අයිසීසී මගින් ඉන්දීය පාදඟපන්දු යවන ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා වෙත ටෙස්ට් තරග තහනමක් පනවා ඇති හෙයින් පල්ලෙකැ‍ලේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සමග තෙවැනි ටෙස්ට් තරගය සඳහා 23 හැවිරිදි ආක්ෂා පටෙල් ටෙස්ට් සංචිතයට කැඳවා ඇත.

දැනට එක්දින තරග 30 කට හා ඕවර විස්ස – 20 තරග 7 කට සහභාගි වී ඇති පටෙල් මතෛක් ටෙස්ට් තරගයකට සහභාගි වී නොමැති නිසා පල්ලෙකැ‍ලේ තරගය ඔහුට ලැබුණොත් මංගල ටෙස්ට් තරගය වනු ඇත. වමත් පිතිකරුවකු ලෙසද දක්ෂතා දක්වන පටෙල් ගුජරාට් ප්‍රාන්ත පිල වෙනුවෙන් ප්‍රථම පන්තියේ තරගවලට මුලින්ම 2012 දී තරග බිමට පිවිස ඇති අතර මෙවර අයිපීඑල් තරගාවලියේ කිංග්ස්එලවන් පංජාබ් පිලට ක්‍රීඩා කරනු ලැබිය.

පටෙල් අලුතෙන් කන්ඩායමට එක් කළද පිටදඟ පන්දු යවන රවීචන්ද්‍රන් අශ්වින් සමග වමතින් චයිනමන් පන්දු යවන කුල්ඩිප් යාදෙව් ද මේ වන විටත් ඉන්දීය ටෙස්ට් සංචිතයේ සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සමග පුහුණු තරගයට සහභාගි වූ කුල්ඩිස් යාදෙව් කඩුලු 4 ක් ලබා දක්ෂතා දැක්වූ අතර පල්ලෙකැ‍ලේ ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි අවකාශය මොහුට හිමිවනු ඇතැයි අනාවරණය වේ.

මේ අතර තහනමක් නිසා ඉදිරි ටෙස්ට් තරගය අහිමි වුවද, රවීන්ද්‍ර ජඩේජා, නවතම අයි.සී.සී. ටෙස්ට් පන්දු යවන්නන් අතර ප්‍රථම ස්ථානය සමගින් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරද ප්‍රථම ස්ථානයට පැමිණ තිබිම විශේෂත්වයකි.

ධම්මික රත්නවීර