නාවික හමුදාව විසින්  09 වැනිÞ රාත්‍රී ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින්, නාවික සැතපුම් 9.5 ක්, 6 ක් සහ 7 ක් පමණ වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවන් හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 3 ක් අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාවේ උතුරු නාවික විධානයට අනුයුක්ත මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රා මඟින්  මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවිය.

මෙම ඉන්දීය ධීවරයින්, තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙන යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇති අතර, එය සාගර සම්පත් විනාශ කරන මසුන් ඇල්ලීමේ ක්‍රමයක් ලෙස හ`දුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රා සහ භාණ්ඩ කරෙයිනගර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙතද, ධීවරයින් කන්නසන්තුරය ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙතද රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතය.

තවද, පසුගිය අගෝස්තු මස 03 වන දින, අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයින් 77 දෙනකු නිදහස් කිරීමට ද නාවික හමුදාව කටයුතු කළේය.

හිරුසඳුන් ලියනගේ – හිනිදුම