රටක  අනාගතය එහි තරුණ පරපුර සහ ළමා පරපුරයි. නිරෝගී ළමා-තරුණ පරම්පරාවක් නොමැති රටක අනාගතය අඳුරුයි. බොහෝ දියුණුවූ සහ දියුණු වෙමින් පවතින රටවල දුරදර්ශී නායකයින් අන් සියල්ලට වඩා මේ පරම්පරාවේ සුගතිය වෙනුවෙන් තැනක් දෙන්නේ එය අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් නිසාය.

නිරෝගී පරපුරක් ඇති රටක සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වෙනුවෙන් වියදම් කළ යුතු මුදල අඩු යි. දැනට ගණන් බලා ඇති පරිදි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍යය සඳහා යන වියදමෙන් 21% ක් වැය වන්නේ ස්ථුලතාවය වෙනුවෙන් කෙරෙන ප‍්‍රතිකාර සහ ප‍්‍රචාරණයන් වෙනුවෙන්. දීර්ඝකාලීන ක‍්‍රියාමාර්ග ගැනීමෙන් අනාගතයේ වැඩිවන සෞඛ්‍යමය ප‍්‍රශ්න සහ ඖෂධ-උපකරණ-සේවා යන වියදම් අඩු කිරීමට හෝ පාලනය කිරීමට අනාගත රජයයන්ට හැකි වන නිසා රටක් ලෙස ඔවුන් අනාගතය වෙනුවෙන් ආයෝජනය කරනවා. විශේෂයෙන් දරුවන් රෝගවලට භාජනය වීමට ඉඩකඩ වැඩි වන විට ඔවුන් තරුණ පරපුර බවට පත්වන කල්හි ඔවුන්ගේ සෞඛ්‍යයේ පිරිහීමක් දක්නට ලැබෙයි. මෙය රටක ඵලදායීතාවයට සහ කාර්යක්ෂමතාවයට දැඩි පහරක් එල්ල කරන්නකි. මේ වෙනස දියුණු රටවල් සහ දියුණුව කරා  ගමන් කරන රටවල දැකිය හැකි පොදු ලක්ෂණයකි.

පසුගිය වසරක පළවූ දත්ත අනුව ලංකාවේද පාසල් වයසේ ගැහැනු ළමුන් 37% ක් සහ පිරිමි ළමුන් 17% ක් ළමා ස්ථුලතාවයෙන් පෙළෙන බව සොයාගෙන තිබේ. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් තවත් වසර දහයකින් ශ‍්‍රම බළකායට එකතු වන්නේ රෝගීන් පිරිසකි.ගණන් බලා ඇති පරිදි වසර 2020 වන විට ලංකාවේ ජනගහනයෙන් සියයට පණහක් දියවැඩියා රෝගීන් වෙති. තවත්් විදියකින් කිවහොත් තව වසර තුනක් වන විට දෙදෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියා රෝගියෙක්  වෙන බවයි. එවිට ඔබේ ජීවිත කාලය කෙතරම් කෙටි වෙනවාදැයි සලකා බලන්න.

දියවැඩියාව නිසා වකුගඩු රෝග, හෘද රෝග වැනි රෝග නිතැතින්ම වැලෙ`ද්. ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තවමත් මේ තත්ත්වය පාලනයට සමත් වී නැත. අවාසනාවට අපට ඉතිරිව ඇත්තේ එක විසඳුමකි. ඒ දැන දැනම මරණය කරා ගමන් කිරීමයි. එවිට ඔබේ දරුවන් හැදී වැඩෙනවා බලන්න, ඔවුන්ගේ සාර්ථකත්වය දකින්න, ඔවුන්ට නිසි මග පෙන්වන්න ඔබ ඉතිරි වන්නේ නැහැ. ළමා ස්ථුලතාවය ලංකාවේ තවමත් හරිහැටි අවධානය නොවූ ප‍්‍රශ්නයකි. සෞඛ්‍යමය පැත්තෙන් මෙය යම්තරමකින් හෝ සලකා බැලූවත්, කාර්යක්ෂමතාවය හෝ ඵලදායීතාවය අතින් මේ පුරෝකථන සිදු කර නැති බවයි පෙනෙන්නේ.

තමාගේ දරුවා දෙමාපිය යුවළකට ඇති මහඟුම සම්පතයි. පිළිසිඳගත් දා සිට මවක් සිය දරුවා වෙනුවෙන් කරන කැපවීම මේ ලොව සියලූ කැපවීම් අබිබවා යන්නේය. පියකු සිය ජීවිත කාළය පුරාම වෙහෙසෙන්නේ සිය දරුවන් සමාජයේ තමන්ට වඩා ඉහළ තැනක වැජඹවීමටයි. මේ දෙමාපිය යුවළකගේ ලේ සම් මස් ඇටමිදුළු පුරා දිවෙන දාරක ස්නේහයයි. උපන්දා සිට තම දරුවා වෙනුවෙන් නිදිවැරීම, දුක්විඳීම මවකගේ ඉරණම හා බැඳී පවතිනවා. ඒ වෙනුවෙන් ඇයට අමතර දීමනා හෝ විශේෂ ත්‍යාග ලැබෙන්නේ නැතිවා වගේම ඇය එය බලාපොරොත්තු වන්නේත් නැහැ ..ඇයට ලැබෙන්නේ දරුවන් හොඳින් හැදෙනු වැඩෙනු බලා – සමාජයේ හොඳින් වැජඹෙනු බලා ලබන සතුට පමණි. සමහර මවුවරුන් මේ අච්චුවෙන් ඉවතට පැන දරුවන්ට වඩා තම සුවය සැනසුම පතා ආත්මාර්ථකාමී වුවත්, 95% කට වඩා මවුවරුන් පියවරුන් සිය දරුවන් වෙනුවෙන් ජීවිතය කැප කරනවා.

දරුවා පෝෂණය කිරීම මවකගේ පියෙකුගේ මූලික කටයුත්තයි. ඒ වෙනුවෙන් තම හැකි පමණන් පෝෂ්‍යදායී ආහාර ගෙන දීම කොයි මවත්-පියාත් කරන මූලික දෙයකි.

මේ කටයුත්තේදී තම නැණ පමණින් සහ තම ආර්ථික මට්ටම අනුව උපරිමය කිරීමට ඔවුහු කටයුතු කරති. ගමේ වෙසෙන දෙමාපියන් නිතිපතා තම හැකි පමණින් දරුවන් පෝෂණය කළත්, ඉඳහිට හෝ කුකුළුමස් කැබැල්ලක්, චොකලට් පෙත්තක් ආදිය ගෙනවිත් දීමට තමන්ට හැකිනම් පසුබට වන්නේ නැත. නාගරික මධ්‍යම සහ උසස් මධ්‍යම පාන්තික පවුල්වල තත්ත්වය මෙයට තරමක් වෙනස්ය. ඔවුහු බොහෝදුරට වාහනයක් පාවිච්චි කරන, තරමක පෝෂ්‍යදායී ආහාර වේලක රස බලන, කුකුළු මස් – හැම්බේකන් හෝ බටර් මාගරින් ආදියේ රසකැවිලි ආදියේ පහස වඩා වැඩියෙන් ලබන කාණ්ඩායමක්. එසේම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් අමතර පන්තිවලට, අමතර ක‍්‍රියාකාරකම්වලට ගෙනයන, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් වැඩි ආයෝජනයක් කරන කාණ්ඩයක්. ඔවුන්ගේ කාලසටහන කාර්යබහුලය. බොහෝවිට මවත්, පියාත් දෙදෙනාම රැුකියා කරන අය වෙයි. මේ නිසාම සමහරවිට දෛනික ආහාර වේල ගැන ලැබෙන්නේ අඩු අවධානයක්. දවස පුරා වෙහෙස වී දරුවන් කැටුව නිවසට පැමිණෙන මව සහ පියා කිහිපදෙනෙකුට කෑම ඉවීමේ භාරධූර කටයුත්ත වෙනුවට වඩා පහසු වූ ආහාර වේලක් මගින් ගෙන ඒම හෝ නිවසටම ගෙන්වා ගැනීම යන කටයුත්තට යොමු වෙනවා. බොහෝ විට ආප්ප, ඉඳිආප්ප, කොත්තු, ආදී පිසූ ආහාර වේලක් අසල වූ කෑම කඩයකින් සැපයෙනවා විය හැකියි. මේ ආහාර වේල් බොහෝදුරට එතරම් සෞඛ්‍යාරක්ෂිත නොවිය හැකිය. අධිකව තෙල් සහ රසකාරක දැමූ මේ ආහාර කොහොම සකසනවාදැයි දන්නේ දෙයියෝ සහ සකසන කෙනා පමණය. බොහෝ විට මේ ආහාරවල එළවළු නරක් වීමට ආසන්න ඉවත දමන එළවළු විය හැකියි. ආහාර ව්‍යාපාරය ලාභ ලබන්නේ එසේය. එමෙන්ම ආහාර රස කිරීමට ඵීඨ අඩංගු රසකාරක එකතු නොකරන ආහාර සපයන්නෙක් සොයා ගැනීම බොහොම දුර්ලභයි. මේ තෙල්, රසකාරක සියල්ල ස්ථුලතාවට පාර පෙන්වන බව සොයාගෙන ඇත. දරුවන්ට ඇති අසීමිත ආදරය නිසාම, දරුවන් වඩා කැමති බටහිර ක්ෂණික ආහාර සමාගම්වල ශාඛාවලට යාමට හෝ ඒවායින් ආහාර රැුගෙන ඒමට දෙමාපියෝ කටයුතු කරති. එසේම විවිධ කෝලා වර්ග- පැණි බීම වර්ග ආදියද ලබා දීමට ඔවුන් කටයුතු කරති.

මෙයට අමතරව බොහෝ දරුවන්ට පාසලේ සහ අමතර පන්තිවල ක‍්‍රියාකාරකම් අධිකය. අද පවතින තරගය නිසාම ඔවුන් අමතර පන්ති එකක් හෝ කිහිපයකට සහභාගී වී නිවසට පැමිණෙන්නේ බොහෝ වෙහෙස වීලා සහ ප‍්‍රමාදවීය. ඔවුන්ට එළියකට පහළියකට බැස ක‍්‍රීඩාවක් කිරීමේ අවස්ථාව ඉතාම අඩුයි. බොහෝ විට සති අන්තය ද පෞද්ගලික පන්ති, සංගීත පන්ති, චෙස් පන්ති, ආදී පන්ති කරා යාමට සිදු වෙති. මේ නිසා දරුවන්ට ඇඟ වෙහෙසා ක‍්‍රීඩා කිරීමට අවස්ථාවක් නැති තරම්ය. සමහර දෙමාපියෝ තම දරුවන් කරාටේ හෝ පිහිනුම් සඳහා රැුගෙන යනවා. දැඩිව කය වෙහෙසා කරන ක‍්‍රීඩා කරන්නේ බොහොම අල්ප සංඛ්‍යාවකි. කෙසේ වුවත් වසර විස්සකට පමණ පෙර රට පැවති තත්ත්වයෙන් අප බොහෝදුරට අපගමනය වී ඇති බව නම් පෙනෙන්නට ඇති කරුණක්.

දශක තුනකට පෙර කාලයේ පාසල් ගොස් පැමිණෙන අප අමතර පන්ති ගියත් අවම වශයෙන් සතියකට දින දෙකක් හෝ කිසියම් ම ක‍්‍රීඩාවක යෙදුනෙමු. පන්තියේ යහළුවන් හෝ වට පිට මිතුරන් කිහිප දෙනෙකු එකතුකරගෙන හෝ ක‍්‍රිකට් ගැසුවෙමු.

ඇති තරම් දිව්වෙමු, බයිසිකල් පැදීමු, එල්ලේ ගැසීම වැනි දේ කළෙමු. තරමක් වැඩුන පසු වොලිබෝල් වැනි ලොකු මිනිසුන්ගේ ක‍්‍රීඩාවලට ද සහභාගි වුණෙමු. අද කුඩා දරුවන් එසේ ක‍්‍රීඩා කරනවා දකින්නට නැති තරම්ය. දැන් වොලිබෝල් දකින්නටත් නැති තරම්ය.. දැන් දුවන්නේ මහල්ලන්, වැඩිහිටියන්ය. ඒ ඔවුන්ගේ ජීවිතය තවත් දවසක් දිගු කරගන්නටය. ඒ වගේම දැන් සියලූම දෙනා හැල්මේ දුවති. එ් ව්‍යායාමයට නොවෙයි, ජීවිතය ගැට ගසා ගැනීමේ තරගයටය මේ දශක තුනක් තුළ ලාංකීය ජීවිතයේ සිදු වූ වෙනසයි.

ස්ථුලතාව සමාජයේ සියළුම වයස් ස්ථරවලට බලපාන්නකි. මා දන්නා මගේ වයස මට්ටමේ සහ වසර කිහිපයක් වැඩිමහලූ කිහිප දෙනකුම හදිසි හෘදයාබාධවලින් අප හැර ගොසින්. මගේම වයසේ මිතුරන් අධික රුධිර පීඩනයෙන් පීඩා විඳිති. සමහරුන්ට දියවැඩියාව. බොහෝ දෙනෙක්ගේ උදරය ඉදිරියට නෙරාවිත් ඇත්තේය. ඒ කිසිවකු මා දන්නා ආකාරයට සිය ශරීර සෞඛ්‍යය පිළිබඳ වැඩිදුර අවධානයක් ඇත්තෝ නොවෙයි. පෙර පැවති කඩවසම් බව තවමත් පවත්වාගෙන යන කිහිප දෙනා නම් තවමත් පෙර පරිදිම ක‍්‍රීඩාවේ නියැළෙනවා. ඒ බොහොමත්ම අල්ප දෙනෙක් පමණි.

මේ දෙමාපියන්ගේ දරුවන් ද දුවන්නේ තරගය ජය ගන්නටය. ඔවුන්ට සිය සෞඛ්‍යය ගැන මතක් වන්නේ එක්කෝ රෝගයක් වැලඳුන විට හෝ වෙනත් කාරණයකට වෛද්‍යවරයකු වෙත ගියවිට වෛද්‍යවරයා මතක් කළහොත් පමණි. එවිට ඔවුහු පමා වූවා වැඩි විය හැකියි. මේ තිත්ත ඇත්තයි. ලංකාවේ බොහෝ දෙනා සිතන්නේ දරුවන් තරමක් මහතට සිටීම ඒ දරුවා සනීපෙන් සිටින බවට බාහිර මිම්මක් ලෙසය. එසේ වුවද දැන් දැන් ආහාරවලට එක් කරන හෝමෝන සහ විවිධ රසකාරක නිසා දරුවන්ගේ ශරීර තුළ විවිධාකාර අසාමාන්‍ය වෙනස්කම් සිදු වේ. පෙර කළ අවුරුදු 13-15 අතර වැඩිවිය පැමිණෙන ගැහැනු දරුවන් දැන් අවුරුදු 9-10 වන විට වැඩිවිය පැමිණෙන්නේ මේ හෝමෝන අනවශ්‍ය ලෙස දරුවන්ගේ සිරුරු තුළට ඇතුළු වීම නිසාය. පිරිමි දරුවන් මෙන් නොව බොහෝ විට ගැහැනු දරුවන්ට වැඩිපුර ඇඟ වෙහෙසා ක‍්‍රීඩාවක් කිරීමට අවකාශයක් ලැබෙන්නේත් නැත. සමාජයීය මෙන්ම සංස්කෘතික බාධා තවමත් අප වෙලාගෙන සිටීම මෙයට හේතුවයි.. මේ නිසා සහ ඔවුන්ගේ පරිවෘත්තීය ක‍්‍රියා නිසාම ඔවුන්ගේ සිරුරු තුළ මේදය තැන්පත් වීම වැඩිපුර සිදුවන්නේය. මේ නිසා ගැහැනු දරුවන් ස්ථුලතාවට පත්වීම වැඩිපුර සිදු වනවා.

එසේම මෙය පසුකාලීනව ඔවුන්ගේ ජීවිත මෙන්ම ආත්ම විශ්වාසයට ද බලපානවා. මේ නිසාම තරුණ වයසට පැමිණෙත්දී ඔවුන් ආහාර පාලනයට නතවෙති. මෙයින්  සිදුවන්නේ මේ නිසා තරුණ කාලයේදී අවශ්‍ය පෝෂණය නොලැබී යාමයි. කෙට්ටු වීමට නොකා සිටීමෙන් සිදු වන්නේ පසුකාලීනව ගැස්ට‍්‍රයිටීස්, දියවැඩියාව වැනි වෙනත් රෝග වැලඳීමයි. මෙය චක‍්‍රයකි. මේ චක‍්‍රය බිඳ හෙළිය හැක්කේ දරුවන්ට නිසි පෝෂණය නිසි ආකාරයට කුඩා කාළයේදීම ලබා දීමෙන් පමණි. ආහාර පාලනය – සමබල ආහාර ලබා දීම. ආහාර ලබා දීමේදී සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳ සැලකිලිමත් වීම යන කාරණා සාක්ෂාත් කර ගතහොත් තම දරුවන් අනාගතයේදී රෝගීන් වීමෙන් වළක්වා ගත හැකිය. සත්තකින්ම මෙහි වගකීම ඇත්තේ දෙමාපියන් හා ගුරුවරුන් වෙතය. ඒ තමන් දැනුවත් වීමෙන් හා අනුන් දැනුවත් කිරීමෙනි. දරුවන්ට ඇඟ සොලවා ක‍්‍රීඩා කිරීමට අවකාශ ලබා දීමෙන් ඔවුන්ගේ රුධිර සංසරණය ක‍්‍රමවත් වී මානසිකවද ප‍්‍රබෝධමත් වෙති. දරුවා අධ්‍යාපනයේ ඉහළට යන්නෙන් සමබබරව සිතන්නේ මානසිකව ප‍්‍රබෝධමත් දරුවාය.

මෙම ලිපිය කියවන ඔබ මෙයින් 10%ක් හෝ අනුගමනය නොකරනවා නම් එහි ඇති අරුතක් නැත.

බටහිර රටවල ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වී ඇත්තේ ළමා ස්ථුලතාවයි. බොහෝ දරුවන් සිය වයසට වඩා බරින් වැඩියි. බොහෝ දරුවන් විවිධාකාර රෝගවලින් පෙළෙති. දැනුවත් දෙමාපියෝ සිය දරුවන් සමබර ලෙස හදා වඩා ගනිති. බොහෝවිට ඔවුන් ආහාර පාලනය – එළිමහන් ක‍්‍රීඩා කෙරෙහි දරුවන් යොමු කිරීම මෙන්ම පවුලේ ක‍්‍රියාකාරකම් මගින් දරුවන් නිරෝගී කිරීමට වගබලා ගනී. ඒ සමාජයෙන් 10 % ත් 20 % ත් අතර කොටසක් පමණි. ඉතිරිය රැුල්ලට හසු වී ගසාගෙන ගොස් – පසුව පසුතැවිලි වෙති.

දැන් ලංකාවේ දරුවන් බොහොමයක් පරිගණක ක‍්‍රීඩා, ජංගම දුරකථන භාවිතය වෙත නැඹුරුව සිටිති. දෙමාපියන් පවා පහසුව තකා ඔවුන්ට දුරකථනය හෝ ටැබ් එකක් ලබා දී ක‍්‍රීඩා කරන්නට ඉඩ සලසති. මේ නිසා දරුවන් කය වෙහෙසා කරන ක‍්‍රීඩාවකට යොමු වීම අල්පය. එයින් වැරදි දෙකක් වන්නේය. පළමුවැන්න වන්නේ ඔවුන් ඒ සඳහා ඇබ්බැහි වීමයි. එමගින් දරුවාගේ මානසික ශක්තිය, තර්ක කිරීමේ හැකියාව, නිර්මාණශීලීත්වය වැනි දෑ අහිමි වන බව සොයාගෙන තිබේ. දෙවැන්න දරුවා කය වෙහෙසා කරන ක‍්‍රීඩාවලට සහ කණ්ඩායම් ක‍්‍රීඩාවලට යොමු නොවීම නිසා දරුවාගේ කායික ශක්තිය හීන වීම, ස්ථුලතාවය වැඩි වීම, කණ්ඩායම් හැඟීමක් නොමැති වීම, කායිකව ක්ෂණික ප‍්‍රතිචාර දැක්වීමේ හැකියාව නොමැති වීම නිසා අනතුරුවලට ලක්වීම වැනි අහිතකර දෑ සිදු වන්නට ඇති හැකියාවයි.

ළමා ස්ථුලතාවය නිසා දරුවන්ට වැලඳිය හැකි රෝග රාශියකි. මේ අතරින් දියවැඩියාව, අධික රුධිර පීඩනය, ස්නායුගත ආබාධ, ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ ආබාධ, කායික ආබාධ, අස්ථි දුර්වලතා ප‍්‍රධානය. මෙයින් වඩාත්ම සංවේදී වන්නේ මානසිකව දරුවා අපහසුතාවට පත්වීම නිසා සිදුවන ආත්ම විශ්වාසය බිඳවැටීම වැනි නැවත පිළිසකර කිරීමට අපහසු තත්ත්වයන් ඇති වීමයි.

ආචාර්ය පියල් ආරියනන්ද
ආචාර්ය පියල් ආරියනන්ද

අවශ්‍යතාවය ඇතිනම් වෙනස් වන්නට පුළුවනි. සමහර එළවළු වර්ග තම වත්තේම වගා කරගත හැකි තමන් වගා කරන ගමන්ම තම දරුවන්ටත් එක් එළවළු පාත්තියක් වගා කිරීමේ වගකීම පැවරිය හැකියි. එයින් ඔවුන් ඇඟ වෙහෙසා යමක් කිරීම- වගකීමක් දැරීම- ඉන් ප‍්‍රතිඵල ලැබීම වැනි බොහෝ දේ ඉගෙන ගන්නවා පමණක් නොව, එය ඔබේ ආර්ථිකයට සහයක් මෙන්ම, පවුලේ සියල්ලන් එකට එකතු වී යමක් කිරීම නිසා පවුලේ සමගිය පවා ඉහළ යාමට සාධකයක් වන්නේය. එමෙන්ම ඔබ වගා කරන දෑවලට ඔබ අනවශ්‍ය රසායන ද්‍රව්‍ය එකතු නොකරන නිසා පවුලේ උදවියගේ සෞඛ්‍යාරක්ෂිත බව ද ඉහළ යන්්නේය. කඩෙන් ගෙන එන පළතුරු බීම වෙනුවට පලතුරු ගෙඩියක් දෙකක් බ්ලෙන්ඩරයට දමා අවම සීනි ප‍්‍රමාණයක් දමා තමන් විසින්ම පළතුරු බීමක් සාදා ගත හැකියි. එය තම දුවට පැවරීමෙන් ඒ වගකීම සහ දැනුවත්භාවය තවත් පරපුරකට සන්නිවේදනය වෙනවා ඇති. මෙසේ තම චර්යාවන් වෙනස් කර ගැනීම මගින් තමන්ගේත් පවුලේත් සුබසාධනය සලසා ගත හැකිය. ක්‍ෂණික ආහාර අඩු කිරීම, පැණි බීම, සෝඩා වර්ග පානය නැවැත්වීම, දුවනගිරි හෝටල්වලින් ආහාර ගැනීම නැවැත්වීම සහ නිසි ව්‍යායාම ලබා දීම මගින් දරුවන්ගේ මෙම ස්ථුලතාවය අඩු කළ හැකියි. ආණ්ඩුවෙන් හෝ පාසලෙන් ඒ දේ කෙරෙනවාට වඩා ස්වයං පාලනයෙන් – ස්වයං වාරණයෙන් සහ අවබෝධයෙන් යමක් කරා යාම සතුටක් දනවන්නකි. අදම ඔබ පවුලේ සාමාජිකයන් සමග සාකච්ඡුා කර තමන්ගේ පවුලේ චර්යාවන් වෙනස් විය යුත්තේ කෙසේද කියා බලා වෙනස් වුවහොත් 2020 වන විට රටේ ජනගහනයෙන් 50% වන දියවැඩියා රෝගීන්ගේ කොටසට නොවැටී සිටීමට ඔබටත් හැකි වේවි. නැතහොත් 2020 වනතෙක් කීදෙනෙක් ජීවත්ව සිටී දැයි බලා ඔබටම සුසුම් ලෑ හැකියි….
ඔබේ පවුල රැුක ගැනීමේ – ඔබ ආරක්ෂාවීමේ තීරණය ඔබ සතුයි… අපට හැක්කේ එය කියාදීම පමණයි.

ඉතින් සිතන්න…. අදම ක‍්‍රියාකරන්න…. සමාජයක් වෙනස් කළ හැක්කේ තනි තනිව ඔබ වෙනස් වීමෙන් පමණි. ලිප්ටන් වටරවුමේ බෝඞ් එල්ලාගෙන පාර වසාගෙන කෑගැහූ පමණින්ම සමාජය වෙනස් කරන්න නොහැකිය යන්න ඔප්පු වෙලා හමාරය. ඔබ වෙනස් වී අවට සිටින්නවුන් එක එකා වෙනස් කරන්න… සමාජය හොඳ අතට වෙනස් වන්නේ එවිටය.