සුන්දර යොවුන් වියේදී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීම කිම්ලන් ජිනකුල්ගේ දිවියේ ඉටු නොවුණු සිහිනයයි.

යෞවනය අධිවේගයෙන් ගෙවී ගියද ඇය සිහිනය වියැකෙන්නට ඉඩ නොදුන්නාය.

කිම්ලන් ඊයේ (08) තායිලන්තයේ, සුඛෝතෝ තම්මුත්තු විවෘත විශ්ව විද්‍යාලයෙන් මානව හා පවුල් සංවර්ධනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය ලබාගත්තාය.

ඇය අභිනවයෙන් උපාධිය ලැබූ සිසු සිසුවියන් අතර සිටි වයස්ගතම සිසුවියයි.

මේ වන විට 91 හැවිරිදි වියේ පසුවන කිම්ලන් විශ්ව විද්‍යාලයට ඇතුළත් වන විට 72 හැවිරිදි වියේ පසුවූවාය.

එකල ඇයගේ දියණියකගේ වියෝ්ව සිදුවිය.

සංවේගය දරා ගැනීමට නොහැකිව ඇය විශ්ව විද්‍යාල ජීවිතයෙන් ඈත් වූවාය.

පසුව නැවතත් ඇය මඟහැරී ගිය සිහිනය සැබෑවක් බවට පත්කර ගැනීමට උනන්දු විය.

එ් වන විට කිම්ලන් සිය ජීවන ගමනේ 85 වැනි විය පසුකරමින් සිටියාය.

හිමිදිරියේ අවදි වන කිම්ලන් බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගෙන අසල විහාරස්ථානයකට ගොස් අධ්‍යයන කටයුතුවල නිරත වූවාය.

මානව විද්‍යා විෂයයන් හැදෑරීම නිසා දියණියගේ වියෝවෙන් සංතාපයට පත් වුණු සිත්සතන් සංසුන් කර ගැනීමට හැකි වුණු බව ඇය පවසයි.

“මගේ මනස හැම විටම තියුණුයි, අධිෂ්ඨාශීලියි. එ් නිසා මම ප‍්‍රමාදයි කියළා මට කවදාවත් හිතුණේ නැහැ. විභාගයක් අසමත් වුණාම මම දුක් වුණේ නැහැ. එම විභාගය නැවත සමත් වන තුරු නැවත නැවතත් මම එම විභාගයම ගන්නවා” කිම්ලන් පවසන්නීය.
1926 වසරේ උතුරු තායිලන්තයේ ලම්පාන් පළාතේ උපත ලැබූ කිම්ලන් එකල එම පළාතේ තිබුණු උසස්ම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ දීප්තිමත් සිසුවියක් වූවාය.

ඇයගේ එකම බලාපොරොත්තුව වූයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමයි.

නමුත් කිම්ලන්ගේ දෙමව්පියන් වඩාත් සුවපහසු ජීවියක් පතා බැංකොක් නගරය වෙත සංක‍්‍රමණය විය.

එහිදී ඇයගේ විවාහය සිදුවීම නිසා විශ්ව විද්‍යාල සිහිනය අතහැරී තිබේ.

විවාහයෙන් කිම්ලන් දූදරුවන් පස් දෙනෙකුගේ මවක් වූවාය.

තම දූදරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දීමට කිම්ලන් නිරන්තරයෙන් කැප විය.

ඇයගේ දරුවන් සිව් දෙනෙකු ආචාර්්‍ය උපාධිය ලබා ගත් අතර එක් දරුවෙකු ඇමරිකාවේ විශ්ව විද්‍යාලයකින් පශ්චාත් උපාධිය ලබාගත්තාය.

දූ දරුවන්ගේ ජයග‍්‍රහණ පිටුපස සවිය වූයේ කිම්ලන්ගේ පසුනොබසින දිරිමත් සිතයි.

ඇය යෞවනියන් සමඟ එක පෙළට ගොස් උපාධිය ලබා ගනිද්දී “අධ්‍යාපනය ලැබීම සඳහා බොහෝ ප‍්‍රමාදයි” යනුවෙන් කවුරුන්දෝ පවසා තිබේ.

“ලෝකය කවදාවත් නවතින්නේ නැහැ. ලෝකයට හැමදාම ප‍්‍රශ්න තියෙනවා. නවීන සොයා ගැනීම් සිදුනොවුණොත් ලෝකයේ සමෘද්ධිය නවතිනවා” යනුවෙන් කිම්ලන් එයට දාර්ශනික පිළිතුරක් දී ඇත.

“දැන් ඔබගේ ඊළඟ සැලසුම කුමක්ද?” පුවත්පත් වාර්තාකාරිණියකගෙන් පැනයක්

“මම හිතන්නේ නැහැ මට කිසිවෙක් උපාධියට සරිලන රැකියාවක් දෙයි කියා. එ් වුණාට මම රැකියාවක බලාපොරොත්තු වෙනවා. මම නැවතත් මගේ මුණුබුරු මිණිබිරියන් බලාගන්නවා. මගේ මියගිය දියණියගේ ආත්මය මගේ ජයග‍්‍රහණය බලා සතුටු වෙනවා ඇති” ඇය සිනහසෙමින් සැහැල්ලූවෙන් සඳහන් කර ඇත.

යෞවන සිහිනය වියපත් වියේදී හෝ මුදුන්පත්වීමේ පී‍්‍රතිමත් සුවය ඇය විඳිමින් සිටින්නීය

සමන්ති ඇලපාත

_97245583_pam_5987resized