍රතිලාභ ලැබිලා තියෙනවාද කියලා ඒ අයත් සෑහීමකට පත්වෙලා නෑ.

ප්‍ර – ඔබ තාම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්ද?
පි – මම උපන්ගෙයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. අදටත් මම එහි සාමාජිකයෙක්.

ප්‍ර – අද ඔබ ඉන්නේ ශ්‍රීලනිපයේ කිනම් පි‍ලේද?
පි – මම ඔය පිල් දෙකම නියෝජනය කරන්න බැරි නිසා තමයි අර මම මුලින් කිව්වා වගේ අපිව පරාජය කරපු, අපිව බෙදපු කණ්ඩායමේ ජයග්‍රහණයට දායක නොවී එක පිලකටවත් නොයා ඉන්නේ. මේ පිල් දෙකත් බෙදෙන වාර සංඛ්‍යාවක් සමානයි පරදින වාර සංඛ්‍යාවට.

ප්‍ර – ඔබ විශ්වාස කරන්නේ නැද්ද වත්මන් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග මේ රට මෙන්ම පක්ෂය යළි ශක්තිමත් කරන්න පුළුවන් කියලා?
පි – මට පැහැදිලිවම කියන්න තියෙන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජනාධිපති වීම වළක්වන්නයි මම දේශපාලනය කළේ. ඒක එතුමත් දන්නවා, මාත් දන්නවා. එතුමා එක්ක පෞද්ගලික ප්‍රශ්නයක්  මට නෑ.

ප්‍ර – එහෙනම් මොකක්ද තියෙන්නේ?
පි – එතුමා දිනවන්න නියෝජනය කරපු දේශපාලන බලවේගය පිළිබඳව මා තුළ ප්‍රසාදයක් පැහැදිලිතාවක් නෑ. මට විතරක් නෙවේ අද එතුමාටත් ඒක නෑ. මෛත්‍රීපාල අමාත්‍යතුමා අපි නියෝජනය කරන දේශපාලන බලවේගයේ නිර්මාණයක්. නමුත් මෛත්‍රීපාල ජනාධිපතිතුමා අපි නියෝජනය කරන දේශපාලන බලවේගයේ නිර්මාණයක් නොවේ. ඉතින් මම කොහොමද එතුමා ගැන අද සෑහීමකට පත්වෙන්නේ.

ප්‍ර – හරි, ඔබ මැතිවරණයට ඉදිරිපත් නොවී ගත්ත තීන්දුව දේශපාලන සියදිවි නසා ගැනීමක් නොවේද?
පි – මම දේශපාලනය කළේ ඡන්දය ඉල්ලලා මැති ඇමැතිකම් තනතුරු තාන්න මාන්න ගන්න නෙවේ. ප්‍රාදේශීය සභාවේ සභාපති ඉඳලා ආපු ගමනක් මට තිබුණේ. මම ජනතාව දුන්න වගකීම ඉටුකළා. ඇමැති වුණා කියලා මම වැජඹුණේ නෑ. මම තවදුරටත් මගේ ආත්ම ගරුත්වය රැකගෙන එම දේශපාලන වැඩපිළිවෙළේ මැතිවරණ දේශපාලනය කරන්න බැරි නම් මගේ දේශපාලන ජීවිතය විනාශ වුණාම කමක් නෑ.

හැබැයි මට දුන්න වගකීම මම නිසි ලෙස ඉටු කළා කියන හැඟීමෙන් ජීවත් වෙනවා.

ප්‍ර – ඔබට ඡන්දය දුන් ජනතාව නැවත මැතිවරණ දේශපාලනයට එන්න කියලා ඔබට ආරාධනා කරන්නේ නැද්ද?
පි – ඉතා පැහැදිලිවම ඒ අය බලපෑම් කරනවා. මම ගත්ත තීන්දුව ගැන ඒ අය එකඟ නෑ. ඒ අය කියන්නේ නැවත එන්න කියලා. ඒ පැමිණීම ගැන තීන්දු තීරණ ගන්න වෙන්නේ තමන් ගැන හිතලා ‍නෙවෙයි, ජනතාවට යම් ජයක් ලබාදෙන්න පුළුවන්ද කියන කාරණය තුළ පමණයි.

ප්‍ර – ඔබට වත්මන් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කතා කළේ නැද්ද?
පි – මේ මොහොතේ නෙවේ. නමුත් එතුමා ජනාධිපති වූ අලුත මට ආරාධනා කළා ඒ වැඩපිළිවෙළට සහාය දෙන්න කියලා.

ප්‍ර – ඔබ මොකද කීවේ?
පි – මම එතුමාට ඉතාම ගෞරවයෙන් කීවේ මට පවතින දේශපාලන සහ සංයෝගය එක්ක සම්බන්ධ වෙන්න බෑ, එතුමා කවදද අපි නියෝජනය කරන දේශපාලන බලවේගයක් එක්ක එකතුවෙලා වැඩපිළිවෙළකට යන්නේ, අන්න එදාට ඒ කාරණා සඳහා එකතු වෙන්නම් කියලා.

ප්‍ර – ඔබට විශ්වාසද ඔබ ඔය කියන දේශපාලන සුසංයෝගය එකතු වෙයි කියලා?
පි – ඒක විශ්වාස කරන්න පෙර ඒකට වැඩපිළිවෙළක් තියෙන්න ඕන. අද රාජ්‍ය බලය මෛත්‍රීපාල ජනාධිපතිතුමා සතුයි. මහජන බලය මහින්ද හිටපු ජනාධිපතිතුමා සතුයි. එතකොට මේ පාර්ශ්ව දෙකේම අය මේ මානසිකත්වයට එකඟ විය යුතුයි. එයට එකඟ නොවී අපිට ආණ්ඩු බලයක් හදන්න බෑ. ඒක දෙපාර්ශ්වයම තේරුම්ගත යුතුයි.

අපි 2015දී පැරදුණේ අපිව දෙකට බෙදපු නිසා. ඒ කාරණය නැවත නැවත සිදුවෙද්දී බෙදපු කණ්ඩායමම තමයි නැවත ජයග්‍රහණය කරන්නේ. ඒ පාර්ශ්ව දෙකම පෞද්ගලික කාරණා අමතක කරලා රටේ ‍පොදු කාරණා සම්පත් ගැන හිතලා රටේ ජනතාව ගැන හිතලා ‍පොදු න්‍යාය පත්‍රයකට පැමිණිය යුතුයි.

ප්‍ර – ඔබ කියන නායකයෝ දෙන්නම එකතු වෙන්න වුවමනාව තිබුණට වටේ ඉන්න අය ඒකට ඉඩදෙන්නේ නෑ කියලා හිතෙන්නේ නැද්ද?
පි – මම කාටවත් චෝදනා කරන්න කැමති නෑ. කුණු තියෙන්නේ මගේ ළඟ නම් මම ඒවා සෝදාගත යුතුයි. මම ඇතුළු සියලු දෙනාම ඒකට වගකිව යුතුයි. අද අපේ ප්‍රතිවාදියා වෙනම ගමනක් යද්දි අපි ඇනකොටා ගන්නවා.

ප්‍ර – ඉතින් ඇයි එකතු කරගෙන ජයග්‍රාහී ගමනක් යන්න කැපවෙන්නේ නැත්තේ?
පි – ඒ කෙරේ උත්සාහයක් ගත්තා. ඒත් ඒකට ඉඩක් නැත්නම් ඒකේ එක කොනක වහලෙක් නොවී ඊට වඩා තමන්ගේ දේශපාලන මතය, නිදහස් මතය තුළ ජීවත් වෙනවා ස්වාධීන පුද්ගලයෙක් ලෙස කියලා හිත හදාගෙන තමයි අද මේ ඉන්නේ.

ප්‍ර – ඇත්තටම අද ඔබ මොකද කරන්නේ?
පි – අද මම ‍පොතපත කියවමින් දරන දේශපාලන මතවාදය ජයග්‍රහණය කරවීමත් වෙනුවෙන් පුංචි දේශපාලන වැඩපිළිවෙළකත් නිරත වෙමින් ගෙදරට වෙලා තමන්ගේ දෙයක් බලාගෙන ජීවත් වෙනවා.

ප්‍ර – ඇත්තම කියන්න. ලොකු කලකිරීමකුත් තියෙනවා නේද?
පි – අනේ නෑ. කිසිම කලකිරීමක් නෑ. මට හොඳට නින්ද යනවා. ඉතා සුවසේ ඉන්නවා.

ප්‍ර – මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔබට කතා කළේ නැද්ද?
පි – ඇයි නැත්තේ? එතුමා නිතර කතා කරනවා. එතුමා එක්ක තිබුණු ඒ සහසම්බන්ධය දිගටම තියෙනවා.

ප්‍ර – ඔහු යළි බලයට ගේන්නද සූදානම?
පි – ඔහුට විශාල ජනතා බලයක් අද තියෙනවා.

ප්‍ර – හැබැයි ඔහුට යළි මේ රටේ ජනාධිපති වෙන්න බෑ නේද?
පි – මේකනේ, අපේ රටේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට ඉන්න පුළුවන් වසර 12යි. නමුත් කොයි කවුරු ජනපති වුණත් ඇමැතිවරු ඉන්නවා. ඒ ඇමැති අලුත් ජනපති ළඟත් ඇමැති, එතකොට අර හිටපු ජනපති තමයි නරකම ජනපති. මම කියන්නේ මේකයි. රටේ ජනපති වෙන්නේ හොඳම වැඩිම ජනතා වරම හිමි කෙනා. නමුත් ඔහුට දෙවතාවයි. කිසිදු වරමක් නැති ඇමැතිට ඕන තරම් කල් ඇමැති වෙලා ඉන්න පුළුවන්. අන්න ඒක වෙනස් විය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ම මේ විදිහට කැබිනට් ඇමැතිවරයෙක් වසර 12කට සීමා විය යුතුයි කියලා. මොකද ගන්නා වූ තීන්දු තීරණවලට ඔවුනුත් වගකියන නිසා.

ප්‍ර – 2020දී ඔබ ‍පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න සූදානම්ලු. ඇත්තද?
පි – මම හිතන්නේ 2020ට තව අවුරුදු තුනක්ම තියෙනවා. ඒ වසර තුනට එහා ගැන හිතන්නේ නැතුව ඊට මෙහා ගැනයි සිතිය යුත්තේ. මේ මොහොතේ සිදුවන්නේ සම්ප්‍රදායානුකූල වූ දේශපාලන විපක්ෂයක් විදිහට කරන දේශපාලන වැඩපිළිවෙළක්.

ඒක 1994 ඉඳලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉඳලාම ඒක කළා. උපක්‍රමශීලීව දේශපාලනය ඒ අය ආරම්භ කළේ 2015දී. ඒ හින්දයි ඒ අය දිනුවේ. ඉතින් අද විපක්ෂය නියෝජනය කරන අය සම්ප්‍රදායානුකූල දේශපාලනය කරනවා වගේම උපක්‍රමශීලී විය යුතුයි. එහෙම යද්දී 2020දී නිර්මාණය විය යුතු කෙනා නිර්මාණය වේවි.

ප්‍ර – 2015 මහ මැතිවරණයේදී ශ්‍රීලනිප අගමැති අපේක්ෂකයා ලෙස ඔබ යම් අයෙක් යෝජනා කරනවා?
පි – ඇත්ත. මම කෙනෙක් යෝජනා කරනවා.

ප්‍ර – ඒ හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා?
පි – ඔව්, ඇත්ත. එතුමාව තමයි මම යෝජනා කළේ.

ප්‍ර – ඇයි ඒකට මොකද වුණේ?
පි – කියන්න කනගාටුයි, ඒක සාර්ථක වුණේ නෑ.

ප්‍ර – ඔබ එතැනින් නේද කලකිරීමට පත්වන්නේ?
පි – එතැනින් කලකිරුණා කියන එක තුළ යම් සාධාරණයක් තියෙනවා. ඔබ නිවැරදියි. මට එතැනදි එහි වුණේ පෞද්ගලික කාරණාවක් වෙනුවෙන් නෙවේ. ‍පොදු කාරණාවක් ලෙස ජයග්‍රහණය කළා නම් අපි දිනාගත්ත දේවල් ආපස්සට හැරෙන්නේ නෑ කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා.

ප්‍ර – ඔබේ යෝජනාවට ඒ මොහොතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එකඟ වුණා නේද?
පි – ඔව්, එතුමා එකඟ වුණා කියලයි මම හිතන්නේ. රාජ්‍ය බලය හිමි පාර්ශ්වය එකඟ වුණා.

ප්‍ර – ඇයි රාජ්‍ය බලය නැති අනෙක් පාර්ශ්වය එකඟ නොවුණේ?
පි – එතැනදි සිදුවුණේ නිසි අවබෝධයක් නිසි වැටහීමක් ඒ වෙලාවේ ඒ අයට තිබුණේ නෑ කියලයි මම හිතන්නේ.

ප්‍ර – ඒ කියන්නේ ඔබ පිළිගන්නවාද මේ පක්ෂය දෙකඩ වීමට අවශ්‍ය මූලික කාරණා ටික ඉටු කරලා තියෙන්නේ රාජ්‍ය බලය අහිමි ඒ කණ්ඩායම කියලා?
පි – මට එක පාර්ශ්වයකට විතරක් චෝදනා කරන්න බෑ. මමත් ඇතුළුව අපි සියලුම දෙනා වැරදියි කියලා තමයි මට කියන්න තියෙන්නේ.

ප්‍ර – ඒ උත්සාහය සම්පූර්ණයෙන්ම අතහැරියාද? ආයේ ඒ උත්සාහය ගත්තේ නැද්ද?
පි – මම අද මේ ප්‍රසිද්ධ දේශපාලනයේ නැති නිසා මට ඒකට ඉඩක් නෑ. ඒ නිසා මම ඒ කාර්ය භාරය සම්බන්ධයෙන් ඊට එහා කටයුතු කරන්න යන්නේ නෑ. 2015 අගෝස්තුවලින් පසුව මම ඒ සියලු දේවල්වලින් මිදිලා මගේ වැඩක් බලාගෙන ඉන්නවා.

ප්‍ර – 2015 ඔබේ යෝජනාවම නැවත 2020දී නැවත ආවොත් ඔබ එතැනදි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවාද?
පි – මම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඡන්දය ඉල්ලුවේ නෑ කියලා ප්‍රශ්නයක් නෑ.

ප්‍ර – ඇත්තටම නිර්මල කොතලාවල කියන්නේ කවුද?
පි – මම ඉතාමත් සරල පුද්ගලයෙක්. මහා ලොකු දේවල් බලාගෙන ගමනක් ආරම්භ කළේ නෑ. ඉතාම පුංචි තැනින් ගමනක් ආරම්භ කළේ. මම වී කෙටුවා, මිරිස් කෙටුවා, ලොරි එළෙව්වා. ඒ හැමදේම කළේ ජීවිතේ ගැට ගහගන්න. මාව ජනතාව ලංකාවේ ජනගහනයෙන් 225කට පමණක් යන්න පුළුවන් තැනකට යැව්වා. මම එතැනදිත් ඉතාම සාමාන්‍ය ලෙස තමයි හැසිරුණේ.

ප්‍ර – ඒ කා‍ලේ දේශපාලනයෙන් හම්බ කරගත්තේ නැද්ද?
පි – කිසිම දෙයක් නෑ. මට ලැබුණු බලතල, වරප්‍රසාද අයුතු ලෙස පාවිච්චි කළෙත් නෑ. කිසිම දෙයක් හම්බ කළෙත් නෑ. මේ රටේ ජනතාවගේ දේ‍පොළ මම හොරකම් කරන්න තියා හිතලාවත් නෑ. එහෙම හොරකම් කළා නම් මට හෙණ ගහයි. මට දරු දෙන්නෙක් ඉන්නවා. බිරිඳක් ඉන්නවා. එහෙම කරලා තියෙනවා නම් ඒ සියලුම දෙනාට ඒ දිට්ඨ ධම්ම වේදනීය කර්මය ‍පොදුයි. ඒ නිසා මම කියන්නේ මම ඉතා සරල, අහිංසකව ජීවත් වෙන පුද්ගලයෙක්.

සාකච්ඡා කළේ – සුජිත් කෝනාර
sujithkona@gmail.com