සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණය කිරීමේදී අධිකරණ නියෝග කඩ කළ සිද්ධීන් දෙකකට අධිකරණයේ පෙනී නොසිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්, පබසර ධර්මරත්න යන දෙදෙනා ඇතුළු පස් දෙනකුට කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (10) වරෙන්තු නිකුත් කළාය.
මෙම පස්දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නඩු දෙක කැඳවූ අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරිය කොල්ලුපිටිය ‍පොලිසියට නියෝග කළාය.

මහජන පීඩා ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණයක නිරත වූ බවට එල්ල වූ චෝදනාවකට අදාළව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්, සනත් බණ්ඩාර, පබසර ධර්මරත්න යන අයට සහ සූරියවැව සුසිල්, රත්කරව්වේ ජිනරතන හිමිවරුන්ට මෙලෙස වරෙන්තු නිකුත් කෙරිණි. මෙම සිද්ධීන්වලට අදාළව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ඇතුළු අනෙකුත් සැකකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

කේතක යතීන්ද්‍ර බස්නායක