ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය හෙට (12) පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. ගාල්ලේදී ලකුණු 304ක ජයක්ද, එස්.එස්.සී. පිටියේදී ඉනිමක හා ලකුණු 53ක ජයක්ද ලබමින් තරගාවලිය මේවන විටත් 2-0 කින් ජය තහවුරු කරගෙන සිටි ඉන්දීය පිලට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් ලබා නොදීමේ සටනක නිරතවීමට ශ්‍රී ලංකා පිල මෙම තරගයේදී සැලසුම් කරනු ඇත.
කෙසේ වෙතත් දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිලට ප්‍රබලම දඟපන්දු යවන්නා වන රංගන හේරත් මෙම තරගයට සහභාගි නොවීමත් වේග පන්දු යවන නුවන් ප්‍රදීප් ආබාධයක් නිසා ඉවතව සිටීමත් නිසා ලැබි ඇති අභියෝගය සුළුපටු නොවේ.

විරාත් කෝලි ප්‍රමුඛ ඉන්දීය පිලට දඟ පන්දු යවන රවීන්ද්‍ර ජඩේජා අයිසීසී තරග තහනම නිසා මෙම තරගයට සහභාගි නොවීම තරමක පාඩුවක් වුවද එම අඩුව අලුතෙන් කණ්ඩායමට කැඳවූ ආක්ෂා පටෙල් හෝ සංචිතයේ මුලින් සිටි කුල්ඩිෂ් යාදව් වෙතින් සපුරා ගැනීමට අදහස් කරයි.

කෙසේ වුවත් පල්ලෙකැ‍ලේ තණතිල්ල සාමාන්‍යයෙන් වේගපන්දු යවන්නන්ට වඩාත් උචිත නිසා මෙම තරගයේදී වේග පන්දු බළඇණිය ශක්තිමත් කර ගැනීමට දෙපිලම අදහස් කරනු ඇත.

ශ්‍රී ලංකා පිලට නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල් ආබාධයක් නිසා ඉවත්ව සිටින හෙයින් දුෂ්මන්ත චමීර හා ළහිරු ගමගේ සංචිතයට කැඳවා ඇත. මේ අනුව ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර දෙදෙනා සමගින් වමතින් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු ද තෙවැනි වේග පන්දු යවන්නකු ලෙස එක් කිරීමේ සූදානමක් ඇතත් ඒ පිළිබඳව ස්ථිර නිගමනයකට පැමිණ තිබුණේ නැත.

එස්.එස්.සී. දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ ශ්‍රීලංකා පිල යම් සාර්ථක බවක් ලැබිම නිසා එම විශ්වාසය මත මෙවර පිතිකරණය වඩාත් ශක්තිමත් කිරීමට සැලසුම් කරයි.

විශේෂයෙන් දිමුත් කරුණාරත්න සමගින් උපුල් තරංග හොඳ ආරම්භයක් ලබාදීම වඩාත් වැදගත් වනු ඇත. කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, මැද පෙළ ශක්තිමත් කළහොත් ප්‍රතිවාදීන්ට අභියෝගයක් එල්ල කිරීමට හැකියාව ලැබෙනු ඇත. කෙසේ වෙතත් දිල්රුවන් පෙරේරා සමගින් මලින්ද පුෂ්පකුමාර හෝ ලක්ෂාන් සඳකැන් මෙම තරගයට සහභාගි කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. අවසන් වරට ඔස්ට්‍රේලියාව සමග පැවැති පල්‍ලේකැ‍ලේ ටෙස්ට් තරගයේදී සඳකැන් කඩුලු අතරට පැමිණි නිසා ඔහු ගැන වැඩි අවධානයක් තිබුණද අවසන් 11 දෙනා පිළිබඳව තරගයේ උදෑසන තීරණයක් ගැනීමට නියමිතය.

ඉන්දියාවට එරෙහිව මතෛක් ටෙස්ට් තරගාවලියක පූර්ණ ලෙස පරාජයක් ශ්‍රී ලංකාවේදී ලබා නොමැති නිසා මෙම ටෙස්ට් තරගයේ පරාජය වළක්වා ගැනීමට ශ්‍රී ලංකා පිල සියලු වෙර වීරිය දරනු ඇත.

කෙසේ වෙතත් දෙවැනි ටෙස්ට් තරගයේදී රංගන හේරත් හා මලින්ද පුෂ්පකුමාර දෙදෙනාම එක් කිරීම ලොකු මතභේදයකට හේතු වූ නිසා පල්‍ලේකැ‍ලේ තෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීම ගැන වැඩි අවධානයක් ගනු ඇත.

ධම්මික රත්නවීර

koli