රට තුළ විවිධ විෂයයන් සඳහා විවිධ අමාත්‍යාංශ තිබුණද ආදිවාසීන්ගේ වගකීම පැවරුණු අමාත්‍යාංශයක් නොමැති වීම නිසා ආදිවාසීන් බොහෝ දුෂ්කරතාවයන් මුහුණ දෙන බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පැවසීය.

වන්නියලැ ඇත්තන් මේ බව පවසා සිටියේ ඊයේ (09) යෙදී තිබුණු ලෝක ආදිවාසීන්ගේ දිනය නිමිත්තෙන් දඹානේ කොටබකිනියේ මොරබැද්දේ පැවැති උත්සවයක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වන්නියලැ ඇත්තන්,

“මම කවදාවත් මගේ ගෙදරට යන පාර ගැනවත් මගේ ගෙදර ගැනවත් කථා කරලා නෑ.

එහෙම කථා කරානම් මගේ මේ නායක කාල සිමාව තුළ මට මාළිගාවක් හදාගන්න තිබුනා.

මම එහෙමක කරලා නෑ.

අපේ ජනතාව වෙනුවෙන් අපේ සංස්කෘතිය වෙනුවෙන්, අපේ සිරිත් විරිත් ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් තමයි හැම වෙලේම කථා කරේ මහන්සි උනේ.

මගේ මහන්සියේ හැටියට ප්‍රතිඑල ලැබිලා තියෙනවා කියලා තාමත් සතුටු වෙන්න බෑ.

හැම අවුරුද්දෙම ආදිවාසි දිනයට කලින් දවසේ රෑ වරිග සභාව කියලා අපේ ආදිවාසි ගම්වල ගැටලු ගැන සාකච්චා කරලා සංදේශයක් රජයට දෙනවා.

මට පුලුවන් එහෙම කරන්න විතරයි.

මට වෙන විශේෂ බලයක් නෑ.

එහෙම කරපු ඉල්ලීම්වලින් යම් යම් ප්‍රමාණයක් කෙරිලා තියෙනවා මේ වෙන කොට.

නොකෙරුන වැඩ ප්‍රමාණයන් වැඩියි.

අපේ දරුවො පාසැල් යන දඹාන කණිෂ්ඨ විද්‍යාලය පහසුකම් වැඩි කරලා අධ්‍යාපනිය වශයෙන් සංවර්ධනය කර දෙන්න කියලා දීර්ඝ කාලයක ඉඳලා අපි ඉල්ලනවා.

මම කරපු ඉල්ලීම්වල හැටියට මේ වෙනකොට රටේ ලොකු පාසලක් වගේ දියුණු කරලා තියෙන්න ඕන කාලයක් ගෙවිලා තියෙන්නේ.

හැබැයි අද වෙනකොටත් ඒ ඉල්ලීම කෙරිලා නෑ.

කථාවකට පොරොන්දුවකට පමණක් සිමාවෙලා තියෙනවා.

මේ කාලෙ වෙනකොට රටේ ජාතික භාෂා අමාත්‍යංශයක් කියලා එකක් ඇති කරලා තියෙනවා.

ඒකෙන් හොයාගෙන තියෙනවා ජාතින් 19ක් රටේ ඉන්නවා කියාලා.

මම හිතනවා ජාති 23ක් මේ රටේ ජිවත් වෙනවා කියලා. මේ ජාති 23ක් රටේ ජිවත් උනාට එක එක ජාති පරම්පරා වෙන් වශයෙන් කොටුවෙලා රටේ ජිවත් වෙන්නේ.

උඩට එන්ඩ විදියක් නෑ. පිළිගැනිමක් නෑ. මේ රටේ ගෞරවයක් නෑ. මම විශ්වාස කරනවා රටක විවිධ ජාතින් ජිවත් වෙන්ඩ ඕනැ.

හැම ජාතියකටම අයිතිවාසිකම් තිබෙන්න ඕනෑ. හැම ජාතියක්ම ආරක්ෂා වෙන්න ඕනෑ. එහෙම උනාම තමයි රටක් ලස්සන වෙන්නේ

ජාතික භාෂා අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා ආදිවාසි භාෂාවත් ආරක්ෂා කරන්න.

අද මේ රටේ විවිධ අමාත්‍යාංශ තිබුණත් ආදිවාසීන්ගේ වගකීම් බාරගන්න අමාත්‍යාංශයක් නැහැ.

අපි ගැන කතා කරන්නේ අපි විතරයි.

අපි මීට පෙර යෝජනාවක් ගෙනාවා ආදී වාසින්ගේ වගකීම බාරගන්න මොකක් හරි අමාත්‍යාංශයක් තියෙන්න ඕනෑ කියලා.

හැබැයි එවෙලේ මිනිස්සු සිතුවේ අපි පාර්ලිමේන්තුවට යන්න යනවා කියලාග නැහැ නැහැ අපට පාර්ලිමේන්තුවට යන්න ඕන නැහැ හැබැයි මේ වගකීම ගන්න කවුරු හරි ඉන්න ඕන.

ආදිවාසින් කියන්නේ රටකට ආභරණයක්. අපි ඉල්ලීම් දිනාගන්න පාරවල් වහලා ආණ්ඩුවෙන් ජල ප්‍රහාර කන්න උද්ඝෝෂණ කරන්නේ නැහැ.

තුවක්කු, කඩු, කිනිසි වගේ ආයුධ අතට ගන්නෙත් නැහැ. ඒ නිසා රජයේ වගකීම අපේ රැහේ ඉල්ලීම් ඉටු කරන එකයි.

අපිට විතරක් මේ අඩු සැලකිල්ල ඇයි කියලා අපටත් හිතාගන්න බැහැ.

මේ වසරේ ආදිවාසි දින සැමරුම මම සුදානම් කරද්දී විවිධ තැන්වලට පුද්ගලයන්ට ආරාධනා කරා.

ඒ වැඩසටහන් සංවිධානය කිරිමේදි පුදුම විදියට මමත් රජ්‍ය නිලධාරිනුත් අපහසුතාවයට පත් උනා.

මිට දවස් තුනකට කලින් තමයි ඒ හැම දෙයක් කරනන රජයෙන් මුදල් පාස් උනේ.” යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාවට නිල්ගල, රතුගල, පොල්ලෙබැද්ද, දළුකාන, හෙනානිගල හා  වාකරේ වැනි ආදිවාසී ගම්මානවල ආදිවාසී කණ්ඩායම් රැසක්, ඌව පළාත් ආණ්ඩුකාර එම් පි ජයසිංහ මහතා හා මධ්‍යම සංස්කෘතිත අරමුදලේ අධ්‍යක්ෂක මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා බදුල්ල දිසාපති නිමල් අබේසිරි මහතා සහ මහියංගණය ප්‍රාදේශිය ලේකම් නිමල් දිසානායක මහතා සහභාගි විය.

රංජිත් කරුණාවීර- මහියංගණය

w1w2w3w4w5